ජීවිතයට ගැම්මක් දෙන ප්‍රංශ-පෙම්වතා! | දිනමිණ

ජීවිතයට ගැම්මක් දෙන ප්‍රංශ-පෙම්වතා!

රන්ජන් අමරරත්න
ශමෙල් ජයකොඩි

නවකතාවකින් හැමවිටම පරිපූර්ණ චරිතයක් අපේක්ෂා කරයි. එය සංකීර්ණ චරිත නිරූපණයක් ලෙස ද සැලකේ. මාලක, කතාවේ ප්‍රධාන චරිතය යි. එ‍හෙත්, ඔහු දැවැන්ත හා කැපී පෙනෙන චරිතයක් බවට පත් කිරීමේ වුවමනාව කතුවරියට නැත.

අලුත් අන්තර්ගතයක්, නව රටාවක් හා අභිනව සමාජ සංවාදයක්ද සමඟින් “ප්‍රංශ පෙම්වතා” අප ඉදිරියෙහි පෙනී සිටී. එය ජීවමාන ප්‍රබන්ධයෙකි. මේ වසරේ සම්මාන උලෙළ කිහිපයකම නිර්දේශිත ග්‍රන්ථයක් හැටියට ද “ප්‍රංශ පෙම්වතා” පත්වී ඇත. ඒ හැරත්, ප්‍රබන්ධයක් ලෙස එය කාගේත් කතාබහට ලක්වන්නට පටන්ගෙන තිබේ.

සරණාගතයකු ලෙස ප්‍රංශයේ අගනුවරට සේන්දු වන සිංහල තරුණයකු, ජීවත් වීම සඳහා ද, ස්වකීය ප්‍රාර්ථනා ඉෂ්ඨ - සිද්ධ කරගැනීම සඳහා ද ගෙන යන අරගලය මේ වෘත්තාන්තයෙන් කියැවේ. තරුණයාගේ අරගලය ඉතා සංකීර්ණ ය. එලෙස ම බැරෑරු ම්ය . ඔහු මේ අරගලයෙන් ජයග්‍රාහී තැනකට පත්වන්නේ ද? පරාජිත වන්නේ ද? යන්න ආකර්ෂණීය ලෙස නිරූපණය වේ.

මිනිසාට ජීවත් වීම සඳහා ආදරය හෙවත් ස්නේහය අවශ්‍ය වේ. එය මිනිසාගේ ජීවිතය හා ගැටගැසී ඇති සදාතනික අපේක්ෂාවක් ලෙස පවතී. ආගන්තුක සංස්කෘතික පරිසරයක් තුළ ආර්ථික අමාරුකම් යටතේ ජීවත් වීම සඳහා අරගලයක යෙදෙන හුදෙකලා තරුණයකු, ආදරය වෙනුවෙන් ගෙන යන සටන ද කතාවෙන් නිරූපණය වෙයි.

මාලක නම් මේ තරුණයා විශේෂ හැකියාවක් නැති පසුගාමී චරිතයකි. එහෙත් ඔහුට පැරිස් නුවර ජීවත් වීම සඳහා වෙනස් වන්නට සිදුවේ. එය තවත් අරගලයක් ලෙස හැඳින්විය හැකි ය. මාලකගේ ජීවිතය හා ඔහු ගෙන යන අරගලය ඔස්සේ අපේ සිත් තුළට කාවදින්නේ, ජීවිතය ගෙනයෑම සඳහා උත්ප්‍රේරකයකි.

කතාව විකාශය වන්නේ තමාගේ ම අභ්‍යන්තර ජීවිතය නිරීක්ෂණය කරන ආකාරයෙන් ය. මාලක සිය ජීවිත කතාව ඉතා සන්සුන් ලෙස කියාගෙන යයි. එය ආත්ම විශ්ලේෂණයක් ලෙස දැක්විය හැකි ය. ස්ටෙන්දාල් කියන ලෙස ප්‍රබන්ධ කථාවකට ආත්ම විශ්ලේෂණය ඉතා වැදගත් ය. ඒ මඟින් ජීවිතය විග්‍රහ කර ගැනීමට ඉඩ ලැබේ. ෆ්ලෝබෙයා හා බල්සාක් මේ ක්‍රමය අනුගමනය කරති.

“මා දැන් කියන්නට යන්නේ පැරීසියේ දී මට හමුවුණු මිනිසුන් විසින් මැටි පිඬක් මෙන් අනා නැවත අඹන ලද මගේ ජීවිතයයි. පැරීසියට අයත් මගේ අතීතයයි. ගුවන් තොටුපොළ අබියසට වී යන එන්නන් දෙස බලා සිටින අතර කිසිදු වග විභාගයකින් තොරව ඇරඹෙන්නට නියමිතව තිබූ මගේ ඉතිහාසයයි.”

