වරාය ගිවිසුම අපට වාසියි කියල පොඩි ළමයටත් තේරෙනවා | දිනමිණ

වරාය ගිවිසුම අපට වාසියි කියල පොඩි ළමයටත් තේරෙනවා

දුමින්ද සම්පත්
වරාය සහ නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇතිවී තිබෙන එකඟතාව පිළිබඳ පවතින විවිධ මතවාද ගැන ආණ්ඩුවේ මතය සහ ස්ථාවරය පැහැදිලි කරමින් වරාය සහ නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැති හමුවට එක්වේ.

* දූෂිතයන්ට දඬුවම් නොදීම අපටත් ප්‍රශ්නයක්
* කවුරුවත් ආණ්ඩුවෙන් එළියට යන්නේ නැහැ
* වරාය විවාදයෙන් විපක්ෂය පැනලා ගියා

හම්බන්තොට වරාය චීනයට බදුදීම ගැන විශාල ආන්දෝලනයක් ඇතිවෙලා. ඒ ගැන ඔබ මොකද කියන්නෙ.

මධ්‍යස්ථව මේ ගිවිසුම ගැන බැලුවම හෝඩියෙ ළමයෙකුටත් තේරුම් ගන්න පුළුවන් මේක අපිට විශාල වාසියක් බව. සමහරු මේක දේශපාලන කෝණවලින් බලනවා.

ඔබ ඔය කියන විශාලවාසිය මොකක්ද?

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ කාලේ මේ වරාය ඉදිකරන්න රුපියල් බිලියන 193 වියදම් කළා. මේ මුදල් ගත්තේ වානිජ ණයක් හැටියටයි. 2011 වරාය වැඩ පටන් ගත්තට පහුගිය අවුරුදු කීපයෙදීම රුපියල් බිලියන 47ක පාඩුවකට මුහුණ දුන්නා. වෙනත් වරායවලින් ලැබෙන ලාභයෙන් වාර්ෂිකව රුපියල් මිලියන 9100 මේ වරායෙ ණය ගෙවන්න වෙන්කරන්න වෙලා. භාණ්ඩාගාරයෙන් ශත පහක්වත් අපිට දීල නැහැ. වරාය අධිකාරිය ලබන ශුද්ධ ලාභයෙන් 90%ක් වියදම්කරන්න වෙන්නෙ මේ ණය ගෙවන්න. මෙහෙම ගියොත් අපිට වෙනත් වරායන් එකක්වත් සංවර්ධනය කරන්න වෙන්නෙ නැහැ. අපි මේ වරාය නිසා විශාල ණය උගුලකට අහුවෙලා ඉන්නෙ. මේ ගිවිසුම නිසා දැන් අපේ භාණ්ඩාගාරයට රුපියල් බිලියන 1.12ක් ආයෝජනයක් හැටියට එනවා.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ වරාය හැදුවෙ යම් සැලැස්මකට අනුවයි. නමුත් මේ ආණ්ඩුවට ඒ සැලැස්ම ක්‍රියාත්මක කරගන්න බැරිවුණු නිසා ලාභ ලබන්න බැරි බවයි කියන්නේ.

මේ වරාය ආර්ථික ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් හදපු එකක් නොවෙයි. ඔවුන් සම්පූර්ණ දේශපාලන තීන්දුවක් මතයි මෙය හැදුවේ. ඒ වෙලා‍වෙ තිබුණු ආර්ථිකය හැටියට මේවගේ විශාල ව්‍යාපෘතියකට යන්න ආර්ථික ශක්තියක් අපිට තිබුණෙ නැහැ. හම්බන්තොටට මොකක් හරි කරන්න ඕන කියන මතයෙ ඉඳගෙන මේ වරාය හදන්න වානිජ ණයක් ගත්ත. මේ ණය ආපසු ගෙවන්න පුළුවන්ද? කොහොමද ණය ගෙවන්නේ කිසිම දැක්මක් තිබුණේ නැහැ.

