හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍ය අවසන්, සංදේශය අද ජනපතිට | දිනමිණ

හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍ය අවසන්, සංදේශය අද ජනපතිට

අසේල කුරුළුවංශ
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර ඊයේ (7) රාත්‍රීයේ වීදී සංචාරය කළේය. සාධාතුක කරඬුව රැගත් ශ්‍රී දළදා මාලිගාවේ ඉන්දිරාජා හස්තියා ශ්‍රී දළදා කරඬුව රැගෙන ඓතිහාසික ඇසළ මහා පෙරහරට සහභාගි වීමට දළදා මාලිගාවේ සිට පාවඩ සහිතව පැමිණි අයුරු. ඡායාරූපය-ගාමීණී රණසිංහ

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයයේ දවල් පෙරහර පැවැත්වීමෙන් අනතුරුව අද (08) පස්වරුවේ දියවඩන නිළමේ ප්‍රදීල් නිලංග දෑල මහතා ප්‍රමුඛ සතර මහ දේවාළ බස්නායක නිළමේවරු පෙරහැර මංගල්‍යය පෞරාණික චාරිත්‍ර ගරුකරමින් සාර්ථකව පවත්වා අවසන් කළ බව දැක්වෙන පෙරහැර සංදේශය ජනපති මෛත්‍රීපාලි සිරිසේන මහතා වෙත මහනුවර ජනපති මන්දිරියේදී බාරදීමෙන් පසු මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වෙයි. උඩරටට ආවේනික ගායන, වාදන හා නර්ථන ශිල්පීන් දහසකට අධික පිරිසකගේ හා අලි ඇතුන් අසූවක පමණ සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පුරා රාත්‍රී දහයක් මහනුවර නගරයේ සියලු වීදී අවාරණය වන පරිදි සංචාරය කෙරුණු හෙළයේ විචිත්‍රවත් කලා මංග්‍යයලා සැලකෙන මහනුවර ඇසළ පෙරහැරේ අවසන් දවල් පෙරහර අද (08) දහවල් 12.40 ට උතුරු දිශාභිමුඛව මහනුවර ගණදෙවි කෝවිළ අභියසින් ගමන් ආරම්භ කරයි.නාථ,විෂ්ණු,කතරගම හා පත්තිනි යන සිව් මහ දේවාළ පෙරහැර කටුකැලේ වීදිය,දළදා වීදිය,ඊ.එල් සේනානායක වීදිය,කන්දේ වීදිය ඔස්සේ ඩී.එස් සේනානායක වීදියේ මංසන්ධියට පැමිණෙයි.අස්ගිරිය ගෙඩිගේ විහාරයෙන් පස්වරු 2.45 ගමන් ආරම්භ කරන දළදා මාලිගාවේ පෙරහැරට හා සතර මහ දේවාළ පෙරහැර නගර සභා මංසන්ධියේදී එක්ව ඩී.එස් සේනානායක වීදිය,පන්සල පාර ඔස්සේ දේව වීදියෙන් රජ වීදියට හැරී මාලිගා චතුරස්‍රයේ තෙවිටක් ප්‍රදර්ශිනා කොට පස්වරු 4.35 ට ‍ගෙවැදීමට නියමිතය.

පෙරහැර ගෙවදීමෙන් පසු දියවඩන නිළමේ ප්‍රදීල් නිලංග දෑල මහතා පුමුඛ සතර මහ දේවාළ බස්නායක නිළමේවරුත් පිටිසර දේවාළ බස්නායක නිළමේවරුත් අලි ඇතුන් සහිත කෙටි පෙරහැරකින් මහනුවර ජනපති මන්දිරයට ගමන්කර පෙරහැර සංදේශය ජනපතිවරයා වෙත බාරදෙයි.

අනතුරුව මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය විචිත්‍රවත් කිරීම සඳහා දායකත්වය ලබාදුන් ශිල්පීන් 115 දෙනකු සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සම්මාන,සහතික හා මුදල් ත්‍යාග පිරිනැමීම මෙම මස 08 දින මහනුවර ජනපති මැදුරේදී පැවැත්වෙන පෙරහැර සමාප්ති උත්සවයේදී සිදු කිරීමට නියමිතය.

පෙරහැර මංගල්‍යය සඳහා සුවිශේෂී දායත්වයක් ලබාදෙමින් සම්ප්‍රදායික කලාවන් රැක ගැනීමට කැපවූ අති විශිෂ්ඨ කලාකරුවන් පස් දෙනකු මෙහිදී ජනපතිවරයා අතින් සම්මානයට පාත්‍ර වීමට නියමිත අතර මෙම සම්මානය හිමිවන්නේ ජීවිතයේ එක්වරක පමණක් වීම විශේෂත්වයකි.

වසර ගණනාවක් අඛන්ඩව පෙරහැර සඳහා සහභාගීවූ වයෝවෘද්ධ කලාකරුවන් 10 දෙනකුටද මෙදින ජනපතිවරයා අතින් සම්මාන පිරිනැමීමට සූදානම් කර තිබේ. දළදා මාලිගාව හා සතර මහ දේවාළ නියෝජනය කරමින් පෙරහැර මංගල්‍යයට සහභාගී වෙමින් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ශිල්පීන් 50 දෙනකුට හා කුසලතා පූර්ණ ශිල්පීන් 50 දෙනකුට ජනපති සම්මාන සමඟ මුදල් ත්‍යාග පිරිනැමීමද මෙම උත්සවයේදී සිදුකෙරෙන අතර එම ශිල්පීන් තෝරා ගැනීම ප්‍රවීන විනිසුරු මඩුල්ලක් මගින් සිදුකරනු ලබයි.

මෙයට අමතරව දක්ෂතම නර්තන කණ්ඩායම් 20 ක් තෝරා ඔවුන් ඇගයීමට ලක් කිරීමටද සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ.දළදා මාලිගා පෙරහැරේ විශිෂ්ඨ දක්ෂතා දැක්වූ කලාකරුවන් 25 දෙනකු සඳහා මුදල් ත්‍යාග සමඟ සහතික පත් ප්‍රදානය කිරීමට සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මෙවරද කටයුතු කර ඇත.

නව අදහස දක්වන්න