නිකිණි පොහොය | දිනමිණ

නිකිණි පොහොය

රාජකීය පණ්ඩිත මැදගම පඤ්ඤාරතන හිමි

අජාසත්ත රජතුමාගේ අනුග්‍රහය ඇතිව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආනන්ද, අනුරුද්ධ, උපාලි යන මහ රහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහරහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් රජගහනුවර වේහර පර්වතයේ සත්තපර්ණි .ගුහාද්වාරය ඉදිරිපිට ඉදිකරවු අලංකාර මණ්ඩපයකදී ප්‍රථම ධර්ම සංඝායනාව ආරම්භ කරන ලද්දේද නිකිණි පුන් පොහොය දිනයේදීය.

බුදුරජුන් සිය 14 වන වස්කාලය ශ්‍රාවස්ථිපුර දෙව්රම් වෙහෙරේ වැඩ වසමින් සිටියදී රාහුල තෙරනුවන්ට රාහුලෝවාද සූත්‍රය දේශනා කරමින් සිටින අතර එම සූත්‍රයට දැඩි උවමනාවකින් ඇහුම්කන් දෙමින් සිටි රාහුල තෙරනුවන් රහත්භාවයට පැමිණියේද නිකිණි පොහොය දිනයේදීය.

වස්සාන කාලය ලෙස නිකිණි පොහොයට පසුව උදාවන සමය හැඳින්විය හැකිය. බුදුරදුන්ගේ ලළාට ධාතු නිධන්කර සේරුවාවිල දාගැබ තැනීම ආරම්භ කිරීමද නිකිණි පොහොයේදී සිදුවිය. එමෙන්ම සේරුවාවිල පෙරහර පැවැත්වෙන්නේද නිකිණි පෝයත් සමඟය. නිකිණි පුන් පොහොය වස්සාන සමයෙහි ආරම්භයයි. මෙතැන් සිට මාස හතරක කාලයක් වස් වසන්නට භික්ෂුන් වහන්සේ වෙත ප්‍රඥප්තියක් පනවා ඇත.

හිමාලය අවට දඹදිව් තලයේ වර්ෂා කාලය ඇරඹෙන්නේ මේ සමයේදීය. කඳු මුදුන් සහ පහත නිම්නයන් තෙත සහිත සීතල ජලය සහිත නිසා ගස්මුල් අසල වාඩිවී බණ භාවනා කිරීමට මේ සමයේ උචිත නොවේ. බුද්ධ කාලයේදී විසු පැවිදි පිරිස් වස් කාලය ඇතුළත චාරිකාවෙන් තොරව ආවරණ සහිත තැනක හිඳ මහණදම් පිරීම කළහ. තුන්මසක් තිස්සේ වස් වසා අවසානයේදී චීවර මාසය උදාවේ. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහතෙරුන් රහත්භාවය ලබා ගත්තේද නිකිණි පොහොය දිනයේය.

ජයන්ති කුරේ

නව අදහස දක්වන්න