මේ ආණ්ඩුව 2015 බලයට එනකොට රටේ ආර්ථිකය හොඳටම වැටිල තිබුණෙ. හම්බන්තොට වරායට නැව් යන්නෙ නැතිවුණාට ඒ අය කොළඹ වරායට එන වාහන නැව් හම්බන්තොටට යැව්වා. ඒ නිසා ත්‍රීවිල් එකේ ඉඳල හැම වාහනයකම මිල රුපියල් දසදහසකින් පමණ වැඩිවුණා. මම වාහන නැව් නැවත කොළඹ වරායට ගෙන්වනවා.

මේ ගිවිසුමේ කරුණු හා ඊට අදාළ කැබිනට් පත්‍රිකාවේ කරුණු එකිනෙකට පරස්පර බව කියනවා.

ගිවිසුම කියවල තේරුම් ගන්න බැරි අය තමයි ඔය කතා කියන්නෙ. ශ්‍රී ලාංකීය සමාගම් දෙකක් තමයි මේ ආයෝජනය මෙහෙයවන්නෙ. එක සමාගමක් පර්යන්තයට අදාළ සේවාවන් මෙහෙයවනවා. මේ සමාගමේ (HIPG) කොටස්වලින් 85%ක් චීන සමාගමටත් ඉතිරි 15% වරාය අධිකාරියටත් තියෙනවා. කොළඹ පර්යන්ත දෙක දීල තියෙන්නෙත් මේ හා සමානවමයි. වරාය සේවාවන් මෙහෙයවන අනෙක් සමාගමේ (HIPS) කොටස් 58%ක් චීන සමාගමට 42% ශ්‍රී ලංකා වරාය අධිකාරියට තිබෙනවා. මෙහෙම තිබුණාට සම්පුර්ණ කොටස්වලින් 50.7% තියෙන්නෙ වරාය අධිකාරියට. චීන සමාගමට දී තිබෙන 58% අතරෙ (HIPG) සමාගමට අයත් අපේ කොටස් 15%කුත් තියෙනවා.

HIPS සමාගමේ සභාපති වෙන්නෙ වරාය අධිකාරියෙ සභාපති. ඒකෙ උපසභාපති, ක්‍රියාකාරී අධ්‍යක්ෂ සහ තවත් එක් අධ්‍යක්ෂ කෙනෙක් පත්කරන්නෙ විෂයභාර ඇමැතිවරයා. ඊට අමතරව 42% කොටස්වලට අධ්‍යක්ෂවරු 4ක් පත්කිරීමේ බලය තියෙන්නෙත් විෂයභාර ඇමැතිවරයට අධ්‍යක්ෂ මණ්ඩලයේ 9 දෙනෙක්ගෙන් 5ක්ම පත්කරන්නේ අපි. දොස්කියන අය මේව දන්නෙ නැහැ. මේ විවේචන දේශපාලනිකයි.

මේ ගිවිසුමට අනුව හම්බන්තොට වරාය සේවකයන්ගෙ රැකියා සුරක්ෂිතද?

මම ඒ ගැන ගොඩක් සැලකිළිමත් වුණා. ගිවිසුමටම අපි ඇතුළත් කළා. මේ සමාගම් දෙකට සුදුසුකම් තිබෙන හැම සේවකයෙක්වම බඳවාගත යුතුයි කියලා. සුදුසුකම් නැති අයට, ලංකාවෙ කම්කරු නීතිවලට අනුව ගෙවිය යුතු වන්දි මුදල් ගෙවීමත් කළ යුතුයි. මේ හැම එකක්ම ගිවිසුමේ තියෙනවා.

ගිවිසුම හරහා මේ රටේ දකුණු ප්‍රදේශය චීනයට පාවාදෙන බවත් කියනවා.

