තොරතුරු පනත ආර්ථික දියුණුවට රුකුලක් | දිනමිණ

තොරතුරු පනත ආර්ථික දියුණුවට රුකුලක්

ජය­සිරි මුණ­සිංහ
 
මුදල් හා ජන­මාධ්‍ය අමා­ත්‍ය මංගල සමරවීර
 
l 2016 අංක 12 දරන තොර­තුරු දැන­ගැ­නීමේ අයි­ති­වා­සි­කම් පිළි­බඳ පනත ශ්‍රී ලංකා ප්‍රජා­තා­න්ත්‍රික 
සමා­ජ­වාදී ජන­ර­ජයේ පාර්ලි­මේ­න්තුව විසින් සම්මත කොට හෙටට (04) වස­රක් සම්පූර්ණ වේ. මේ එම පනත මඟින් ශ්‍රී ලංකා ආර්ථි­කයේ ප්‍රග­ම­න­යට ලබා­දෙන දාය­ක­ත්වය පිළි­බ­ඳව කැරෙන විව­ර­ණ­යකි. 
 
රාජ්‍ය අංශය විසින් ක්‍රියා­ත්මක කරනු ලබන ක්‍රියා­මාර්ග මඟින් පම­ණක්ම ආර්ථික සංව­ර්ධ­නය ළඟා­කර ගත නොහැ­කිය. 
ඒ බව අප හොඳින් දන්නා කරු­ණකි. ආර්ථික වර්ධ­නයේ එන්ජිම ලෙස 
හඳු­නා­ගෙන ඇති පෞද්ග­ලික අංශය ඕනෑම රටක සංව­ර්ධන ක්‍රියා­ව­ලියේ ප්‍රධාන කාර්ය­භා­ර­යක් ඉටු කරයි.
 
 

ශ්‍රී ලංකාවේ ආර්ථිකය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව සෘජු දෙස් විදෙස් ආයෝජන මත මෙහෙයවීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති මොහොතේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

වත්මනෙහි විශ්ව ගම්මානයක් බවට පරිවර්තනය වී ඇති හා වෙමින් පවත්නා ජනසමාජය තුළ පොදු ජනතාව තම අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික ආයතන හා ව්‍යාපාර මත දැඩිව රඳා පවතී. රාජ්‍ය අංශයට පූර්ණ බලය හිමිව ඇති සේවා අංශවල බලපෑම පොදු ජනජීවිතයන්ට ඉමහත් බලපෑමක් හා වගකීමක් දරයි. මේ නිසා රාජ්‍ය අංශයෙහි සත්‍ය හා නිවැරදි තොරතුරු ජනතාවට ලබාදීමෙහි හා ලබාගැනීමේ අවකාශය ලෝකය පුරා මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගනු ලබයි.

ජනපති - අගමැති නායකත්වයෙන් රට පාලනය කරන නව රජයේ ඉලක්ක ළඟාකර ගැනීමේ අරමුණ ඇතිව හා විශේෂයෙන්ම සාර්ව ආර්ථික ස්ථායිතාවය පවත්වාගෙන ව්‍යාපාර පුළුල් කිරීම හා වර්ධනය සඳහා පාලන ව්‍යුහවල පවතින ප්‍රමාදයන් හා ව්‍යාපාර පරිසරයේ බාධක හා සම්බන්ධ ගැටලු සඳහා විසඳුම් ලබාදීම ඉලක්ක කරගෙන 21 වන සියවසේ නවීන තත්ත්වයන්ට ගැලපෙන අයුරින් නීති හා කාර්ය පටිපාටීන් යාවත්කාලීන කිරීම සඳහා රජය විසින් නෛතික හා අධිකරණ ප්‍රතිසංස්කරණ හඳුන්වා දී තිබේ.

මේ කාලය තුළදී නීති ප්‍රතිසංස්කරණ සඳහා වන යෝජනා කිහිපයක් මඟින් ශ්‍රී ලංකාව සඳහා වඩාත් කාර්යක්ෂම සරල හා පෙර නිගමනය කළ හැකි නීති පද්ධති සකස් කිරීම අරමුණු කොට ඇත. රජයේ ආර්ථික ඉලක්ක ළඟාකර ගැනීම සඳහා එබඳු පද්ධති අත්‍යවශ්‍ය වේ.