(පිටුව - 07)

නවකතාවක ආරම්භය ඉතා වැදගත් ය. එය හිතාමතා, අමාරුවෙන් ගොඩනඟන ලද ආකර්ෂණීය අවස්ථා නිරූපණයක් වීම අපේක්ෂා කළ යුත්තකි. එහෙත්, කතුවරියට ඉතා සැහැල්ලුවෙන් හා නිරායාසයෙන් එම අවස්ථා නිරූපණය ඉදිරිපත් කරයි. ආරම්භය සිත්ගන්නා සුලු ය. කතුවරිය ස්වකීය ප්‍රබන්ධය පුරාවට පවත්වා ගනු ලබන රිද්මය ද වැදගත් ය.

මේ ප්‍රබන්ධය ඔස්සේ අපේ ජීවිතවලට වැදගත් සමාජ සංවාද කිහිපයක් ගොඩ නඟා ගත හැකි ය.

I ශ්‍රී ලංකාවේ මාපිය දූ දරු සම්බන්ධතා

II පැරිස් සංස්කෘතියේ විවෘතභාවය

III අහිමිවීම් හා ජීවන අරගලය

IV ‍පෙරදිග හා අපරදිග සංස්කෘතික විභේදනය

ප්‍රංශ පෙම්වතා කතාවේ ප්‍රධාන භූමිකාවක් ලෙස මාලි අක්කා සැලැකිය හැකි ය. ඇය දරුවෝ දෙදෙනෙක් කැටුව ප්‍රංශයේ අතරමං වී සිටිති. ඔව්හු රජයේ ආධාර මුදලින් ජීවත් වෙති. ඇයගේ පුරුෂයා මාපියන්ගේ උපදේශනය මත බිරිය අතහැර යයි. මාලකගේ යෙහෙළිය වන තාරකා ඇමතිවරයකුගේ දියණියකි. ඇය ප්‍රංශයට එවා ඇත්තේ මානසික ආබාධයකින් පෙළෙන නිසා ය. මාලකගේ පියා උසස් හමුදා නිලධාරියෙකි. එහෙත්, තම පුත්‍රයාගේ ඔතෑනි ගතිය ඔහුට අල්ලන්නේ නැත. මාලක ප්‍රංශයට පිටමංකර ඇත්තේ 'කැමැති පිළිවෙළකට ජීවත් වෙයන්' යන ප්‍රතිපත්තිය යටතේ ය.

කතාවේ ප්‍රධාන චරිත සරණාගතයන් යැයි කියන්නට පුළුවන . ඔවුන් මේ තත්ත්වයට පත්ව ඇත්තේ වැඩිහිටියන්ගේ තීන්දු - තීරණ නිසා ය. එහෙත් තිදෙනා ම ජීවිතය අත් නොහරිති. ඔව්හු ව රෙක සාමුහික ලෙස ද, තව ව රෙක තනි - තනිවද ජීවිතයට මුහුණ දෙති. මෙහි විශේෂත්වය වන්නේ කතුවරිය කිසි විටෙක කිසිදු චරිතයක් වීරයන් බවට පත් ‍නො කිරීම ය. දරු දෙදෙනකු සමඟ ජීවත්වීම සඳහා බරපතළ අරගලයක නිරත මාලි අක්කා පවා වීර චරිතයක් බවට පත් කර නැත.

පැරිස් සංස්කෘතිය පිළිබඳ අපූරු වැටහීමක් ද මේ කෘතිය ඔස්සේ ලබාගත හැකි ය. පෙරදිග පෙරදිග ය. අපරදිග අපරදිග ය. ය න මතය අප සිහියට නැ‍ඟේ. පැරිස් සංස්කෘතියේ ඇති විවෘතභාවය, වින්දන රටාව, පාඨකයා කුල්මත් කරන සුලු ය. කතුවරිය මේ අවස්ථා නිරූපණය සඳහා සෙන්නදිය, අයිපල් කුළුණ හා තවත් දේ යොදා ගනී.

වඩාත් සිත් ගන්නා සුලු නිරූපණ ඇත්තේ මාලකගේ වන අරගලය තුළ යැයි කියන්නට පුළුවන. ඔහු ‍බොහෝ අහිමිවීම් හමුවේ කඩා වැටෙන්නේ නැත. ජීවිතය විනාශ කරගන්නේ ද නැත. ලලිතා ඔහු සමඟ විවාහ වන්නේ වුව; එකට ජීවත්වන්නේ නැත. ලලිතා මාලක සමඟ නිත්‍යානුකූල කසාදයකට එකතු වන්නේ ප්‍රංශයට සේන්දුවීම සඳහා ය. එහෙත් මාලක ලලිතාගෙන් පලිගන්නේ නැත. මාලි අක්කාගේ ආදරය දිනා ගැනීම සඳහා මාලක වසර ගණන් බලා සිටී. එය කුස - පබා කතා ප්‍රවෘත්තිය මෙන් ය. අවසන් ලෙස ආදරය ලැබෙන’ මුත් කසාදය සිදු වන්නේ නැත.