කව්ද ඉතිං ඒක පටන් ගත්තේ. මේ ආණ්ඩුව නෙවෙයිනෙ. ඕව බොළඳ කතා. චීනය කියන්නෙ අපේ හොඳ මිත්‍රයෙක්. අපිට අමාරු කාලවලත්, අපිට හොඳ කාලවලත් චීනය අපිත් එක්ක හිටියා. මේ රජයේ විදේශ ප්‍රතිපත්තිය සියලුම රටවල් එක්ක සමීප සබඳතා ඇතිකර ගැනීම . අපි කුඩා රටක්. අපි හැමෝමත් එක්කම හොඳින් ඉන්න ඕන.

හම්බන්තොට වරාය චීනයට බදු දීමත් එක්ක පැන නැගිය හැකි තවත් ගැටලුවක් වෙන්නෙ රටේ ආරක්ෂාව. ඒ ගැනත් විවිධ කතා පැතිරෙනවා.

ඒ ගැන මම සැලකිළිමත් වුණා. රටවල් කීපයකම තානාපතිවරු එක්කත් මේ ගැන කතා කළා. මම චීන පාර්ශවයත් එක්ක කටයුතු කරද්දි ඒ අයට මේ ගැන පැහැදිලිවම කිව්ව. ඒ නිසා ගිවිසුමේ පැහැදිලිවම තියෙනව, ආරක්ෂිත කටයුතු සියල්ලම ශ්‍රී ලංකා රජය සතුබව.

ඊට අමතරව ආරක්ෂිත කමිටුවක් පිහිටුවනවා. ඒ කමිටුවෙ ප්‍රධාන කැඳවුම්කරු ශ්‍රී ලංකා වරාය අධිකාරිය, නාවික හමුදාව ‍, පොලීසිය, ආරක්ෂක අමාත්‍යාංශ නියෝජිතයෙක් මේ කමිටුවෙ ඉන්නවා. වරායෙ ආරක්ෂක කටයුතු කරන හැම කෙනෙක්ම ශ්‍රී ලාංකිකයින් විය යුතු බවත් එහි තිබෙනවා.

සේද මාවත ඉදිවීමත් එක්ක මේ වරායේ වටිනාකම වැඩිවෙන්න පුළුවන්. එහෙම තත්ත්වයක් තිබිය දී මේ වරාය කුණු කොල්ලයට බදුදීම මහා අපරාධයක් බවයි කියන්නෙ.?

කුණු කොල්ලයට බදුදීමක් නෙවෙයි මේක. මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 1.12ක් එනවා. ඊට අමතරව වරාය ක්‍රියාත්මක තත්ත්වයට ගේන්න ‍ෙඩාලර් මිලියන 600ක් ඔවුන් වියදම් කරනවා. දැන් තියෙන තත්ත්වයෙන් මේක ජාත්‍යන්තර වරායක් කරන්න බැහැ. මේ වරායෙන් උපයන ලාභයෙන් 30%ක් හැමවෙලාවෙම අපිට එනවා. 30% කොටස්වලට කොටස් ලාභයක් එකතුවෙනවා. රජයේ පංගුවකුත් අපිට එකතුවෙනවා. අවුරුදු 70ක් සම්පූර්ණවෙන කොට අවශ්‍ය නම් කොටස් සියල්ල අපිට මිල දී ගන්නත් පුළුවන්. අවුරුදු 80 වෙනකොට ඩොලර් එකක් ගෙවල 60%ක කොටස් ගන්න පුළුවන්. කවුද කියන්නෙ මේ ගිවිසුම නරකයි කියලා. 2014 මහින්ද රාජපක්ෂ මහත්තය එතුමගෙ අත්සනින්ම දැම්ම කැබිනට් පත්‍රිකාවෙ තිබුණෙ අවුරුදු 3ක් ඇතුළත ඩොලර් මිලියන 390ක් වරායට ආයෝජනය කරනවා. තඹ සතයක්වත් භාණ්ඩගාරයට ලැබෙන්නෙ නැහැ. 65%ක කොටස් ඒ අයට 35%ක කොස් අපිට. ඒ ගිවිසුමට අනුව ණයබර අඩුවෙන්නෙත් නැහැ. වරාය අධිකාරිය දිගටම ණය ගෙවන්නත් ඕන. ඒකට කැබිනට් අනුමැතියත් එදා ලැබුණා. ඒකතමයි අපි මේ වෙනස් කළේ.

