ශ්‍රීලනිපයේ අද ඇති ප්‍රජාතන්ත්‍රවාදය කිසිම නායකයකු යටතේ තිබුණේ නෑ | දිනමිණ

ශ්‍රීලනිපයේ අද ඇති ප්‍රජාතන්ත්‍රවාදය කිසිම නායකයකු යටතේ තිබුණේ නෑ

ස්වර්ණා විජේකෝන්
ඇමැති ෆයිසර් මුස්තාපා මහතා අදහස් දක්වන අයුරු. රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද මෙහි වෙයි. ඡායාරූපය - සිරිපාල හල්වල

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ පක්ෂයේ අද පවතින ප්‍රජාතන්ත්‍රවාදය කිසිදු නායකයකු යටතේ නොතිබූ බව පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා‍ මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පෙරේදා (03) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

"අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඇතුළු ඕනෑම තැනක දී ස්වාධීනව අදහස් දැක්වීමේ හැකියාව පවතිනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට කටයුතු කරනවා. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ අපේක්ෂාවෙන් ඇතැමුන් පක්ෂ නිර්මාණය කිරීමට උත්සාහ කළත් එවැනි අසාර්ථක උත්සාහයන්ගෙන් පක්ෂයට බලපෑමක් එල්ල කළ නොහැකියි. පළාත් පාලන මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට භාර දී තිබෙනවා. පනත විවාද කිරීම, සංශෝධන සිදු කිරීම ආදිය සඳහා දින වෙන් කරගැනීම ඇතුළු පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ වගකීම පවතින්නේ උත්තරීතර පාර්ලිමේන්තුවටයි. පක්ෂ නායක රැස්වීමක දී ඒ පිළිබඳව සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගනීවි. ඒ වගේම පළාත් පාලන මැතිවරණය කල් දමන බවට ඇතැමුන් විෂය භාර ඇමැතිවරයා ලෙස මට චෝදනා කරනවා. නමුත් විෂය භාර ඇමැතිවරයා ලෙස මා විසින් ඉටු කළ යුතු කාර්යය සිදු කර අවසන්. ඉදිරි පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ මිශ්‍ර ක්‍රමය යටතේ. තිහයි හැත්තෑව පදනමේ තිබූ සභික ධූර සංඛ්‍යා මේ යටතේ හැටයි හතළිහ ලෙස වෙනස් වෙනවා. කෙසේ වුවද නව ක්‍රමය යටතේ කොට්ඨාසයට වගකියන උගත් බුද්ධිමත් පිරිසක් තෝරා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. ඒ වගේම දේශපාලනයට සුදුසු උගත් බුද්ධිමත් පිරිසක් නිවැරැදිව තෝරා පත් කරගැනීමේ හැකියාවත් ජනතාවට ලැබෙනවා.

මීට පෙර පැවැති මැතිවරණ පැවැත්වූයේ මනාප ක්‍රමය යටතේ. මැතිවරණ ක්‍රමය වෙනස් කරන ලෙස බොහෝ ඉල්ලීම් තිබුණා. මෙවර මැතිවරණය මිශ්‍ර ක්‍රමය යටතේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා. පෙර මැතිවරණ ක්‍රමය යටතේ ඇත්තටම සැබෑ ජනමතය නොමැති පිරිස් පවා දේශපාලනයට අවතීර්ණ වුණා. මුදල් නිසා දේශපාලනයට ආවා. නමුත් නව මැතිවරණ ක්‍රමය යටතේ එලෙස සිදු වන්නේ නෑ. ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ඉදිරිපත් කරන්නේ දේශපාලනයට සුදුසු, උගත් බුද්ධිමත්, ජනතාවට වගකියන පිරිසක්. මෙහි දී කාන්තා නියෝජනය කෙරෙහිත් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. කාන්තා නියෝජනය සියයට විසිපහ දක්වා වැඩි කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා අගමැතිවරයා දැඩි වෙහෙසක් දැරුවා.

