කලාවේ මුලාව | දිනමිණ

කලාවේ මුලාව

ආදරය අන්ධ නැති නමුත් ඒ දුර්මතය සාමාන්‍යකරණය කළ පුද්ගලයා නම් සැබෑ අන්ධයෙකි. කිසියම් සංකල්පයක් පිළිබඳ අනාදිමත් කාලයක සිට පැවත එන මත එයාකාරයෙන්ම පිළිගන්නා අපි සැවොම අන්ධයෝ වෙමු. දහසකුත් එකක් එවන් විකෘතිකරණයට ලක් වූ සංකල්ප අතරේ කලාවට සුවිශේෂි ස්ථානයක් හිමි වේ. අටෝරාසියක් තරම් කලාව පිළිබඳ ඇති අර්ථකතන හමුවේ අපි මුලාවට පත් වී ඇත්තෙමු.

රියැලිටියත් ෆැන්ටසියත් අතර දෝලනය වන කලාව හුදු මවාගත් දෙයක් පමණක් බවට සාක්ෂි සපයන්නෝ වර්තමාන කලාකරුවෝ වෙති. කලාකරුවා යනු තම සිත තුළ තෙරපෙන හැඟීම් මුදා හරින්නෙකු, සමාජ ප්‍රපංචයක් හෝ සංකල්පයක් පිළිබඳ හඬ නගන්නෙකු හෝ සමාජයේ වෙසෙන චරිතයකට මුවා වී එවන් චරිත තනි වී නොමැති බව පසක් කරන මිනිසෙකි. සාමාන්‍ය මිනිසාගෙන් වියුක්තව කලාකරුවා යන නාමය ඔහුට හිමිව ඇත්තේ ඒ නිසා ය. නිහතමානිත්වය, මිත්‍රශීලි ප්‍රතිරූපය සහ භේදයකින් තොරව සියලු දෙනා පිළිගැනීම යනාදි මානව ගුණාංග ඔහු තුළ ඇති බව කලාව පිළිබඳ ඇති නිර්වචන තුළින් අපි උගෙන සිටින්නෙමු.

තුංමංහන්දියේ සිරිසේන සහ ඔහුගේ මාමාගේ චරිත ආශ්‍රයෙන් අපි මහගමසේකරගේ සංවේදිතාව සහ දයාවි ගුණය දකින්නෙමු. අම්මාගේ සොහොන ළඟ දෙදණ ඔබා සිටින පුතුගේ වචන තුළින් කලාකරුවාගේ සිතේ ඇති ආදරය දකින්නෙමු. ප්‍රේමකීර්ති ද අල්විස් 'ආදරණීය ප්‍රේම්' බවට පත්වන්නේ සිය කලා නිර්මාණවල ඇති ජීවගුණය සැබෑ ජීවිතයේත් ඔහු තුළ තිබෙන්නට ඇති නිසා ය. ජීවිතවලින් සමුගෙන බොහෝ කල් ඉක්ම ගියත් තවමත් ඔවුන් පිළිබඳ ගුණ ගායනා වැයේ.

වර්තමානයේ එවන් මානවවාදී කලාකරුවෝ සිටිත් නම් ඒ අතලොස්සකි. හතු පිපෙන්නාක් මෙන් කලාකරුවන් බිහි වීම මේ සන්තෑසියට හේතු කාරණා වේ. ප්‍රශ්නය නම් විනෝදාංශයක් වශයෙන් නිර්මාණ කිරීම තමා කලාකරුවකු කරනු ඇතැයි යන දුර්ලබ්ධියයි. මුදල් මත තීරණය වන කැරම් ක්‍රීඩාවක දැන් කලාවත් එක් ඉත්තෙකි. අහුලා ගත් වචන කීපයකට කෙඳිරියක් තරම් වන නාද රටා දැමූ ගීත රැල්ලක් ලංකාවේ නිර්මාණය වී ඇත්තේ මේ නිසා ය. මේ කලා නිර්මාණවලින් කිසි විටෙකත් කලාකරුවාගේ චෛතසික ඉස්මතු නොවේ. නමුත් ඔහු කලාකරුවෙකි. නිර්වචන සැපයුම් මධ්‍යස්ථානයේ කොතනක හෝ ප්‍රශ්නයක් සිදු වී ඇත.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයා යනු මානව ප්‍රේමයෙන් ඔද වැඩුණු, අධිසංවේදි, කලාවේ කෙළ පැමිණි අයවලුන් යැයි සිතීම තවත් කල් ඉකුත් වූ සිතුවිල්ලකි. සැබෑ ලෙසම එවන් විද්‍යාර්ථීන් නිර්මාණය වූ කාලයක් තිබෙන්නට ඇත. නමුත් එය නගරයට වඩා ගම හොඳ යැයි කියන තරමේ යල් පැන ගිය හිතලුවකි. මුහුණේ සිනාවක් නැති, හීනමානයකින් පෙළෙන, තෝරාගත් කණ්ඩායමකට පමණක් ආදරය කරන මිනිසුන් ළඟ ඇත්තේ ව්‍යාජ කලාවකි. මිනිසෙකු කලාව නිර්මාණය කරන්නෙකු වන්නේ සමාජ තත්ත්වය මත නොව ඔහුගේ මනෝභාව සහ සමාජය කෙරේ ඔහුගේ ඇති පහන් සිතුවිලි නිසා ය.

උසස් රසිකත්වයක් උදෙසා අද නිමැවෙන වේදිකා නාට්‍යයක් ඉදිරිපස අසුනක සිට බැලීමට හාල් කිලෝ දහයක් ගැනීමට තරම් මුදලක් වැය වේ. ඒ අසුන් හිස් නොවන තැනට වග බලාගන්නා ඉහළ පාන්තික පිරිසක් ද ඇත. කලා කෘතිය රස විඳීමේ අරමුණෙන් මේ අසුනක යමෙක් සිටී නම් ඔහු සැබෑ කලාකාමියෙකි. සවස් යාමයේ සැන් පවුඩර් නාගෙන සුඛෝපභෝගී වාහනවලින් පැමිණෙන රැඟුම් ශාලාවල ඉදිරි අසුන්වල හිමිකාරයෝ කිහිප දෙනෙක් සිටිති. නාට්‍යයේ අග-මුල නැති මොවුහු ප්‍රේක්ෂක තැනේ සිට වෙනම නාටකයක් රඟ දක්වති. තමන්ගේ ආටෝප-සාටෝප තත්ත්වය පෙන්වීම සඳහා ඔවුන්ගේ ආයුධය කලාවයි.

කලාව යලි කියවිය යුත්තකි. භේදයකින් තොරව සැබෑ ලෝකයේ කිසියම් තැනක අයෙකු හෙම්බත් විය හැකි ය. එවන් අවස්ථාවක පිළිසරණ පතන්නේ කලාවෙනි. ගීතයකට සවන් දීම, චිත්‍රපටයක් නැරඹීම යනාදී ක්‍රියාකාරකම් කිරීමට මිනිසුන් පෙළඹෙන්නේ හිස මත ඇති බරක් මොහොතකට හෝ අමතක කිරීමේ අභිප්‍රායෙනි. ජීවිතයට බලාපොරොත්තු අවශ්‍ය ය. ඒ සඳහා වඳින්න යන දේවාලය කඩා වැටුණු තැනක් නම් මිනිස්සු බලාපොරොත්තු නැත්තෝ වෙති. කලාවට නොයන හිත කැලෑවට යාමට පෙර කලාව වැඩි තැන මුලා නොවිය යුතුය.

තිසරණී විජයබණ්ඩාර

@Thizuu

නව අදහස දක්වන්න