ඔබ කියන විදියට ලංකාවට මෙච්චරවාසි සහගත ගිවිසුමකට ප්‍රබල රාජ්‍යයක් වන චීනය එකඟවීම ගැන ඔබ මොකද කියන්නෙ.

මේක වින් වින් වැඩක්. ඔවුන් හිතනව සේද මාවත වගේ ක්‍රියාන්විත නිසා හම්බන්තොට හොඳ සේවාස්ථානයක් කියලා. ඒ අයට අවශ්‍ය වෙලා තියෙන්නෙ ඔවුන්ගෙ වෙළෙඳ කටයුතු සඳහා ගමන්මාර්ගය නියමාකාරව හදාගන්න. චීනය ආර්ථික වශයෙන් ලෝකයෙ පළවෙනි තැනට එනබව ආර්ථික විශේෂඥයින් කියනවා. ඒ සඳහා මේ වගෙ වැඩ ඔවුන්ට ප්‍රයෝජනවත් වෙයි. ලැබෙන ලාභයෙන් 30%ක් අපිට එනවනෙ.

මේ ගිවිසුම පාර්ලිමේන්තු විවාදයකට ලක්කළේ නැහැ කියල කියනවා.

අපි සූදානම් වෙලා හිටියේ ඔවුන් විවාදයට ලෑස්තිවෙලා හිටියේ නැහැ. විවාදයට ඉඩ නොදී පාර්ලිමේන්තුවෙ සභාගර්භය මැදට පැනල එකදිගට උද්ඝෝෂණය කළා. විවාදය අවශ්‍ය නම් ඔවුන්ට තමන්ගෙ අසුන්වලට යන්න තිබුණා. විවාදය කරන්න බැරි තත්ත්වයක් තිබුණු නිසා පාර්ලිමේන්තුව කල් දැම්මා. ජනාධිපතිතුමාගෙ උපදෙස්මත අත්සන් කරපු ගිවිසුම කැබිනට් මණ්ඩලයට දානවා. ඊට පසු 08 වැනිදා පාර්ලිමේන්තුවට දානවා. අපිට විවාදයට නැවත දිනයක් දෙන්න පුළුවන්. අපිට හංගන්න කිසිම දෙයක් නැහැ.

ආණ්ඩුවෙන් 20ක් 17ක් යනව කියනවා. මේ ගැන මොකද කියන්නෙ.

එක පත්තරේක පින්තූර දාලම කිව්ව මේ අය යනව කියල. ඊට පස්සෙ ඒ අය බොහොමයක් ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියල කිව්ව අපේ අවසරයක් නැතුවයි මේ පින්තූර දාල තියෙන්නෙ කියල. අපි යනව නම් යන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් ගන්න තීන්දුව අනුවයි කියල. ජනාධිපති තුමත් සියලු දෙනා කැදවල කිව්ව දෙසැම්බර් මාසෙ අපි තීන්දුවක් ගමු කියල.

රවීව ඇමැතිකමෙනුයි, දුමින්දව මහ ලේකම් කමෙනුයි අයින් කළ යුතු බව ඩිලාන් පෙරේරා රාජ්‍ය ඇමැතිවරයා කියනවා.

