කඳාන වෙළෙඳ සංකීර්ණයට ජල පහසුකම් නෑ | දිනමිණ

කඳාන වෙළෙඳ සංකීර්ණයට ජල පහසුකම් නෑ

මහර ගණිදු රෝචන සමරතුංග

ජාඇළ ප්‍රාදේශීය සභාවට අයත් බව කියන කඳාන පොදු වෙළෙඳ සංකීර්ණයේ ඉදිකර ඇති සමහර වෙළෙඳසල්වල බිත්ති බොල්වී පුපුරා ඒවායේ වහලවලට සෙවිලි කර ඇති සෙවිලි තහඩු දිරා කැඩී යාම හේතුවෙන් වෙළෙඳුන් අව්වෙන් සහ වැස්සෙන් විවිධ කරදරවලට මුහුණපා සිටිති.

මෙහි ජල පහසුකම් නොමැති බැවින් මෙහි වැසිකිළි දැඩි අපිරිසුදු තත්ත්වයෙන් පවතියි. මීට අමතරව වැසිකිළිවල දොරවල් ගැලවී ඇත. මෙහි කානු පද්ධතිය අවහිර වී ඇති බැවින් ප්‍රදේශයේ මැසි මදුරුවන් බෝවීමේ අවදානමක් ද තිබේ.

ඇතැම් වෙළෙන්දන් විසින් මස් සහ මාළු අපද්‍රව්‍ය තැන් තැන්වලට බැහැර කිරීම හේතුවෙන් ඒවා කුණු වී ප්‍රදේශයේ දැඩි දුගඳක් පැතිර ඇත. මෙහි ඉදිකර ඇති සමහර ගොඩනැගිලිවල කොන්ක්‍රීට් ගැලවී ඇති බැවින් ඒවා කඩාවැටීමේ අවදානමක් මතුව පවතියි. මේ ස්ථානයෙන් භාණ්ඩ මිලදී ගැනීමට කඳාන, රාගම, බටුවත්ත, කල්එළිය, නාගොඩ, වැලිසර, මහබාගේ, වත්තල, පේරලන්ද, ගණේමුල්ල වැනි ප්‍රදේශවල ජනතාව වැඩි වශයෙන් පැමිණෙති. එහෙත් වසර ගණනාවක සිට මෙහි අබලන් තත්ත්වයෙන් පවතින ගොඩනැගිලි කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක්කර නැත.

ඒ අනුව කඳාන පොදු වෙළෙඳ සංකීර්ණයේ පවතින අඩුපාඩු නිසි පරිදි ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ප්‍රදේශවාසීහු අදාළ අංශවලින් ඉල්ලා සිටිති.

නව අදහස දක්වන්න