ආදරය, ජීවත්වීම, අහිමිවීම් පිළිබඳ සංකීර්ණ හා ජීවමාන නිරූපණ රැසක් කෘතිය තුළ පවතී. ඒ සෑම නිරූපණයක් ම අප කුළුගන්වන සුලු ය. ජීවිතයෙන් පලා යෑම නොව; අරගල මැද ජීවත්වීම වැදගත් බව කතුවරිය අපට කියා දෙයි. නවකතාවේ වැදගත්ම ලක්ෂණය ද ඒ යැයි කියන්නට පුළුවන.

මාලක මෙන් ම කතුවරිය ද පැරිස් සංස්කෘතිය බදා වැළඳ ගන්නේ නැත. ඇතැම්විට ප්‍රංශකාරයන් පිළිබඳ විවේචන ද පවතී. මේ සංස්කෘතියට අනුගත විය යුත්තේ වැටහීමකින් යුතුව ය යන පණිවිඩය කෘතිය ඔස්සේ අපේ මනසට ඇතුළු වෙයි.

“ඇරත්, මේ මිනිස්සුන්ට පිස්සු ඒකනෙ අර යකඩ කුළුණකට ආදරය කරන්නෙ”

(පිටුව - 82)

“‍ලෝකෙ සෑම රටක ම ඉඳන් පැරීසියට ඇවිත් නවාතැන් ගන්න අයගෙ අතීතයෙ මහා බරක් පැටවිලා තියෙනවා. අපි ඒ බර ලෙහල දමලා නිදහස් වෙලා තමයි මේ ගමන යන්න ඕනෑ.”

(පිටුව - 46)

පෙරදිග මිනිස්සු විවිධ හේතු මත යුරෝපිය රටවලට සේන්දු වෙති. සමහරු දේශපාලන රැකවරණය ඉල්ලති. තව සමහරු අධ්‍යාපනය ලබන මුවාවෙන් පැමිණ රැකියා කරති. තවත් සමහරු පෙරදිග නැති ආශ්චර්යයක් පතාගෙන යුරෝපීය රටවල පුරවැසිභාවය ඉල්ලති. එහෙත් මේ සියලු දෙනාට ම සිදුවන්නේ දෙවන පුරවැසියන් හැටියට යුරෝපා රටවල ජීවත්වීමටය. මේ නිසා ම ඔවුන් ස්වකීය අනන්‍යතාව ප්‍රකට කරන උප සංස්කෘතීන් බිහි කරන බව නවකතාව අපට කියයි.

ශ්‍රී ලාංකේය සමාජය දේශපාලන හේතු මත ද, පෞද්ගලික හේතු මත ද යුරෝපීය පුරවැසිභාවය අපේක්ෂා කරති. අප්‍රිකානු සමාජය වෙනස හේතුමත යුරෝපය සංක්‍රමණය වී ඇත. පසුගිය කාලය තුළ අපේ රටේ පැවැති යුද්ධය ද මේ කාරණය සම්බන්ධයෙන් බලපා තිබේ. මාලකගේ තාත්තා හමුදා නිලධාරියෙකි. ඔහුගේ පවුල විසිරීයන්නේ යුද ජයග්‍රහණයෙන් පසු ය. යුද ජයග්‍රහණයෙන් පසු රටේ දේශපාලන පෙරැළියක් ඇති නොවන්නේ වුව, හමුදා නිලධාරීන්ගේ ජීවිත විවිධ හැලහැප්පීම්වලට ලක් විය.

මේ සාධකය කතුවරිය අපට සිහිපත් කර දෙන්නේ රටේ දේශපාලන යථාර්ථය ද හෙළිදරව් කරමින් ය.

නවකතාවක් ලෙස මේ ප්‍රබන්ධය දෙස ආපසු හැරී බලන විට කැපී පෙනෙන ලක්ෂණ දෙකක් පෙන්වා දිය හැකි ය.

I පරිපූර්ණ චරිත

II ආත්ම විශ්ලේෂණය

නවකතාවකින් හැමවිටම පරිපූර්ණ චරිතයක් අපේක්ෂා කරයි. එය සංකීර්ණ චරිත නිරූපණයක් ලෙස ද සැලකේ.