ඒක එතුමගෙ මතය. ඕන කෙනෙකුට මතයක් දරන්න ඉඩ තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන ජනාධිපති තුමා තීන්දු ගනීවි.ආණ්ඩුව ගැන අගමැතිතුමයි ජනාධිපතිතුමයි කතා කරල තීන්දු ගනීවි. ඉස්සරහටත් විවිධ අදහස් මතුවෙයි.

බැඳුම්කර කොමිසම හරහා විවිධ කරුණු හෙළිදරව් වෙමින් තිබෙනවා. විශේෂයෙන් රජයේ මැති ඇමැතිවරුන්ටත් චෝදනා එල්ල වෙනවා. දූෂණ නැති කරන්න ආපු යහපාලන ආණ්ඩුව මෙහෙම වීම හරිද?

දූෂණය නැතිකරන්න තමයි බැඳුම්කර කොමිසමක් ජනාධිපතිතුමා දැම්මේ. ජනාධිපතිතුමාට ආත්ම ශක්තියක් තිබුණා. ආණ්ඩුවෙ ප්‍රධානිය හැටියට ඒ තීරණය ගන්න. අගමැති තුමා ඒක පිළිගත්තා. අගමැතිතුමා ඒකට බැහැ කිව්වෙ නැහැ. ඒක තමයි යහපාලනය කියන්නෙ. වැරදි ඕන වෙලාවක වෙන්න පුළුවන් හැබැයි ඒ වැරදි හොයන්න අපි ආණ්ඩුවක් හැටියට බැඳී ඉන්නවා. ජනාධිපති තුමා තමයි තීරණය කළේ හිටපු මහබැංකු අධිපතිගේ ධුරකාලය දීර්ඝ කරන්නෙ නැහැ කියලා. කලින් මෙහෙම වුණේ නැහැනෙ. ඒවට ඉඩ දුන්නේ නැහැනේ.

යහපාලන ආණ්ඩුව බලයට එන්න ඉස්සර කිව්වෙ දුෂිතයන් ඉන්නවා. ඒ අයට දඬුවම් කරනවා කියලා. ඒත් ජනතාව කියන්නෙ කිසිවෙක් අල්ලන්න බැරිවුණා කියල.

මේක ජනතාව අහනවනම් සාධාරණයි. මොකද? අපිටත් ඔය ප්‍රශ්නයම තියෙනවා. අවුරුදු දෙකහමාරක් ගිහිල්ලත් තවම හරියට වැඩක් කරපු නැති එක ගැන.

තව අවුරුදු දෙකහමාරක් තියෙනවා. ඒ කාලෙ යන්න ඉස්සෙල්ල යමක් වෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. නැත්නම් අපි සාර්ථක රජයක් කියල ජනතාව පිළිගන්න එකක් නැහැ. හොරු අල්ලන්න බැරි නම් අපිට කියන්න වෙනව එදා අපි කියපුවා බොරු කියලා.

