අවුරුදු මිලියන 140ක් පරණ මලක් | දිනමිණ

අවුරුදු මිලියන 140ක් පරණ මලක්

මංජුලා විජයරත්න

මල් ගැන කතා කරන්නට කවුරුත් කැමැතිය. සාමාන්‍ය ජනයා මෙන්ම විද්‍යාඥයෝද මල් ගැන කතා කරති. පැහැය, සුවඳ සහ ලස්සන යන කාරණාවලින් ඔබ්බට ගොස් මල් ගැන විද්‍යාත්මක විග්‍රහයක යෙදෙන්නේ ඔවුන්ය. ඒ අන්දමට මල් පිළිබඳ විද්‍යාත්මක විග්‍රහයක යෙදෙන්නට දැරූ උත්සාහයක් තුළින් ඈත අතීතයේ පැවැති මලක ස්වරූපය ගැන ආනාවරණය කරගන්නට විද්‍යාඥයෝ පිරිසක් සමත් වූහ. එකී කාර්යයෙහි නියැලුණේ ප්‍රංශයේ පැරිස් සුද් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසකි. වසර මිලියන 140කට පළමුව පෘථිවිය මත තිබුණේ යැයි කියා විශ්වාස කෙරෙන පුෂ්පයක ස්වරූපය නැවත නිර්මාණය කිරීමට මේ විද්වත්හු පිරිස සමත්ව සිටිති.

පර්යේෂකයන් ප්‍රකාශ කරන අන්දමට වසර මිලියන 140ට පළමුව පැවැති ඒ පුෂ්පය ද්වි ලිංගිකය. එනම් ජායාංගි (ස්ත්‍රී කොටස්) සහ පූමංගි (පුරුෂ කොටස්) කොටස් එකම පුෂ්පයක පිහිටා තිබී ඇත. මලක පෙතිවලට සමාන ව්‍යුහයක් මේ ප්‍රාග් ඓතිහාසික පුෂ්පයේත් තිබුණු බව පර්යේෂකයෝ පෙන්වා දෙති. මල් පෙතිවලට සමාන එම ව්‍යුහ තුනක්ම ප්‍රාග් ඓතිහාසික පුෂ්පයේ තිබී ඇත. පුෂ්පයේ මැද පරාග ශුකි තිබුණු බවත් සඳහන් වේ. මේ කියන පුෂ්පය සමාන වන්නේ අද අප දකින මහනෙල් මලට බව පර්යේෂකයෝ පවසති. විවිධ ශාක විශේෂවලට අයත් පුෂ්ප ලක්ෂ තුනකට ආසන්න සංඛ්‍යාවක් අපට අද මේ වනවිට දක්නට ලැබෙන බව විද්‍යාඥයෝ පෙන්වා දෙන්නෝය. ඒ සෑම පුෂ්පයක්ම යටකී පුෂ්පයේ ව්‍යුත්පන්න විය හැකි බව පර්යේෂකයන්ගේ මතයයි. පර්යේෂණය සිදු කිරීමට මූලික දායකත්වය ලබාදුන් ආචාර්ය හාර්වේ සව්ක්වේට් ඒ සම්බන්ධයෙන් පවසන්නේ මෙවැන්නකි.

“... මුල් ශාකවලින්, සෑම සපුෂ්ප ශාකයක්ම (මල් හට ගන්නා ශාකයක්ම) පරිණාමය වෙලා, වෙනස් වෙලා තිබෙනවා. ... අපට මුහුණ දෙන්න වුණු ගැටලුව තමයි, අදින් වසර මිලියන 130කට පළමුව මේ මිහිමත දක්නට ලැබුණු සපුෂ්ප ශාකවල පොසිල සීමා සහිත ප්‍රමාණයක් හමුවී තිබීම. සපුෂ්ප ශාක මිහිමත පහළ වීම සම්බන්ධයෙන් විවිධ විද්‍යාඥයන් විවිධ මත ඉදිරිපත් කර තිබෙනවා. නමුත් එකඟතාවයක් නැහැ. ...”

