ඩෙංගු මදුරුවාගෙන් බේරෙන්න විකර්ශන ආලේපන ගල්වන්න | දිනමිණ

ඩෙංගු මදුරුවාගෙන් බේරෙන්න විකර්ශන ආලේපන ගල්වන්න

සන්ධ්‍යා කරුණාරත්න

අ.පො.ස. උසස්‍ පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් ඩෙංගු මදුරු දෂ්ටනයෙන්ගලවා ගන්න මදුරු විකර්ශන ආලේපන හා ක්‍රම භාවිතා කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන‍්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ගැමුණු සාලිය මහතා පවසයි.

වි‍ශේෂයෙන්ම මේ දරුවන්ට රාත්‍රී කාලයේ දී පවත්වන පෞද්ගලික පංතිවල දී මදුරු දෂ්ටනයන් වැඩිපුර සිදු වීමේ අවදානමක් පවතින බවත් එම නිසා පැඟිරි තෙල් වැනි මදුරු විකර්ශන ආලේපන භාවිතය වඩාත් සුදුසු බවත් ඒ මහතා පැවැසුවේය.

ඩෙංගු මදුරුවන් රාත්‍රි විදුලි ආලෝකය පවතින විටදී මදුරු දෂ්ටනය සිදු කරන අතර රාත්‍රි කාලයේ පවතින උෂ්ණාධික ‍දේශගුණය ද ඔවුන්ගේ දෂ්ටනවලට පහසුවක් වන බවත් මේ නිසා මදුරු දෂ්ටනයන්ගෙන් මිදී සිටීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් හෙතෙම පැවැසීය.

මෙම විභාගයන්ට පෙනී සිටින දරුවකුට ඩෙංගු රෝගය පවතින බවට රෝග ලක්ෂණ පවතින්නේ නම් එම දරුවා විභාගයට නොයවා විවේකීව තැබීමට වැඩිහිටියන් පියවර ගත යුතු බවත් නොඑසේ නම් දරුවාගේ ජීවිතය අවදානමට ලක්විය හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

දරුවන් පාඩම් වැඩවල යෙදෙන කාමරයන්හි මදුරු කොයිල් දල්වන්නේ නම් මදුරු කොයිල් දල්වා පැයක් පමණ දුම තිබෙන්නට හැර කාම‍රයෙන් දුම පිට වූවාට පසුව දොරවල් ජනෙල් වසා පාඩම් කිරීමට සුදුසු ස්ථානයන් සකස් කර දිය යුතු යැයි ද ඔහු කීය.

වසර ආරම්භයේ සිට මේ දක්වා රට පුරා ප්‍රදේශවලින් ඩෙංගු රොගීන් 120,000 ක් පමණ වාර්තා වී ඇතැයි ද මරණ 320 කට වැඩි සංඛ්‍යාවක් සිදුව ඇතැයි ද සෞඛ්‍ය අංශ වාර්තා කරයි. 

නව අදහස දක්වන්න