ස්ටෙන්ට් මිල අඩුවෙයි | දිනමිණ

ස්ටෙන්ට් මිල අඩුවෙයි

හෘද රෝග සැත්කම් සඳහා භාවිත කරන ස්ටෙන්ට් මිල පසුගිය (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

ගම්පහ විද්‍යාරවින්ද්‍ර පිරිවෙනේ තෙමහල් ධාතු මන්දිරයට මුල්ගල් තැබීම වෙනුවෙන් පෙරේදා (05) පෙරවරුවේ පැවැති උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියේය.

ඒ අනුව වෙළෙඳපොළේ රුපියල් 75,000කට අලෙවි වන ලෝහමය ස්ටෙන්ට් රුපියල් 24,000ක් දක්වා මිල අඩු කර ඇත. රුපියල් ලක්ෂ 3 ½ කට අලෙවි වූ ඖෂධ මුදාහරින ස්ටෙන්ට් මිල රුපියල් එක්ලක්ෂ පන්දහස දක්වා මිල අඩුකර ඇත. 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව මෙම මිල නියාමනය සිදු කර තිබේ.

හෘද සැත්කම් සඳහා මෙතෙක් වෙළෙඳපොළේ ස්ටෙන්ට් අධික මිල ගණන් යටතේ අලෙවි කිරීමෙන් හෘද රෝගීහු ගැටලු රැසකට මුහුණදී සිටියහ. ඒ පිළිබඳ අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ස්ටෙන්ට් මිල අඩු කිරීමට පියවර ගන්නා ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතාට දැනුම් දී තිබුණි.

ඒ අනුව මිල නියාමනය සිදුවන අතර, පෙරේදා (05) සිට මෙම මිල ගණන්වලට ස්ටෙන්ට් වෙළෙඳ පොළේ අලෙවි වන්නේදැයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් විමර්ශනයක් ද සිදු කරනු ලබයි. රජයේ රෝහල්වලට පැමිණෙන හෘද රෝගීන් සඳහා ස්ටෙන්ට් නොමිලේ ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා මීට පෙර පියවර ගෙන තිබුණි.

ඉදිරියේදී ඉතා අධික මිල ගණන්වලට අලෙවි වන ඖෂධ සහ උපකරණ මිල තව තවත් අඩුකර රෝගී ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය. වෙළෙඳ පොළේ ස්ටෙන්ට් අලෙවි කරන සමාගම් මෙම මිලට ස්ටෙන්ට් අලෙවි කළ යුතු බවත් පෞද්ගලික රෝහල් හෘද සැත්කම් සිදු කිරීමේදී භාවිත කරන ස්ටෙන්ට් සඳහා මෙම මිල අනුගමනය කළයුතු බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ අතර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන දිවියට 40 වසරක් සපිරීම නිමිත්තෙන් පැවැති විවාදය ඒකාබද්ධ විපක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් වර්ජනය කිරීම පහත් ක්‍රියාවක් බවයි. කිසිවෙකු උත්සවයකට ආරාධනා කළවිට පක්ෂය, ජාතිය, ආගම නොබලා ඊට සහභාගි විය යුතුයි.

එය සංස්කෘතික ලක්ෂණයක්. හිටපු ජනාධිපතිනියගේ කාලයේදී අය-වැය ඉදිරිපත් කිරීමෙන් පසු පවත්වන රාත්‍රී භෝජන සංග්‍රහය වර්ජනය කිරීමට මන්ත්‍රීවරුන් උත්සාහ කළා. නමුත් මම ප්‍රකාශ කළා පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩ නොකර එම භෝජන සංග්‍රහයට සහභාගී විය යුතු බව. මා සමඟ හිටපු ජනාධිපතිනිය විරුද්ධ වුවත් මම භෝජන සංග්‍රහයට සහභාගි වී සිටීම පිළිබඳ ඇය පුදුමයට පත්වුණා. එම නිසා පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට ගරු කළ යුතු යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

නව අදහස දක්වන්න