හොරුන්ට හුරේ කියන පන්සල් දේශපාලනය | දිනමිණ

හොරුන්ට හුරේ කියන පන්සල් දේශපාලනය

ආර්යන්ගේ එකමුතුවේ මහලේකම් බැඳිවැවේ දියසේන හිමි

රට තුළ වර්ජන රැල්ලක් දැන් ක්‍රියාත්මක වෙමින් තිබේ. වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමේ සැබෑ වුවමනාව ඇත්තේ මින් සුළු වර්ජන සංඛ්‍යාවකට පමණි. බුහුතරයක් තුළ ඇත්තේ දේශපාලන වුවමනාවකි. විශේෂයෙන් පරාජිත දේශපාලනඥයින්ගේ සෙවණැලි මෙම වර්ජන පසුපස දක්නට ලැබෙන අතර පිරිසක් දැනද තවත් පිරිසක් නොදැනද මේවාට සම්බන්ධව සිටිති.

යහපාලන ආණ්ඩුව පිහිටුවීම පිණිස පෙරමුණ ගත් පිරිස අතර වූ ප්‍රධාන සටන් පාඨය වංචා දූෂණ පිටු දකිමු යන්නයි. දස වසරක මහින්ද රාජපක්ෂ පාලනය තුළ සිදුවූ අයථා ගනුදෙනු මෙන්ම බලය පවත්වා ගැනීම පිණිස ලෝභයකින් තොරව ඔවුන් විනාශ කළ මහජන මුදල් කන්දරාව සම්බන්ධයෙන් ජනතාව තුළ වූයේ කලකිරීමකි. එය පිටාර ගැලුවේ ඡන්දයෙනි.

ජනපතිවරණයේදී පමණක් නොව පාර්ලිමේන්තු මැතිවරණයේදීද ජනතාව එකම තීන්දුව ගනිමින් මහින්ද පරාජයට පත් කළේය. ජනපතිවරණයේදී ජනතාව වැරදි තීන්දුවක් ගත් බව පසක් කරගෙන මහ මැතිවරණයේදී එය නිවැරදි කරනු ඇති බවට පාරම් බෑ මහින්ද හිතවාදීන්ට ජනතාව දෙවන වරට එල්ල කළේ කලින් වතාවටත් වඩා රිදෙන කම්මුල් පහරකි. ප්‍රතිවාදීන් මට්ටු කරන්නට මහින්ද පාලනය බහුලව භාවිතා කළේ නීතියට එපිටින් ක්‍රියාත්මක වැඩපිළිවෙළ ය.

සමහර සිද්ධි සමාජ කතාබහට ලක්ව නීතිය ඉදිරියේ විභාග වෙමින් තිබුණද කිසිඳු සාක්ෂියක් ඉතිරි නොකර සිදුවූ අපරාධ නොතිබුණා යැයි කාටනම් කිව හැකිද?

අපූරු ප්‍රකාශයක්

අද ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම කතා කරන්නේ එදා ඔවුන් විශ්ව විද්‍යාල සිසුන්ට කිසිඳු පහරදීමක් සිදු නොකළ ගානටය. රතු පස්වල ජලය ඉල්ලා උද්ඝෝෂණ සිදුකළ ජනතාවට කිසිඳු පහර දීමක් සිදු නොකර සාකච්ඡා මඟින් ප්‍රශ්න විසඳූ අය සේය. කටුනායක වෙළෙඳ කලාපයේ රෝෂේන් චානක නමැති තරුණයකු වෙඩි තැබීමකින් ඝාතනය වූයේද යන්න පිළිබඳව කිසිඳු මතකයක් අද ඔවුන්ට නොමැත. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවලට ගිනි තබා විනාශ කළ උදවිය අද මාධ්‍ය නිදහස පිළිබඳ කතා කරන්නේ වත්මන් ආණ්ඩුව බිහි වූවාට පසුව උපන් අය ලෙසිනි.