ඒ වගේම ලෝකයේ සමහර රටවල කාන්තාවන් නියෝජනය කරන ඇතැම් පළාත් පාලන ආයතනවල වංචා, දූෂණ, අක්‍රමිකතා‍ අඩු බවට‍ පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා‍‍. ඇත්තටම මුදල් පරිපාලනයේ දී කාන්තාවන්ට සුවිශේෂි හැකියාවක් තිබෙනවා. ඒ වගේම මෙය හොඳ ප්‍රවණතාවක්. මේ තත්ත්වය අපටත් අවස්ථාවක් කරගැනීමේ හැකියාව තිබෙනවා. නව මැතිවරණ ක්‍රමය යටතේ කාන්තා නියෝජනය වැඩිකිරීමෙන් පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමේ හැකියාව ලැබෙනවා. නව ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමේ දී කොට්ඨාස 8542ක් සඳහා සභිකයන් තෝරා ගැනෙනවා. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තුවටයි. ඒ වගේම අපි පැෆරල් ඇතුළු මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සමඟ සාකච්ඡාවක නිරත වුණා. මැතිවරණය කොටස් වශයෙන් පැවැත්වීමේ දී රාජ්‍ය මුදල් හා රාජ්‍ය සම්පත් නාස්ති වන බවට ඔවුන් එහි දී සඳහන් කළා. ඇත්තටම එය සත්‍යයක්. ඒ වගේම මැතිවරණය කල් දැමීමේ කිසිම අවශ්‍යතාවක් අපට නෑ. කෙසේ වුවත් මෙවර මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දක්ෂ, උගත්, වෘත්තීයවේදීන් ඇතුළු කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකයා‍ ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂය ශක්තිමත් කිරීමට මෙන්ම පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට දැඩි වෙහෙසක් දරනවා. ඒ වගේම ශ්‍රී ලංක‍ා නිදහස් පක්ෂයේ විවිධ අවස්ථාවල දී විවිධ ගැටුම් තිබුණා. නමුත් පක්ෂ නායකයාට පක්ෂය කරගෙන යෑමට නොදී මෙවැනි ආකාරයට කකුලෙන් අඳින අවස්ථා ඉතිහාසයේ කිසිම අවස්ථාවක අපි දැක නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අභියෝග කිරීම වෙනුවෙන් ඔය පොහොට්ටු හැදුවාට හරියන්නේ නෑ. ඔය පොහොට්ටු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අභියෝග නොවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ම හැදිලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න හදන අයට පක්ෂයේ සාමාජිකයන්ගෙන් සමාවක් ලැබෙන එකක් නෑ. පොදු ජන පන්තිය වෙනුවෙන් ආරම්භ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයිති චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරුන්ට නෙවෙයි. මේ රටේ පොදු ජනතාවටයි. අද වන විට ශ්‍රී ලංකා‍ නිදහස් පක්ෂයේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය කිසිම නායකයකු යටතේ තිබුණේ නෑ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තම සහෝදරයන් දේශපාලනයට ගෙන ඒමේ අවශ්‍යතාවක් නෑ. ඒ නිසා අද පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා. ඒ වගේම පනත සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ දී කාන්තා නියෝජනයට අසාධාරණයක් සිදුනොවීම වෙනුවෙන් මැදිහත් වීමට අපි වගබලා ගන්නවා."

නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය

"නව පළාත් පාලන සංශෝධන කෙටුම්පතෙන් කාන්තා නියෝජනය 25%ක් අහිමි වන්නේ නම් මම එයට දැඩිව විරුද්ධයි. කාන්තා නියෝජනය අඩු වන ආකාරයෙන් පාර්ලිමේන්තුවට සංශෝධන ඉදිරිපත් කළහොත් මම විරුද්ධව ඡන්දය ලබා දෙනවා. කාන්තාවන්ට ප්‍රශ්න නෑ කියලා බොහෝ දෙනෙක් සිතාගෙන ඉන්නවා. නමුත් ආණ්ඩුකරණය සඳහා කාන්තා දායකත්වය ප්‍රමාණවත් නෑ. නමුත් ලෝකයේ බොහෝ රටවල දේශපාලන ක්ෂේත්‍රයේ දී කාන්තා නියෝජනය අපට වඩා වැඩියි. නේපාලයේ ජාතික දේශපාලනයේ කාන්තා නියෝජනය සියයට විසිනවයක්. එය ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර තිබෙනවා. පාකිස්ථානයේ කාන්තා නියෝජනය සියයට විස්සක්. බංග්ලාදේශයේ කාන්තා නියෝජනය සියයට විස්සක්. ඇත්තටම අපේ රටේ දේශපාලන ක්ෂේත්‍රය නියෝජනය කරන කාන්තාවන්ගෙන් බහුතරය පවුල් දේශපාලනයෙන් පැමිණි අයයි. පුරුෂ පාර්ශ්වය ගත්තත් එහෙමයි. කෙසේ වුවත් 2016 අංක 01 දරන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒමේ දී කාන්තා නියෝජනය අඩු වන ආකාරයේ සංශෝධන ඉදිරිපත් වුණොත් අපි පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනවා"

නව අදහස දක්වන්න