ඊ කොමර්ස් සේවාවේ වර්ධනයයට ඩීඑෆ්සීසී බැංකුව සමඟ ‘වෙබෙක්ස්පේ’ එක්වෙයි | දිනමිණ

ඊ කොමර්ස් සේවාවේ වර්ධනයයට ඩීඑෆ්සීසී බැංකුව සමඟ ‘වෙබෙක්ස්පේ’ එක්වෙයි

ඊ කොමර්ස් සේවාව ශ්‍රී ලංකාව තුළ නව වර්ධනයක් කරා රැගෙන යාමේ පරමාදර්ශය උදෙසා සිය පාරිභෝගිකයන් ඊ කොමර්ස් සේවාවේ වෙළෙඳුන් හා සම්බන්ධ කිරීමට ඩී. එෆ්. සී. සී. බැංකුව වෙබෙක්ස්පේ ඊ කොමර්ස් සේවාව සමඟ අත්වැල් බැඳ ගනී.

මේ නව හවුල්කාරීත්වය තුළින් ඩී. එෆ්. සී. සී. බැංකුවේ පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ‘වර්ධන වර්චුවල් වොලට්’ (Vardhana Virtual Wallet) සේවාව වෙබෙක්ස්පේ හී 600 කට අධික ඊ කොමර්ස් වෙළෙඳුන් සමඟ ගනු-දෙනු කිරීමේ විකල්පයක් ලෙස භාවිත කිරීමේ හැකියාව ලැබේ. සිය දෛනික ජීවිතයේ අවශ්‍යතා ඇතුළුව අතිශයින්ම පුළුල් පරාසයකින් යුතුව භාණ්ඩ හා සේවා ලබා ගැනීම සඳහා වර්ධන වර්චුවල් වොලට් සේවාව පාරිභෝගිකයන්ට කදිම පිටුවහලක් වනු ඇත.

‘වෙබෙක්ස්පේ’ සමඟ හවුල්කාරීත්වයට පිවිසීමේ අරමුණ වූයේ අපේ ඉලක්ක දෙකක් සපුරා ගැනීමයි. අපේ පාරිභෝගිකයන්ට වඩාත් පහසු හා සරල අත්දැකීමක් ලබාදීමට අපට අවශ්‍ය වුණා. ඒ වගේම අපේ රටේ ඊ කොමර්ස් සේවාවේ හිඩැස සංවර්ධනය කිරීමට දායක වීමට අපිට හැකියාව ලැබෙනවා.’ මේ නව ගිවිසුම පිළිබඳ DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී අර්ජුන ප්‍රනාන්දු මහතා එසේ කීවේය.

විශේෂයෙන්ම ඩී. එෆ්. සී. සී. බැංකුවෙහි පුළුල් අත්දැකීම් මත අන්තර්ජාලය ඔස්සේ ගනු-දෙනු කිරීමේ නිදහස් වටපිටාවක් ශ්‍රී ලාංකිකයන්ට ලබාදීම සඳහා WEBXPAY සමඟ ඇති කර ගත් සහයෝගිතාව ඉතා කාලෝචිත යැයි අපි විශ්වාස කරමු. ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට සහ පාරිභෝගිකයන්ට වඩාත් උද්යෝගිමත්ව කටයුතු කිරීමට අවස්ථාවක් ලබාදීම අපේ බලාපොරොත්තුවයි.’ ඔහු කීවේය.

වෙබෙක්ස්පේ සේවාව වසර 2016 මැයි මාසයේ දී පළමුවරට ආරම්භ කරනු ලැබූ අතර එය සැලසුම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ඊ වානිජ්‍යත්වයේ නව රැල්ලක් කරා ගමන් කිරීමට තනි පිවිසුම් මාර්ගයකින් සියලුම ගෙවීම් ක්‍රම ඒකාබද්ධ කිරීම සඳහාය.

‘ඩී. එෆ්. සී. සී. බැංකුව සමඟ අපගේ සහයෝගිතාව ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ගනු-දෙනු සේවාවේ වෙනස්කම්වල අභියෝගයට මුහුණ දීමේ අප තුළ ඇති දැක්මේ දැවැන්ත පියවරක්. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ව්‍යාපාරිකයන්ට තාක්ෂණික වර්ධනයේ පළමු අත්දැකීම සාර්ථකව විඳ ගැනීමට ඉඩ ලබාදීම වෙබෙක්ස්පේ සේවාවේ ඉලක්කයයි. එමගින් මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ මුදල් හුවමාරුවකින් තොරව විද්යුත් ක්‍රමවේදය හරහා ගනු-දෙනු කිරීම දක්වා පරිවර්තනය කිරීමයි.’ වෙබෙක්ස්පේ සේවාවේ නිර්මාතෘ සහ අධ්‍යක්ෂ නසීම් මොහොමඩ් මහතා ප්‍රකාශ කළේය.

‘මෙවැනි සුබවාදී වෙනසකට මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රය ලක් කිරීමට ඩී. එෆ්. සී. සී. බැංකුව අපව තෝරා ගැනීම ගැන අපගේ ස්තූතිය පිරිනමනවා. අප දෙපාර්ශ්වයම ශ්‍රී ලාංකික ව්‍යාපාර සහ ගනු-දෙනුකරුවන් වෙනුවෙන් කරනු ලබන දැවැන්ත ක්‍රියාදාමයක් මෙමඟින් ඇරැඹෙනු ඇත. එය මෙරට ආර්ථිකයේ කොඳුනාරටිය බවට පත් කිරීම අපේ උත්සාහයයි.’ මොහොමඩ් මහතා වැඩි දුරටත් කීවේය.

අන්තර්ජාලය හරහා සිය නිෂ්පාදන හා සේවාව ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාව ඇති සියලු දෙනාට මේ ක්‍රමවේදයට ඔවුන් සතුව ඇති ඕනෑම අන්තර්ජාල සම්බන්ධතාවකින් එක් විය හැකිය. එමඟින් ඔවුන්ගේ බැංකු ගිණුමට ඉතා සුරක්ෂිතව ගෙවීම් ලබාගත හැකිය. මේ සේවාව යටතේ තරගකාරී මිල ගණන් නියම කිරීමේ විකල්ප සපයන අතර මාසික ගෙවීම් ක්‍රමවේද රැසක් ද විකල්ප වශයෙන් ලබාදෙනු ඇත.

ඩී. එෆ්. සී. සී. බැංකු ජාල සහ සේවා මධ්‍යස්ථාන 138ක ජාලයක් රට පුරා ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් තිබේ. සතියේ දින 7දීම විසිහතර පැයේ ක්‍රියාත්මක වන සම්බන්ධතා මධ්‍යස්ථාන, අන්තර්ජාල බැංකුකරණය, විද්යුත් නිවේදන සැපයීම, කෙටි පණිවුඩ සේවාව, ජංගම ටේලර් සහ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ පළමුවරට හඳුන්වාදුන් ‘වර්ධන වර්චුවල් වොලට්’ ක්‍රමය හරහා ඩී. එෆ්. සී. සී. බැංකුව මෙරට නව තාක්ෂණික දියුණුවක් ඇති කිරීමට කැපවී සිටී. ඩී. එෆ්. සී. සී. බැංකුව සියලුම ශ්‍රී ලාංකිකයන්ට නිදහස් වටපිටාවකින් යුතු ඩිජිටල් බැංකු සේවාවක් සඳහා විශිෂ්ට දායකත්වයක් සැපයීමේ කාර්යභාරය ඉහළින්ම ඉටු කරමින් සිටී. 

 

නව අදහස දක්වන්න