දේශපාලනයේ හැටි එසේය. බොහෝ දේශපාලනඥයින් මතකයේ රඳවා තබා ගනිමින් නිතර ජනතාවට පවසන්නේ ඔවුන්ට වාසි දායක කරුණු පමණි. ආවාසිදායක සිදුවීම් මතකයේ තිබුණද ඒවා පිළිබඳ කතා නොකර වාසි සඳහාම පමණක් පෙර සිදුවීම් පාවිච්චි කරන්නට දේශපාලනඥයෝ තරම් සූර වෙනත් පිරිසක් අද අප සමාජයේ නොමැත.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරන්නට මිලියන 600 ක මුදලක් මහින්ද රාජපක්ෂ රජය ලබා දුන්නේ ය. හිටපු ජනපතිවරයාගේ පූර්ණ ආශිර්වාදයෙන් ඇරඹි සයිටම් වෛද්‍ය විද්‍යාලයට අද ඔවුන්ම විරුද්ධය. උද්ඝෝෂණය කරන සිසුන්නට ශක්තිය දෙන්නට වර්ජනය කරන වෛද්‍යවරුන්ට ජීවය දෙන්නට ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් දක්වන්නේ පුදුම උනන්දුවකි. නිදහසින් පසු සිටම මෙරට ක්‍රියාත්මක වූ කුහක දේශපාලනයේ උච්ඡතම අවස්ථාව දැන් එළඹ තිබෙන බව මෙම ක්‍රියා මඟින් කදිමට පැහැදිලි වන්නේ ය.

රජ දවස පටන් මහ සංඝරත්නය රජුට අවවාද අනුශාසනා කරමින් රට නිවැරදි මඟට ගෙන යෑමට කටයුතු කළහ. ඒ තුළ පැවතියේ ජනතාවට යහපතක් කිරීමේ අවංක වුවමනාවය. කාලයේ ඇවෑමෙන් මහ සංඝරත්නයද දේශපාලනයට පිවිසියහ. ඉන් පසු බුද්ධ චීවරය දේශපාලන වුවමනා වෙනුවෙන් එළිපිට භාවිත කරන්නට භික්ෂූන් වහන්සේ පෙළඹුනහ. මහ සංඝරත්නය අතරින් පිරිසක් ඍජුව දේශපාලනය කරමින් පාර්ලිමේන්තු පවා යත්දී තවත් පිරිසක් ඍජුව දේශපාලනයට නොපැමිණ දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියාකරන්නට වූහ.

අතීතය අමතක වීම

අද දක්නට ලැබෙන ඇතැම් භික්ෂූන් වහන්සේගේ ක්‍රියාකලාපය තුළින් මෙම තත්ත්වය පැහැදිලිව දක්නට ලැබෙයි. උන්වහන්සේලාට අවශ්‍යව ඇත්තේ යළි මහින්ද බලයට ගෙන ඒමටය. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පසුගියදා අපූරු ප්‍රකාශයක් කළහ. ඉන් කියැවුණේ මහින්ද හොරකම් කළත් කමක් නැහැ ආයෙත් බලයට ගෙනආ යුතු බවයි. වත්මන් ආණ්ඩුවේ කිසිවකු සොරකම් කරන්නේ නම් ඔහු පන්නා දැමිය යුතුය. ආණ්ඩුව ඊට එරෙහිව ක්‍රියාත්මක නොවන්නේ නම් ආණ්ඩුවටද එරෙහි විය යුතුය.

එහෙත් එය කළ යුත්තේ තවත් සොරකු බලයට ගෙන ඒම සඳහා නොවිය යුතුය. මෙය තේරුම් ගැනීම ඉතා වැදගත්ය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් යළි බිහිවනු ඇතැයි සිහින දකින හිමිවරු මහින්ද සොරකම් කර ඇතත් යනුවෙන් ප්‍රකාශ කිරීම තුළින් පැහැදිලි වන්නේ මහින්ද සොරකම් කර තිබෙන බව උන්වහන්සේලාද පිළිගන්නා බවයි.

චෝදනා තිබූ පමණින් යමකු වරදකරුවකු නොවන්නේය. වත්මන් රජය රාජපක්ෂ පාලනය සම්බන්ධයෙන් නොයෙක් චෝදනා ඉදිරිපත් කළත් තවමත් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාත්මක වීමක් සිදුකර නොමැති බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි. පසුගිය රජයේ දැවැන්ත හොරු තවමත් නිදැල්ලේ බව ජනතාව නිතර පවසන දෙයකි. මේ සම්බන්ධයෙන් නිසි ලෙස ක්‍රියාත්මක නොවී මැතිවරණයක් පැමිණි පසු මහින්දලා‍ට හොර ලේබලය ඇලවීමට ආණ්ඩුව ක්‍රියා කළ හොත් ඉන් සිදුවන එකම දේ ආණ්ඩුව ජනතා අප්‍රසාදයට ලක්වීම පමණි.

