දරුඵල | දිනමිණ

දරුඵල

තෙරිපැහැ ආරියවංශ කීර්තිසිංහ

ජීවිතයක සුන්දරම අවධිය සමනල යෞවන අවධියයි. යෞවනත්වයේදී හමුවන පෙම් කුමරා හෝ කුමරිය සමඟ යුගදිවියට එළඹීම සෑම යුවළකගේම සිහිනය මල්ඵල ගැනීමකි. එ‍සේම සමහරු විවාහ යෝජනාවකින් යුගදිවියට ඇතුළත් වෙති. මෙහිදී නව යුවළගේ අනාගතය පිරික්සීම සඳහා වැඩිහිටියෝ පොරොන්දම් පරීක්ෂණය බලා අවසන් තීරණයකට එළැඹෙති. ඉන් පසු මංගල පෝරු, මස්තකප්‍රාප්තව, ජය මඟුල් ප්‍රශස්ති මධ්‍යයේ රන්හුයෙන් දෑඟිලි බැඳ ආසිරි පැන් වඩා ආශිර්වාද කර යුගදිවි මඟ ආරම්භ කරති.

යුගදිවිය ආරම්භ කළ දින සිට නව යුවළ මෙන්ම මවුපිය, වැඩිහිටි ඥාති මිත්‍රාදීන්ගේ අවධානය යොමුවන්නේ ප්‍රථම දරු උපත පිළිබඳවයි. සමහරුන්ට එක් දරුවකුද, සමහරුන්ට දරුවන් දෙදෙනකුද තවත් අයට නිවුන් දරුවන්ද ලැබේ. අතීතයේ මවුපියන්ට දරුවෝ දහය පහළොව සිටියහ.

එහෙත් යුගදිවියට පත්වන බොහෝ අයට දරුවන් නොමැතිවන අවස්ථා පිළිබඳ අසන්නට දකින්නට ලැබේ.

ලෝකයේ ඇවැත්මට පැවැත්මට කාලිකව මෙන්ම අකාලිකව ස්වභාවධර්මයාගේම සංසේචනය සහ සංයෝජන ක්‍රියාදාමයන් අතර නිර්මාණයකි දරු ඵලය. එය පෘථුල සංසිද්ධියක රසාස්වාදයේ සාරය ලෙස අත්විඳීමෙන් ලබන ප්‍රතිඵලයකි. දාරක ඵලය යම් ස්ත්‍රියකට අහිමි වන්නේ නම් එය ඇයට පෞද්ගලිකවද තම ස්වාමියාගෙන් ඇතිවන ප්‍රශ්නවලටද මවුපිය වැඩිහිටියන්ගේ අපවාද උපහාසයනටද නිරන්තරයෙන්ම ලක්වේ.

මේ සඳහා විවිධාකාර ප්‍රතිකර්ම යොදමින් කටයුතු කළ ද සමහරුන්ට දරු සම්පත පිහිටන්නේ නැත. මෙය වර්තමාන පවුල් අතර බොහෝ ප්‍රශ්නවලට හේතු වී ඇත.

මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකට පත්වීමට හේතු සාධක වන කරුණු ගණනාවක් තිබේ. විශේෂයෙන්ම යුගදිවියට ප්‍රථම පොරොන්දම් අධ්‍යයනය කිරීමේදී පොරොන්දම්වලට අමතරව දාරකඵල පිළිබඳ පරීක්ෂණ විධිවලට අදාළ වන කරුණු ගණනාවක් ඇත.

ජ්‍යොතිෂ ශාස්ත්‍රීය සිද්ධාන්තයන්ට අනුකූලව යුගදිවියට පෙර දාරකඵල පිළිබඳ වෘක්ෂ පො‍රොන්දම සලකා බැලේ. කිරි වෘක්ෂ සහ හර වෘක්ෂ වශයෙන් කොටස් දෙකකි. දෙදෙනාම හර වෘක්ෂ වීමෙන් දරුවන් නොලැබීමට හේතු වන බව දැක්වෙන අතර සමහරු එය එලෙසම අනුමත කරති. ජ්‍යෙතිෂ ඵල සිද්ධාන්තයට අනුව පොරොන්දම් කථනයේදී දෙදෙනාම හර වෘක්ෂ නම් දරුඵල නැති බවත් දෙදෙනාම කිරි වෘක්ෂ නම් දරු ඵල ඇති බව සඳහන් කළත් එය නිවැරදි ප්‍රකාශනයක් නොවේ.

ස්ත්‍රී පුරුෂ ජන්ම පත්‍ර දෙකක් ගත් කළ ස්ත්‍රී කේන්දරයේ දාරක ස්ථානය වූ පස්වැන්න තුළ ශනි රාහු සතුරුවද පුරුෂ කේන්දරයේ කුජ රාහු අටවැන්නේ නීචව හෝ සතුරුවද පස්වැන්න රාහු සඳු නීචව හෝ සතුරුවද සිටින විට දෙදෙනාම කිරි වෘක්ෂ වී ස්ත්‍රිය ස්ත්‍රී යෝනියකද පුරුෂයා පුරුෂ යෝනියකද පොරොන්දම් යෙදී තිබුණත් ඔවුන්ට දරුවන් අහිමි වේ. සමහරුන්ට දරු ගැබ පිහිටියද එය මාසයක් දෙකක් තුළදී අස්වාභාවික ලෙස දියවී විනාශ වී යයි. පොරොන්දම් පරීක්ෂණ ක්‍රම අනුව මෙවැනි යෝග යෙදුම් සිය ගණනක් අැත.

