නෝර්වේ විශේෂඥවරයාගේ වාර්තාව ජනපතිට | දිනමිණ

නෝර්වේ විශේෂඥවරයාගේ වාර්තාව ජනපතිට

නෝර්වේ විශේෂඥ කණ්ඩායම සිය අතුරු වාර්තාව ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදුන් අවස්ථාව.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උ‍මගෙහි ඇති වූ ජල කාන්දුව සම්බන්ධයෙන් සොයා බැලීමට කැඳවූ නෝර්වේ විශේෂඥයා සිය අතුරු වාර්තාව පසුගියදා ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දුන්නේය.

නිසි ශක්‍යතා අධ්‍යයනයකින් සහ පරිසර බලපෑම් අධ්‍යයනයකින් තොරව එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම හේතුවෙන් එහි ප්‍රධාන උමගෙහි ජලය කාන්දුවීම සහ අදාළ ප්‍රදේශයේ භූගත ජලය සිඳීයාම සිදුවී ඇති බවට මෙහිදී නෝර්වේ විශේෂඥ Bent Agaam මහතා පෙන්වා දුන් අතර උමගේ කැනීම් කටයුතුවලදී ඒ වටා ඇති බිත්තිවල විශේෂ සිමෙන්ති ආලේපකර ජලය කාන්දුවීම වැළැක්වීම පමණක් ප්‍රමාණවත් වී නොමැති බව ද ඔහු සිය වාර්තාවෙන් පෙන්වා දෙයි.

උමගේ ඉතිරි කි.මී. හතර හමාරේ කැනීම් කටයුතුවලට පෙර වක්‍රාකාරව සිමෙන්ති ආලේප කළ හැකි යන්ත්‍ර භාවිතා කළ යුතු බවටත්, එහිදී දැනට භාවිතා කරන සිමෙන්තිවලට වඩා ශක්තිමත් සිමෙන්ති වර්ගයක් භාවිතා කළ යුතු බවටත් එකී වාර්තාවේ නිර්දේශ කර තිබේ. උමං මාර්ගයේ කැණීම් කටයුතු ජනාවාස සහිත ප්‍රදේශවලට යටින් සිදුවන බැවින් මෙය ඉතා අත්‍යාවශ්‍ය බවද විශේෂඥවරයා පෙන්වා දෙයි.නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම හේතුවෙන් අද ප්‍රදේශයේ ජනතාවට මුහුණදීමට සිදුව ඇති දුෂ්කරතා ඉතා ඛේදජනක බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා මෙම ගැටලු නිරාකරණය කර ගනිමින් ජනතාවට සහන සැලසීමට රජය අධිෂ්ඨානශීලීව කටයුතු කරන බව සඳහන් කළේය.

දේශපාලන තීන්දු මත හදිසියේ ක්‍රියාවට නැංවූ මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ඇති වූ පීඩාකාරී තත්ත්වය ඉදිරි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී වැදගත් පාඩමක් බව පැවසූ ජනාධිපතිතුමා ඉදිරියේදී මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත කි.මී. 22 ක් දිගැති උමගක් සහිත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තවදුරටත් විශේෂඥ වාර්තා ලබාගැනීමට තමා අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට මුහුණපෑමට සිදුවූ අසීරුතාව පිළිබඳ අවධානය යොමුකරමින් හදිසියේම සිදුකළ ඉල්ලීම පිළිගෙන මෙහි පැමිණීම පිළිබඳ ජනාධිපතිතුමා නෝර්වේ විශේෂඥයා වෙත තම විශේෂ ස්තුතිය පිරිනැමීය. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා සහ උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය භාර අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරින් සහ නෝර්වේ තානාපතිවරයා ඇතුළු පිරිසක් මේ අවස්ථාව‍ට එක්ව සිටියහ.

 

නව අදහස දක්වන්න