අදහස් 2ක් ඇත

ලංකාවේ චන්දාදායක මෝඩයන්ට ඉගියක් 1948 න් පස්සේ ලංකාවේ කිසිම දෙසපලුවෙක් 1. පොදු දේපොළ වංචා සඳහා 2. මිනී මැරීම් සඳහා 3. නීතිය අවභාවිතව සඳහා 4. බලය අවභාවිතව සඳහා හිරගෙදර ගිය නැති බව ඔබල දන්නේ නැද්ද ( මෝඩ කට කෛවාරු කාරයෝ එකෙක් දෙන්නෙක් අධිකරණයට අපහස කිරීම් ඇරෙන්ඩ ) 1 DS කිසිම කෙනෙක් හිරගෙදර යවන්ඩ උත්සාහ කලේ නැත 2.DS Junior කිසිම කෙනෙක් හිරගෙදර යවන්ඩ උත්සාහ කලේ නැත 3 දහනායක කිසිම කෙනෙක් හිරගෙදර යවන්ඩ උත්සාහ කලේ නැත 4. SARD කිසිම කෙනෙක් හිරගෙදර යවන්ඩ උත්සාහ කලේ නැත 5. Mrs SW කිසිම කෙනෙක් හිරගෙදර යවන්ඩ උත්සාහ කලේ නැත 6.JR කිසිම කෙනෙක් හිරගෙදර යවන්ඩ උත්සාහ කලේ නැත ( දේසපාලන වදයක් Mrs SW ට දීම ඇර ) 7. DBW කිසිම කෙනෙක් හිරගෙදර යවන්ඩ උත්සාහ කලේ නැත 8 RP කිසිම කෙනෙක් හිරගෙදර යවන්ඩ උත්සාහ කලේ නැත 9. CBK කිසිම කෙනෙක් හිරගෙදර යවන්ඩ උත්සාහ කලේ නැත 10. RW කිසිම කෙනෙක් හිරගෙදර යවන්ඩ උත්සාහ කලේ නැත 11. MR කිසිම කෙනෙක් හිරගෙදර යවන්ඩ උත්සාහ කලේ නැත 13. RW කිසිම කෙනෙක් හිරගෙදර යවන්ඩ උත්සාහ කලේ නැත, උත්සාහ කරනේද නැත 14. MS කිසිම කෙනෙක් හිරගෙදර යවන්ඩ උත්සාහ කරනේද නැත මෙහි රහස කුමක්ද . ඔබලාම පිළිතුර සොයා ගන්ඩ.

ලංකාවේ චන්දාදායක මෝඩයන්ට ඉගියක් 1948 න් පස්සේ ලංකාවේ කිසිම දෙසපලුවෙක් 1. පොදු දේපොළ වංචා සඳහා 2. මිනී මැරීම් සඳහා 3. නීතිය අවභාවිතව සඳහා 4. බලය අවභාවිතව සඳහා හිරගෙදර ගිය නැති බව ඔබල දන්නේ නැද්ද ( මෝඩ කට කෛවාරු කාරයෝ එකෙක් දෙන්නෙක් අධිකරණයට අපහස කිරීම් ඇරෙන්ඩ ) 1 DS කිසිම කෙනෙක් හිරගෙදර යවන්ඩ උත්සාහ කලේ නැත 2.DS Junior කිසිම කෙනෙක් හිරගෙදර යවන්ඩ උත්සාහ කලේ නැත 3 දහනායක කිසිම කෙනෙක් හිරගෙදර යවන්ඩ උත්සාහ කලේ නැත 4. SARD කිසිම කෙනෙක් හිරගෙදර යවන්ඩ උත්සාහ කලේ නැත 5. Mrs SW කිසිම කෙනෙක් හිරගෙදර යවන්ඩ උත්සාහ කලේ නැත 6.JR කිසිම කෙනෙක් හිරගෙදර යවන්ඩ උත්සාහ කලේ නැත ( දේසපාලන වදයක් Mrs SW ට දීම ඇර ) 7. DBW කිසිම කෙනෙක් හිරගෙදර යවන්ඩ උත්සාහ කලේ නැත 8 RP කිසිම කෙනෙක් හිරගෙදර යවන්ඩ උත්සාහ කලේ නැත 9. CBK කිසිම කෙනෙක් හිරගෙදර යවන්ඩ උත්සාහ කලේ නැත 10. RW කිසිම කෙනෙක් හිරගෙදර යවන්ඩ උත්සාහ කලේ නැත 11. MR කිසිම කෙනෙක් හිරගෙදර යවන්ඩ උත්සාහ කලේ නැත 13. RW කිසිම කෙනෙක් හිරගෙදර යවන්ඩ උත්සාහ කලේ නැත, උත්සාහ කරනේද නැත 14. MS කිසිම කෙනෙක් හිරගෙදර යවන්ඩ උත්සාහ කරනේද නැත මෙහි රහස කුමක්ද . ඔබලාම පිළිතුර සොයා ගන්ඩ.

නව අදහස දක්වන්න