ශාසනයේ ගැටලු

පසුගිය රජය මෙන් දේශපාලන වාසි සඳහා චෝදනා මතුකර පෙන්වීම ජනතාවාදී ආණ්ඩුවකට නොවටිනා දෙයකි. තමන්ගෙන් පළිගැනීමට යහපාලන ආණ්ඩුව ක්‍රියාකරන බවට මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් නිතර මහජන රැස්වීම්වලදී මෙන්ම මාධ්‍යය සාකච්ඡාවලදී ද පවසන්නේ හැකිනම් අත්අඩංගුවට ගන්නා ලෙසට අභියෝග කරමිනි. මෙසේ සිදු කරන්නාවූ වාරයක් පාසා සිදු වන්නේ ඔවුන්ට එල්ල කෙරෙන චෝදනා බාල්දු වීමය. මෙය රජය තේරුම් ගත යුතුය.

වර්තමානයේ මෙරට භික්ෂූ ශාසනය තුළ බරපතළ ගැටලු මතුව තිබේ. එකක් විනය ගැටලුව ය. අනෙක වන්නේ ධර්ම කරුණු විකෘති කිරීම නිසා ඇතිව තිබෙන ගැ‍ටලු සහගත තත්ත්වයයි. යම් යම් ස්වාමින්ද්‍රයන් වහන්සේලා තමන්ට හිතෙන දේවල් බුදුන්ගේ ධර්මය ලෙස ප්‍රකාශ කරන්නට යෑම ගැටලු රැසකට හේතුවී තිබේ. මෙමඟින් හානි සිදුවන්නේ ධර්මයේ ප්‍රධාන සැකිල්ලට ය. සෑම විටම මහ සංඝ රත්නය පෙනී සිටිය යුත්තේ සත්‍යය වෙනුවෙනි. ඇත්ත යටපත් කර නැත්ත මතු කරලීම බුදු පුතුන්ගේ වගකීම නොවේ. උද්ඝෝෂකයින්,වර්ජකයින් සාමාන්‍ය ජනතාව දැඩි ලෙස පීඩා විදිත්දී මුනිවත රකින ඇතැම් භික්ෂූන් වහන්සේලා උද්ඝෝෂකයින්ට හා වර්ජකයින්ට දිරි දෙන්නේ දේශපාලන අරමුණකින් මිස වෙනත් කිසිවක් නිසා නොවන්නේය.

වරද කවුරුන් කළත් වැරදිය. යූ. එන්. පි යද ශ්‍රීලනිප යද ජ. වි. පෙ ද දෙමළ ජාතික සන්ධානයද ඒ කවුරුන් කළත් වරද වරදමය. මෛත්‍රී කළත් මහින්ද කළත් රනිල් කළත් වරද වරදම ය. වරදේදී වැදගත් වන්නේ වැරදි කළ පුද්ගලයා කවුද යන්නට වඩා වරද කුමක්ද යන්නය. එහෙත් අද ඇතැම් භික්ෂූන් වහන්සේ ක්‍රියා කරන්නේ වරද කුමක්ද යන්න අමතක කර වරද කළේ කවුද යන සංකල්පයේ පිහිටාය.

මහින්දට සමාව දීමට ඕනෑම මොහොතක සූදානම් උන්වහන්සේලා නිතර උත්සාහ ගන්නේ මෛත්‍රී හා රනිල් දඩුකඳේ ගසන්නට ය. පසුගිය රජය සමයේ දළදා මාලිගාව දෙදරුම් කවමින් බේබිලා කාර් රේස් පදිද්දී,දීඝවාපි පුදබිම ඩෝසර් කරත්දී මුනිවත රැකි භික්ෂූන් වහන්සේලා එකමුතුවක් ගැන කතා කරන්නේ පිං පෙට්ටියට සීල් තබන විටය.

පිං‍පෙට්ටිය නිසා හෝ භික්ෂූන් වහන්සේලා එක්වීම හොඳය. නමුත් ඒ එකමුතුව රාජපක්ෂ වන්දනාව සඳහා නම් ඉන් පලක් නොමැත. මහින්ද රාජපක්ෂ පාලන සමයේ නිල හා නොනිල වශයෙන් වරප්‍රසාද ලත් භික්ෂූන් වහන්සේ මහින්ද යළි බලයට ගෙන ඒම පිණිස කටයුතු කිරීමේ ප්‍රශ්නයක් නැත. නමුත් ප්‍රශ්නය ඇත්තේ තමන් ලත් වරප්‍රසාද පිළිබඳ කතා නොකර ජනතාව මුළා කිරීමට වෙනත් මත සමාජගත කිරීමට උත්සාහ කිරීම තුළය. එය බුද්ධ පුත්‍රයන්ට නොවටිනා දෙයකි.

 

සටහන
අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න