ආසියානු පැරා ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ මීළඟ ඉලක්කයයි | දිනමිණ

ආසියානු පැරා ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ මීළඟ ඉලක්කයයි

 ලබන වසරේ ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් ශ්‍රී ලංකා පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පුහුණු වැඩ සටහන් සංවිධානය කිරීමට අපේක්ෂා කරති.

අවසන් වරට දකුණු කොරියාවේ පැවති ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කමක් රිදී පදක්කම් 6ක් සහ ලෝකඩ පදක්කම් 7ක් සමග පදක්කම් 14ක් දිනා ගත්තේය. අමරා ඉන්දුමතී, දුමීර මධුරංග අල්විස්, ලයනල් ධර්මසිරි, සංඛ කුමාර, උපුල් ඉන්දික චූලදාස, දිනේෂ් දේශප්‍රිය සහ ප්‍රදීප් සංජය ලෝකඩ සහ රිදී පදක්කම් ශ්‍රී ලංකාවට දිනා දුන්හ. අනිල් ප්‍රසන්න ජයලත් රිදී පදක්කම් 2ක් හා රන් පදක්කමට හිමිකම් කීවේ ය.

නිමාවූ ලන්ඩන් ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී පිරිමි හෙල්ල විසිකිරීමේ G46 ඉසව්වට සහභාගී වූ දිනේෂ් ප්‍රියන්ත රිදී පදක්කමක් දිනා ගැනීමට සමත්වූ අතර ඔහු ඇතුලු පැරා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මීළග ජාත්‍යන්තර තරගාවලිය වන්නේ ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙල වේ.

දිනේෂ් ප්‍රියන්තගේ පුහුණුකරු ලෙස කටයුතු කරන ප්‍රදීප් නිශාන්ත මහතා පවසන්නේ වර්තමානයේ පැරා මලල ක්‍රීඩා ඉතා තරගකාරී මට්ටමක ඇති හෙයින් විධිමත් පුහුණුව වැදගත් බවයි. ඉදිරි කාලයේ පුහුණු කටයුතු ආරම්භ කරන හෙයින් අසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට මෙවර ද පදක්කම් දිනාගත හැකි බව ඒ මහතාගේ විශ්වාසයවී තිබේ. 

නව අදහස දක්වන්න