ආමිස පූජාවට වඩා ධර්මයෙන් කරන පූජාව ශ්‍රේෂ්ඨයි | දිනමිණ

ආමිස පූජාවට වඩා ධර්මයෙන් කරන පූජාව ශ්‍රේෂ්ඨයි

බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් මිනිසුන්ටත් දෙවියන්ටත් තම තමන්ගේ ජීවිත තුළින් උපරිම විදිහට පල නෙළාගන්නට මඟ කියාදෙනව. එනිසා පරිපූර්ණ වශයෙන් ජීවිතය අවබෝධකරගැනීම පිණිස ධර්මය තුළින් පෙන්වාදෙන වැඩපිළිවෙළ හඳුනාගෙන, ඒ වැඩපිළිවෙළ අනුගමනය කිරීමට අපි ප්‍රමාද නො විය යුතුයි. මොකද? අපේ ආයුෂ ටිකෙන් ටික ගෙවිලයනව.

අපි ප්‍රමාද වුණොත් ඒ ධර්මයෙන් නිසි පල ලබාගන්ට බැරුවම තමයි අපට මැරෙන්න සිද්ධවෙන්නෙ. මොහොතින් මොහොත මරණය කරා ළංවෙන අපේ ජීවිතය තුළ එක මොහොතක්වත් අපතේ යන්න එහෙම නැත්නම් අර්ථ රහිතව ජීවිතය ගෙවන්න කාලයක් නෑ. ඒ නිසා අපි ඒ ධර්මය මැනවින් අහල දරාගෙන එහි අර්ථය ජීවිතයට ගළපාගන්න කල්පනා කළ යුතුයි.

මේ ‍ලෝකයේ සමහර අය නොයෙක් ආකාරයේ පුද පූජාවන් පවත්වමින් තම තමන්ගේ ජීවිතවලට පින් රැස්කරගන්ට උත්සාහ කරනවා. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වාදෙනවා, ආමිසයෙන් සංග්‍රහ කිරීමත්, ධර්මයෙන් සංග්‍රහ කිරීමත් කියල දෙයාකාරයක්. ආමිස පූජාවත් ප්‍රතිපත්ති පූජාවත් කියල දෙකක් තියෙනව කියල.

භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙනවා මේ දෙක අතරින් වඩාත් ශ්‍රේෂ්ඨ වන්නේ ඒ ප්‍රතිපත්තිය විදිහට සලකන ධර්ම පූජාව කියල. ධර්මයෙන් භාග්‍යවතුන් වහන්සේට පූජා පැවැත්වීම තමයි වඩාත් ශ්‍රේෂ්ඨ වන්නේ කියලා. එතකොට ආමිස පූජාව නොකළ යුතුද? නෑ. ආමිසයෙන් පූජා පැවැත්වීම කළ යුතු දෙයක්. නමුත් වඩාත් ශ්‍රේෂ්ඨ වෙන්නේ ධර්මයෙන් කරන පූජාවයි. මහා කාරුණික වූ තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ගෙන් බලාපොරොත්තු වුණේ ඒ ශ්‍රේෂ්ඨ දෙයමයි.

ඒ නිසා අපි ජීවිතය පරිපූර්ණ වශයෙන් දියුණුවෙන ප්‍රතිපදාවක් අනුගමනය කළ යුතුයි. “දැන් මගෙ ජීවිතය පරිපූර්ණයි. දියුණුවෙලා ඉවරයි. කළ යුතු දේ කරල ඉවරයි කියල යම් දවසක අවසන් කරන්ට පුළුවන් ප්‍රතිපදාවක් අනුගමනය කරන්න ඕනෑ. නමුත් ආමිසයෙන් කරන පූජාව එහෙම ඉවරකරන්න බෑ. නමුත් ප්‍රතිපදාවකින්, ධර්මයෙන් යම් පූජාවක් කරනව නම් ඒකේ අවසානයක් දකින්න පුළුවන්.”

අපි හිතමු එක පුද්ගලයෙක් පහන් දහයක් පූජා කරනව කියල. ඒක දකින තව කෙනෙක් හිතනව, “අනේ මම පහන් විස්සක් පූජාකරගන්න ඕනෑ කියල. ඒක දකින තව කෙනෙක් හිතනව, “අනේ මම ඊට වැඩිය පූජාකරගන්න ඕනෑ කියල, සීයක් පූජාකරනව. තව කෙනෙක් හිතනව, “මට මීට වඩා පූජාකරගන්ට ඇත්නම් කියල අසූ හාරදාහක් පූජා කරනව. අවසානයක් තියෙනවද? ඒකෙ අවසානයක් දකින්ට බෑ.

දවසක් භාග්‍යවතුන් වහන්සේ විසින් කාශ්‍යප බුද්ධ ශාසනයේදී සිදුවෙච්ච සිද්ධියක් ආනන්ද ස්වාමීන් වහන්සේට විස්තර කළා. උන්වහන්සේ දේශනා කරනව, “කාශ්‍යප බුද්ධ ශාසනය පවතින කාලයේ ගවේසි කියල උපාසක කෙනෙක් පන්සියක් පිරිස සමඟ වාසය කළා කියල. දවසක් මේ ගවේසි උපාසකතුමා කල්පනා කළා,” මේ පන්සීයක් දෙනත්, මමත් එක සමානයි.

