බළන්ගොඩ සීතගල-පූජපිටිය මාර්ගය වසර 30කින් අලුත්වැඩියා කර නෑ | දිනමිණ

බළන්ගොඩ සීතගල-පූජපිටිය මාර්ගය වසර 30කින් අලුත්වැඩියා කර නෑ

 බළන්ගොඩ සීතගල-පූජපිටිය මාර්ගයේ කිලෝමීටරයක පමණ කොටසක් අවුරුදු 30 කින් පමණ සංවර්ධනය කර නොතිබීම හේතුවෙන් හා එම මාර්ගය දැඩිලෙස අබලන් වීමෙන් එම ගම්මානයේ ජනතාව ප්‍රවාහන දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිති.

මාර්ගය අබලන් වීම හේතුවෙන් වැසි දිනවල එහි පාගමනින් හෝ යෑමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි ගම්වාසිහු පවසති. මාර්ගය අබලන්වීම හේතුවෙන් පූජපිටිය ගම්මානයේ පවුල් 200ක් පමණ ප්‍රවාහන දුෂ්කරතා වලට මුහුණපා සිටින බවද ඔවුහු කියති. මාර්ගය ඉදිකර වසර 30 පමණ වන බවත් මෙම මාර්ගය නිසි පරිදි පිළිසකර කර නැතැයි ඔවුහු කියති.

කුසුම්සිරි අලංකාර මහතා - මෙතෙක් පත්වූ ආණ්ඩු මගින් මාර්ගයේ කොටසක් වරින්වර සංවර්ධනය කරලා දුන්නා. ඉතිරි කිලෝ මීටරයක පමණ කොටස කිසිම ආණ්ඩුවකින් සංවර්ධනය කරන්න කටයුතු කෙළේ නෑ.

වර්ෂා දිනවලට මාර්ගයේ පයින්වත් යන්න බැහැ. ඒ නිසා මේ පූජපිටිය මාර්ගය හදලා දෙන්න කියලා බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

එච්.එන්. දියසේන මහතා - ගමට තිබෙන පාර අබලන් වීම තමයි ලොකුම ගැටලුව. සීතගල හන්දියේ සිට පූජපිටිය ගමට එන පාරේ ස්ථාන කිහිපයක් කොන්ක්‍රීට් කරලා තිබෙනවා. හැබැයි ඉතිරි කිලෝමීටරයේ ගල් ගැලවිලා විශාල වලවල් හෑරිලා පයින්වත් යන්න බැරි තත්ත්වයට පත් වෙලා තිබෙනවා.

ඩබ්ලිව්.එස්.නිශාන්ත ප්‍රදීප් මහතා - පූජපිටිය මාර්ගයේ බෝක්කු සියල්ලම අවහිර වෙලා. වැස්ස ගමන් පාර මඩ වළක් වෙනවා.

පවුල් 200ක් පමණ මෙම මාර්ගය භාවිතා කරනවා. දළු ලොරි 7ක් අමු තේ දළු ගෙනියන්න ඉඩෝර දවස් වලට එනවා. වැස්ස දවස් වලට දළු ලොරි එන්නේ නැහැ. ගමේ අපි දළු කඩලා කර මතින් තමයි පහළට ගෙනියන්නේ.

සටහන හා ඡායාරූප 
බළන්ගොඩ විශේෂසම්පත් ප්‍රියනන්දන 

නව අදහස දක්වන්න