TNA පක්ෂ නායකයින්-විග්නේෂ්වරන් අතර සාකච්ඡාවක් | දිනමිණ

TNA පක්ෂ නායකයින්-විග්නේෂ්වරන් අතර සාකච්ඡාවක්

විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයට අයත් පක්ෂවල නායකයින් සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

යාපනයේ පිහිටි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වුණු අතර සාකච්ඡාව සඳහා දෙමළ සන්ධානය නියෝජනය කරන පක්ෂ වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන්, ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ප්ලොට් සංවිධාන නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.

ඒ අනුව අදාළ සාකච්ඡාවේදී උතුරු පළාතේ වත්මන් තත්ත්වය සහ ඉදිරි දේශපාලන කටයුතු මෙන්ම උතුරු පළාත් සභාවේ අමාත්‍ය ධූර සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන්ය.

ඊට අදාළව යෝජනා තුනක් අදාළ සාකච්ඡාවේ දී සම්මත කරගෙන තිබේ.

පළාත් සභාවේ අමාත්‍ය  මණ්ඩලය පත්කිරීම ඇතුළු උතුරු පළාත් සභාවේ ප්‍රධාන ඇමතිවරයා සතු සියලු බලතල භුක්ති විඳීම සඳහා සී.වී.විග්නේෂ්වරන්ට බලය පැවරීමට ද දෙමළ ජාතික සන්ධාන නායකයින් එහිදී තීරණය කර ඇති බව වාර්තා වෙයි.


නව අදහස දක්වන්න