විද්‍යාඥයන් ප්‍රකාශ කරන ආකාරයට මේ මිහිමත ශාක ඇති වී තිබෙන්නේ මෙයට වසර මිලියන 470කට ඉහතදීය. අද අප දකින ශාකවලින් 90%ට ආසන්න ප්‍රමාණයක මූලය එසේ ඇති වුණු පළමු ශාක බවට මතයක් ඇත. නමුත් පළමු ශාක පෘථිවිය මත ඇති වුණේ කෙසේද යන්න තවමත් අපැහැදිලි කාරණයකි. විද්‍යාත්මකව සනාත කරගත් කාරණාවල සඳහන් වන්නේ ප්‍රාථමික මට්ටමේ ශාක පෘථිවිය මත ඇති වී තිබෙන්නේ මෙයට වසර මිලියන 1200කට පමණ ඉහත දී යැයි කියාය. ඒවා ජලයේ හෝ තෙතමනය සහිත ස්ථානවල හෝ වැඩෙන්නට ඇතැයි කියා මතයක් ඇත. එසේ වුවත් මෙයට වසර මිලියන 470ට පළමු කාල පරිච්ඡේදය එළඹෙන තුරුම ගොඩබිම මත ශාක දක්නට ලැබුණේ නැති බව ඇතැම් විද්‍යාඥයෝ දැනට තහවුරු කරගෙන සිටිති.

මෙවැනි මතභේදාත්මක තත්ත්වයක් තුළ ලොව පැ‍රැණිම පුෂ්පයේ ස්වරූපය ප්‍රතිනිර්මාණය කිරීම පැරිස් සුද් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්ට විශාල අභියෝගයක්ව තිබී ඇත. එයට තවත් ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ වසර මිලියන 140කට ඉහත පැවැති පුෂ්ප පොසිල කිසිවක් සොයාගන්නට ඉඩ නොලැබීමය. මේ වාතාවරණය තුළ පිවිසුම් කිහිපයක් ඔස්සේ උක්ත පර්යේෂණය සිදු කරන්නට ඔවුන්ට සිදුව තිබිණ. එක් පිවිසුමක් යටතේ ශාක හා සම්බන්ධ පොසිල 136ට ආසන්න සංඛ්‍යාවක් ඔවුහු අධ්‍යනය කළහ. අධ්‍යයනයෙන් ඔවුන් විමසා බැලුවේ එම පොසිල සපුෂ්ප ශාකවලට දරන බන්ධූත්වය කුමක්දැයි කියාය. තවත් ප්‍රවේශයෙන් අධ්‍යයනය කෙරුණේ දැනට පවත්නා සපුෂ්ප ශාකවල ජාන පිළිබඳයි. ඒ අනුව ශාක කුල 372ට අයත් විශේෂ 792ක සාම්පල ඔවුහූ අධ්‍යයනය කළහ. එම අධ්‍යයනයෙන් ප්‍රාග් ඓතිහාසික සපුෂ්ප ශාකවල ව්‍යුහයන් ගැන තොරතුරු අනාවරණය කර ගන්නට පර්යේෂකයන්ට අවස්ථාව ලැබිණ. ලබා ගත් දත්තවලින් පරිණාමික ශාකය ගොඩනැඟීමට හැකි වීම අධ්‍යයනයන් තව දුරටත් පහසු කරවන්නක් වූ බව පර්යේෂකයෝ පවසති. ඒ ඒ කාලවලදී පෘථිවිය මත පහළ වුණු ශාකවල හටගත් පුෂ්පවල ප්‍රධාන ලක්ෂණ හෙළි කර ගන්නට මෙය ඉතා හොඳ මඟක් වී තිබේ. ඒ අනුව පරිගණක මෘදුකාංග ද භාවිතයට ගනිමින් හෙළි වූ ලක්ෂණ අනුව ප්‍රාග් ඓතිහාසික පුෂ්පය ප්‍රති නිර්මාණය කරන්නට පර්යේෂකයෝ සමත්ව සිටිති.

ප්‍රතිනිර්මාණය කෙරුණු මේ පුෂ්පය හා සමාන පුෂ්ප පිපී තිබෙන්නට ඇත්තේ ලොව කවර ඉසව්වකද යන්න ගැන අනාවරණයක් නැත.

එමෙන්ම වැනි පුෂ්පවල පරාගනය එදා සිදු වූයේ කෙසේද? වැනි කාරණා ගැනත් නිසි පැහැදිලි කිරීමක් තවම සිදුව නොමැත. නමුත් පුෂ්ප දරන ශාක පරිසරය තුළ තිබෙන විට මීමැස්සන්ට සමාන කෘමීන් පුෂ්පවලට පැමිණෙන්නට ඇතැයි කියා ආචාර්යය සව්ක්වේට් පවසයි. පුෂ්ප විශාල සංඛ්‍යාවක පරාගන කාර්යය අද සිදුවන්නේ මීමැස්සන් මාර්ගයෙනි. ඒ අනුව එය වසර මිලියන 110 – 130ත් අතර කාල පරිච්ඡේදයකට ඉහතදී යට කී ආකාරයේ මී මැස්සන්ට සමාන කෘමි විශේෂයකින් ආරම්භ වන්නට ඇතැයි සැක කෙරේ.

නව අදහස දක්වන්න