මාලක, කතාවේ ප්‍රධාන චරිතය යි. එ‍හෙත්, ඔහු දැවැන්ත හා කැපී පෙනෙන චරිතයක් බවට පත් කිරීමේ වුවමනාව කතුවරියට නැත. ශාරීරික වශයෙන් ආකර්ෂණීය හා ප්‍රතාපවත් අංග ලක්ෂණ ඔහුට නැත. මාලක කෙසඟ සිරුරක් සහිත සාමාන්‍ය මිනිසෙකි.

එහෙත්, ඔහුගේ නොපසුබට වීරිය, ඔහුගේ සැලැසුම් හා අහිමිවීම් ඉදිරියේ ඔහු නැඟී සිටින ආකාරය ද අනුව දැවැන්ත චරිතයක් පාඨක මනසෙහි ඇ‍ඳෙයි. මාලක ආකර්ෂණීය හා දැවැන්ත චරිතයක් බවට පත් ව ඇත්තේ, කතුවරිය ඔහු ‍වෙත ආරෝපණය කරන අර්ථවලින් යැයි කිව හැකි ය. අමෙරිකානු ජනප්‍රිය නවකතාවලද මේ ලක්ෂණය දකින්නට ලැබේ.

කතුවරිය කිසිදු තැනෙක මාලකගේ ක්‍රියාකාරකම් අති - රංගනයකට ලක්කර නැත. වඩාත් සරලව කියන්නේ නම්; මාලකගේ චරිතය හා ඔහු මුහුණ දෙන බරපතළ අවස්ථා අතිශයෝක්තියෙන් නිරූපණය කර නැත. උසස් නවකතාවක ලක්ෂණයක් හැටියට එය විචාරකයන් විසින් දක්වනු ලැබේ.

මාලකගේ චරිතය ඔස්සේ ගොඩනඟා ඇති ආත්ම විශ්ලේෂණය තරමක් ගැඹුරු ය.

“මගේ මව ගැන සිතන විට ගැහැනුන් යනු ජීවිත කාලය පුරා මැරි - මැරී නැවත ඉපදෙන පිරිසක් ය යන කල්පනාවකින් මගේ සිත පිරුනි.”

(පිටුව - 77)

මාලක හැමවිට ම තම මවගේ ගතිගුණ ඇති ගැහැනියක සොයයි. මවගේ දෑස් පවා එම ගැහැනිය වෙතින් දකින්නට මාලක කැමැති ය. සිග්මන් ප්‍රොයිඩ්, කාල්ජූන් වැනි මනෝ විද්‍යාඥයන්ගේ මතවාද හා සංකල්ප අප සිහිය ට නැ‍ඟේ.

“වැඩ ඇරී ආපසු නිවසට යන අතරමඟ දී දුම්රියෙන් බැස සේන් නදිය අද්දරට ගිය මම ගංගාවේ ජල තලයට මගේ වේදනාවද හුදෙකලාව බාර දුන්නෙමි.”

( පිටුව - 78 )

ඒ වනවිට මගේ ජීවිතය මුළුමනින්ම අනුන් විසින් පාලනය කරන ලද දෙයක් යැයි මට සිතිණි. මා අරමුණක් නොමැතිව අතහැර දමන ලද ජල තලයේ පාවෙන ඔරුවක් මෙන් ලලිතාගේ සැලැසුම්වල අතරමං විය. මා බිය වී සිටියේ මගේ ජීවිතය සිරකර දමන රැකියාවට ය.”

(පිටුව - 153)

මාලක මුහුණ දෙන ගැටුම්, පසුතැවීම් හා උද්වේගකර අවස්ථා දෙස බලන විට පෙනී යන්නේ මේ සරල මිනිසා තුළ යෝධ ශක්තිය ක් ඇති බව ය. සරල බව හා යෝධ ශක්තිය ඔස්සේ ගොඩනැ‍ඟෙන්නේ සංකීර්ණ චරිතයකි. කතාව අවසන් වන තුරුම එක ම රිද්මයකට මාලකගේ චරිතය නිරූපණය කෙරේ. එය අසීරු ව්‍යායාමක් ලෙස සැලැකිය හැකි ය.

නූතන නවකතාවේ වැඩි බරක් යෙදවෙන්නේ සමකාලීන සමාජ ප්‍රශ්න නිරූපණය කිරීමට ය.

ශමෙල් ජයකොඩි කතුවරිය, පිටුවහල් කළ චරිතයක් ඔස්සේ සමාජ ප්‍රශ්න ගණනාවක් සාකච්ඡාවට ගනී. එය සිත් ගන්නාසුලු වැදගත් නවකතාවකි. කතුවරිය තම භාෂා භාවිතය ගැන තවදුරටත් උනන්දු වන්නේ නම් වැදගත් යැයි සිතේ. “මා ඇලුම් කළේය’ (පිටුව - 123) යනුවෙන් ද කතුවරිය වාක්‍ය ගළපයි.

නව අදහස දක්වන්න