සමහරුන්ට පෙර සංසාරගත කර්ම ශක්තිය අනුව වන්ද්‍ය භාවයෙන් යුතු ස්ත්‍රීන් මෙන්ම පුරුෂයින්ද සිටියි. කර්ම චක්‍රයට අනුවම ඔවුන් යුගදිවියට පත්වුවහොත් දරුවන් අහිමි වන අතර එවැනි අයට කිසිදු ප්‍රතිකර්මයකින් හෝ දරුවන් බිහි කළ නොහැකිය.

සමහරු කුඩා අවධියේ සිටම සිතිවිලිවලට වහල් වී කාම පහස සංසිඳවීමට විවිධ උපක්‍රමික ක්‍රියාවන්වල යෙදෙති. එවැනි අයගේ ශරීර ක්‍රියාකාරී පුෂ්ඨිකරණ ගුණය සම්පූර්ණයෙන්ම පිරිහේ. තරුණ වයස එළැඹෙන විට ඔවුන්ගේ ස්නායු ශක්තිය හීනවීමෙන් යම් යම් කායික දුබලතා ඇති වේ.

එමෙන්ම යහපත් නිරෝගිමත් වාසනාවන්ත දරුවන් ලබා ගැනීම සදහා මෝරන ලද තල ඇටය පුරාම තෙල් පවතින්නාක් මෙන් ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම කායික මෙන්ම මානසික ශක්තිය බලවත් වී තිබිය යුතුය. එවිට සප්තධාතු බල වඩා ප්‍රාණ ශක්තිය වර්ධනය වේ. එවැනි ස්ත්‍රී පුරුෂ දෙදෙනකු ප්‍රථම නේත්‍ර දෘෂ්ඨිය තුළින්ම ආදරය ප්‍රේමය රාගය සංයෝජනය වී සංසාරගත කුසලකර්ම ශක්තීන් සංරක්ෂණය වී කායික මානසික සප්තධාතු හෝමෝද්වීපනය ක්‍රමානුකූලව සංකලනය වේ.

මේ සඳහා විශේෂයෙන් යුගදිවියට පත්වන කාලසීමාව ගුරු සිකුරු සඳු වැනි ඉතා යහපත් බලවත් මහදසා අතුරුදසා ඵල ලබා පැවතීම සුබය. දාරක ස්ථානය වන පස්වැන්න භාග්‍යස්ථානය කර්මස්ථානය අයස්ථානය ධනස්ථානය වැනි ස්ථාන සහ පුණ්‍යවන්ත වූ ග්‍රහයින් බලවත්ව පිහිටිය යුතුය. එවැනි ශක්තීන් මූලික කර ඒ සඳහා අදාළ වන ධර්ම ශාස්ත්‍රීය සිද්ධාන්තවලට අනුකූලව ක්‍රියා කිරීම් තුළින් ඉතා වාසනාවන්ත දූ පුතුන් ලබාගත හැකිය.

මේ අතර වර්තමානයේ ඇතැම් ජ්‍යෙතිෂ ශාස්ත්‍රීය විද්වත්හු නා නා විධ අයුරින් පොරොන්දම් පරීක්ෂණ ක්‍රම අනුගමනය කරති. කෙනකු අයහපත් ඵල පෙන්වා දී ඇති පොරොන්දම තවත් අයෙක් යහපත් බැව් ප්‍රකාශ කරති. මෙවැනි අවස්ථා ගැටලු සහගත තත්ත්වයන්ය.

කෙසේ වුවද පොරොන්දම් පරීක්ෂණවලදී ස්ත්‍රී පුරුෂ දෙදෙනාම පුරුෂ ලිංගවීම, හර වෘක්ෂවීම, වේධ නැකැත් යෙදීම, දෙදෙනාම පරම වෛරී නැකැත්වටල අයත් යෝනිය යේදීම විෂම වේ. එමෙන්ම රාශි එකිනෙකට විරුද්ධ ග්‍රහයින්ට අයත්වීමද විෂය වේ. තනි කැමැත්තෙන් කරගන්නා හිතුවක්කාර විවාහ වලදී එකිනෙකට විරුද්ධ ග්‍රහයින්ට අයත් විෂ යෝගවලට නැකැත් යෙදී තිබෙන දිනවල දෙදෙනාගේ ප්‍රථම එක්වීම සිදු වීම ආදී මේ සෑම අවස්ථාවක්ම යෙදී තිබීමෙන් සිදුවන්නේ දරුගැබක් පිහිටියත් එය ගබ්සාවීමකට ලක්වීමකට ඉඩ ඇති බවයි.

සටහන චතුමී පිටිපන

නව අදහස දක්වන්න