රාජ්‍ය මූල්‍ය වඩාත් හොඳින් කළමනාකරණය කිරීම, රාජ්‍ය මූල්‍ය කෙරෙහි ශක්තිමත් පාර්ලිමේන්තු පාලනයක් තහවුරු කිරීම, රජයේ සම්පත් භාවිතා කිරිම සඳහා වඩාත් වගවීමක් ලබාදීම සඳහා රජය විසින් විගණන සේවා කොමිසම, ජාතික ප්‍රසම්පාදන කොමිසම හා තොරතුරු දැනගැනීමේ පනත වැනි නව යාන්ත්‍රණ හඳුන්වා දුන්නේ ඒ නිසාය.

රාජ්‍ය අංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රියාමාර්ග මඟින් පමණක්ම ආර්ථික සංවර්ධනය ළඟාකර ගත නොහැකිය. ඒ බව අප හොඳින් දන්නා කරුණකි. ආර්ථික වර්ධනයේ එන්ජිම ලෙස හඳුනාගෙන ඇති පෞද්ගලික අංශය ඕනෑම රටක සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. වෙනත් ඕනෑම නැඟී එන ආර්ථිකයන් මෙන් නියාමන හා මෙහෙයුම් ක්‍රියාවලියේ ගැළපීමක් නොමැතිවීම නිසා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතුවල මනා ක්‍රියාකාරීත්වය අඩු වී ඇත.

මේ තත්ත්වය නිසා ලෝක බැංකුවේ නවතම 'ව්‍යාපාර පහසුකිරීමේ දර්ශකය' අනුව අනෙක් රටවල් හා ශ්‍රී ලංකාව සාපේක්ෂව සලකා බැලීමේදී රාජ්‍ය සේවා කඩිනම් ලෙස ලබාදීමේ පවතින ප්‍රමාදයන් ව්‍යාපාර පහසුවීමට ඉඩ ලබාදී නැත.

එබැවින් අප රජයේ ආයතන දෙපාර්තමේන්තුවල සේවා කඩිනමින් ලබාගැනීමට තොරතුරු දැනගැනීමේ පනත බලගැන්වීමෙන් ජනතාවට අවස්ථාව උදා වී තිබේ.

ලෝක බැංකුවේ පවා ඇගැයීමට ලක්වුණා

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්

ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ගෙනඒමෙන් ශ්‍රී ලංකා රජයේ කටයුතු ලෝක බැංකුවේ පවා ඇගැයීමට ලක් වු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ප්‍රකාශ කරයි.

දැනට ආරම්භ කර ඇති තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම ජාතික විගණන පනත බලාත්මක කිරීම සහ රාජ්‍ය මුදල් පනත් කෙටුම්පත සම්පාදනය යහපාලනයට අදාළ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයෑමට හේතුවන බවද ලෝක බැංකුවේ අදහස බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කියා සිටියි.

ශ්‍රී ලංකාව අනාගත ආර්ථික ව ර්ධනය හා ස්ථායිතාවය කරා ළඟාවීමට නම් ජයගත යුතු අභියෝග හා අවදානම් කරුණු රාශියක් ඇත. එකිනෙකට සංකීර්ණ ලෙස සම්බන්ධ වූ එම අභියෝග ජයගැනීමට පුළුල් හා පරීක්ෂාකාරී ලෙස ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතුය.

ඒ නයින් සලකා බලන කළ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත බලාත්මක කිරීම විශාල ජයග්‍රහණයකි. ශක්තිමත් දේශපාලන නායකත්වයක් හා අභිලාෂයක් සමඟ රාජ්‍ය සේවයේ උපරිම සහාය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී වැදගත් සාධක වන බව ලෝක බැංකුවද කියා ඇත. මෙම ක්‍රියාවලින්ට සිවිල් සමාජයේ පෞද්ගලික අංශයේත් අනෙකුත් සියලු අංශවලත් සහාය ලබාගත යුතුයි. සහාය ලබාදිය

ඒ හරහා රටේ සියලු ජනතාව වෙත ආර්ථික වර්ධනයේ ආර්ථික දියුණුවේ ප්‍රතිලාභ සාධාරණව බෙදීයෑමට උපකාරී වනු ඇත.

සවිබල ගැන්වූ ජනසමාජයක් බිහිකිරීම ආර්ථික වෘද්ධියේ මූලික අවශ්‍යතාවයක් බවත් ඒ අරුතින් ගත් කළ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම්ම පනතින් ජනතාව බලගැන්වෙන බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ‍අතිරේක ලේකම් රමණී ගුණවර්ධන මහත්මිය ප්‍රකාශ කළාය.