ඒක නිසා මගේ ජවිතයට විශේෂ දෙයක් එකතු කරගන්ට ඕනෑ කියල හිතල ඒ උපාසකතුමා සිල් පද පහ ආරක්ෂා කරන්ට පටන් ගත්තා. සීලය පිරුණ කෙනෙක් බවට එයා පත්වුණා. ඊට පස්සේ එතුමා ඇසුරු කරපු ඒ පන්සියක් දෙනාත් කල්පනා කළා. “අපිට උපකාර කරන ගවේසි උපාසක තුමා සීලය පරිපූර්ණ කරගත්තා. ඉතින් ඒ වගේ කෙනෙක් ඇසුරු කරන අපි සීලය පරිපූර්ණ කරගන්නෙ නැතිව ඉන්න එක හොඳ නැහැ. අපිත් පිරුණු සිල් ඇති අය බවට පත්වෙන්ට ඕනෑ කියල. ඒ අයත් සිල් පද පහ පරිපූර්ණ කරගත්ත අය බවට පත්වුණා.

ඊට පස්සෙ ගවේසි උපාසකතුමා කල්පනා කළා දැන් අපි සමානයිනෙ. දැන් මම විශේෂ දෙයක් එකතු කරගන්ට ඕනෑ කියල හිතල එතුමා මෛථූන සේවනය අතහැරිය. ඊට පස්සේ අර පිරිසත් මෛථූන සේවනය අතහැරිය. ඊට පස්සෙ නැවතත් ගවේසි උපාසක තුමා කල්පනා කළා දැන් මමත් යහළු පිරිසත් නැවතත් එක සමානයි කියල එතුමා විකාල භෝජනය අතහැරිය. යහළු පිරිසත් ගවේසි උපාසකතුමා අනුව යමින් විකාල භෝජනය අතහැරිය. ඊට පස්සෙ ගවේසි උපාසක තුමා කල්පනා කළා අපි දැන් සමානයි.

මම විශේෂ දෙයක් ඇති කරගත්තොත් හොඳයි කියල කල්පනා කරල භාග්‍යවතුන් වහන්සේ මුණගැහෙන්ට ගිහින් ප්‍රකාශ කළා. “භාග්‍යවතුන් වහන්ස, මම කැමතියි භාග්‍යවතුන් ළඟ පැවිදිවෙන්න කියල ප්‍රකාශ කරල, භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිදි උපසම්පදාව ලබාගත්ත. ඊට පස්සෙ වීරිය කරල සියලු කෙලෙස්වලින් නිදහස් වෙලා අරහත්වයට පත් වුණා. අරහත්භාවයට පත්වීමත් එක්ක ජීවිතයේ කළ යුතු සියල්ල කරල අවසන් කළා.

ඊට පස්සෙ ගවේසි උපාසකතුමා කල්පනා කළා මම පන්සියයක් උපාසක පිරිසට අනුග්‍රහ කරමින් සිටියෙ. ඒ විදිහට අනුග්‍රහ කරමින් සිටින අතරම මම මගේ ගුණධර්ම ටික ටික වැඩිකරගත්ත. එතකොට ඒ පන්සිය දෙනා මොන තත්ත්වෙද ඉන්නෙ? ඒ අය තාම ගිහි උපාසකයින්. ඊට පස්සෙ ඒ ගිහි පිරිස කල්පනා කළා මේ ගවේසි උපාසකතුමා අපිට උපකාර කළා.

නමුත් දැන් එතුමා භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිදි වෙලා. අපි තාමත් උපාසක විදිහටයි ඉන්නෙ. ඉතින් අපි මේ වගේ උතුම් කෙනෙක් ඇසුරු කරද්දී මේ විදිහට සිටීම අපිට සුදුසු නෑ කියල හිතල මේ පන්සිය දෙනත් භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණිලා පැවිදි වුණා. පැවිදි වෙලා ඒ අයත් වීරිය කරල උතුම් අරහත්වයට පත්වුණා.”

එතකොට බලන්න ඒ ගවේසි කියන උපාසක තුමා ක්‍රම ක්‍රමයෙන් එතුමාගේ ගුණධර්ම දියුණු කරගත්ත. අරහත්භාවයට පත් වුණා. එතුමා ආයෙමත් උත්සාහ කළාද විශේෂත්වයක් කරන්ට? දැන් එතුමා ඇසුරෙ හිටපු පන්සියක් දෙනා එතුමා ඇසුරෙ සිටිමින් පිළිවෙළින් ගුණ ධර්ම දියුණු කරගෙන අරහත්භාවයට පත්වුණා. දැන් සියලු දෙනා සමානයි. ඊට කලින් නම් සියලු දෙනා සම වෙනකොට ගවේසි උපාසකතුමා කල්පනා කළා, මම විශේෂත්වයක් එකතු කරගන්ට ඕනෑ කියල.

ඒ විශේෂත්වය එකතු කරගැනීමේ අවසානයක් තිබුණද නැද්ද? ඒ ගමන අවසන් වුණා. ඒක තමයි ධර්මයෙන් සිදුකරන පූජාවේ තිබෙන විශේෂත්වය. ඒකයි ඒ ධර්මයෙන් සිදුකරන පූජාව ආමිසයෙන් කරන පූජාවට වඩා ශ්‍රේෂ්ඨයි කියල කියන්නෙ. ආමිස පූජාව කෙළවර කරන්ට බෑ. ආමිස පූජාව විතරක් කරල ජීවිතයේ පරිපූර්ණ දියුණුවක් කරා යන්ට බෑ. එතකොට මේ ආමිස පූජාව කුමක් සඳහාද? ආමිස පූජාව ධර්ම පූජාවට අනුග්‍රහ පිණිසයි කළ යුත්තේ. ප්‍රතිපත්තියට එන්නෙ උදව්වක් විදිහටයි ආමිස පූජාව තියෙන්නෙ. ඒක හරියට පඩිපෙළක් නඟින්ට උදව් කරන අත්වැලක් වගෙයි. 

 

නව අදහස දක්වන්න