නව පනත බලගැන්වීමෙන් පොදු ජනතාවට කාර්යක්ෂම රාජ්‍ය සේවා පහසුකම ලබාගැනීමට ඉඩ හිමි වෙනවා. යම් ප්‍රමාදයක් සිදු වන්නේ නම් ඒ ගැන තොරතුරු දැනගැනීමට ඉඩකඩ විවර වෙනවා.

රාජ්‍ය ආයතනයකින් පොදු ජනතාවට ලබාගත යුතු තොරතුරු විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවා සටහන්, චක්‍රලේඛ, ආදර්ශ, ලේඛන, නියමයන්, හුවමාරු වන ලිපි, සංදේශ, ලොග් පොත්, නීති කෙටුම්පත්, විද්‍යුත් ‍තැපැල්, ගිවිසුම්, පොත්, මත, වාර්තා, පිඹුරුපත්, ලේඛනගත කරන ද්‍රව්‍ය හා පිටපත් ප්‍රවෘත්ති පත්‍ර, සිතියම්, වීඩියෝ පට, ශබ්ද පටිගත කිරීම්, සේයා පට, චිත්‍ර, පරිගණක වාර්තා ආදියත්, තවත් දේත් වෙන්න පුළුවන්. පොදු ජනතාවට අවශ්‍ය නම් මේ කවරාකාරයෙන් වු තොරතුරු ලබාදීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතුයි.

තොරතුරු ඉල්ලා සිටීමකදී එය ලබාදීම ප්‍රතික්ෂේප කළ හැකි තොරතුරු වර්ග හෙවත් ලබා නොදිය යුතු තොරතුරු 29ක් තිබෙනවා. ඒ අතර යම් අයෙකුගේ පුද්ගලික තොරතුරු, රාජ්‍ය ආරක්ෂාව හා භෞමික අඛණ්ඩතාවයට අගතිදායක තොරතුරු, ජාත්‍යන්තර බැඳීම් හා ගිවිසුම් යටතේ රහසිගත තොරතුරු, විනිමය අනුප්‍රමාණ හෝ විදේශ හුවමාරු ගනුදෙනු තොරතුරු තිබෙනවා.

එයට අමතරව බදු පැනවීමට අදාළ තොරතුරු, භාණ්ඩ හා සේවා මිල පාලන තොරතුරු, විදේශ වෙළෙඳ ගිවිසුම්, බුද්ධිමය දේපළ පනත යටතේ ආරක්ෂිත හා වාණිජ රහස් ආදියත් ලබාදිය නොහැකිය.

කරුණු එසේ වුවත් පුරවැසියන්ට තොරතුරු ලබාගැනීමේ ක්‍රියාපටිපාටියට අනුව ක්‍රියා කිරීමෙන් තොරතුරු ලබා ගත හැකිය.

තොරතුරු පිළිබඳ ජාතික සම්පත් මධ්‍යස්ථානයක් බිහි කිරීම ඉක්මන් කළ යුතු යැයි තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදේශක පියතිස්ස රණසිංහ මහතා පවසයි.

නව රජය බලයට පත්වීමෙන් පසුව බලාත්මක කළ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතට අනුව රටවැසි පොදු ජනතාව තොරතුරු ඉල්ලා ඉල්ලුම්පත් දෙසීයයක් පමණ ඉදිරිපත් කරමින් සිටිනවා. එය අපට රටක් ලෙස ඉදිරියට යෑමට බලපාන බලගැන්වීමක් බව ද කීය.

තොරතුරු දැනගැනීමේ පනතට අනුව රටවැසි ජනතාව උනන්දු කරවීමට මහජන සේවා මධ්‍යස්ථාන ජාලයක් රටපුරා දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා අපට ජාත්‍යන්තර මූල්‍ය සංවිධානවල සහාය ලබාගත යුතුයි. මේ වන විට රටපුරා සෑම රාජ්‍ය ආයතනයකම තොරතුරු ලබාදෙන නිලධාරීන් පත් කර අවසන්.

ජනතාව දැනුවත් කොට ඉන් ප්‍රයෝජන ගන්නට මඟකියාදීම ජනමාධ්‍යයේ වගකීමයි. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත බලාත්මක කිරීම සවිබල ගැන්වූ ආර්ථිකයක් බිහි කිරීමේ රජයේ වැඩපිළිවෙළ වේගවත් වීමට මහෝපකාරී මඟපෙන්වීමක් වේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

 

නව අදහස දක්වන්න