උසස් පෙළ අයැදුම්කරුවෝ 3,15,227ක් | දිනමිණ

උසස් පෙළ අයැදුම්කරුවෝ 3,15,227ක්

සිතාරා සේනානි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ- 2017 විභාගය ඩෙල්ෆ්, කයිට්ස්, නයිනතිව් දූපත් ද ඇතුළත්ව රට පුරා විභාග මධ්‍යස්ථාන 2230කදී අද (8) ඇරැඹේ. මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 315227දෙනකු පෙනී සිටිති. මෙයින් 260දෙනකු විශේෂ අවශ්‍යතා ඇති අයදුම්කරුවන් ය. විභාග පරිපාලනය සඳහා රට පුරා 28000ක කාර්ය මණ්ඩලයක් යොදවා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පවසයි. විභාගය පෙරවරු 8.30ට ආරම්භ වන අතර, පෙරවරු 8.00ට පෙර සියලු අයදුම්කරුවන් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බවද, එසේ පැමිණෙන විට විභාග ප්‍රවේශ පත්‍රය සමඟ ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය අනිවාර්යයෙන් ම රැගෙන ආ යුතුය.

මෙවර විභාගයේදී අයදුම්කරුවන් විසින් ස්මාට් අත් ඔරලෝසු, ජංගම දුරකථන සහ විද්‍යුත් උපකරණ මඟින් විභාග වංචා සිදුකරන්නේ ද යන්න පිළිබඳ විශේෂ අවධානය යොමු කරන ලෙසද විභාග ශාලාධිපතිවරුන් දැනුම්වත් කොට ඇත. එවැනි වංචා සිදුකරන අයදුම්කරුවන්ට වසර 5කට විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වනු ලබන සියලුම විභාග සඳහා පෙනී සිටීම තහනම් කෙරෙනු ඇති අතර, මෙවර විභාගයේ ප්‍රතිඵල ද අවලංගු කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.

විභාගය පවත්වන අවස්ථාවේ බාහිර පාර්ශඕවයන්ගෙන් අයදුම්කරුවන්ට කිසියම් බාධාවක් සිදුවන්නේ නම් ඒ බව වහාම විභාග දෙපාර්තමේන්තුවට සහ පොලිස් මූලස්ථානයට දැනුම් දීමට සියලු උපදෙස් ශාලාධිපතිවරුන්ට ලබා දී ඇත.

විභාගය පැවැත්වෙන කාලසීමාව ඇතුළත විභගා මධ්‍යස්ථානවලට අදාළ පාසලේ ගුරුවරුන් ඇතුළුව අවසර නොලත් කිසිදු පුද්ගලයකු ඇතුළු නොවිය යුතු අතර, එම පාසලේ ඉදිකිරීම් කටයුතු, පන්ති පැවැත්වීම්, ක්‍රීඩා උත්සව, රැස්වීම් පැවැත්වීම තහනම් වේ.

විභාග ශාලාවේ කිසියම් වංචාවක් හෝ අක්‍රමිකතාවක් කිසියම් අයකු විසින් සිදුකරනු ලබන්නේ නම් ඒ බව විභාග අපේක්ෂකයන්ට සහ මවුපියන්ට ද ඒ බව විභාග දෙපාර්තමේන්තුවට දැනුම්දිය හැකිය.

මෙම විභාගය සම්බන්ධයෙන් විමසීම් කිරීම සහ පැමිණිලි කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංක 1911, පාසල් විභාග සංවිධාන ශාඛාවේ 011 2784208,011 2784537, 011 3188350, 011 3140314 හෝ, පොලිස් මූලස්ථානයේ 0112 421111 සහ පොලිස් හදිසි ඇමතුම් අංක 119 ඇමතිය හැකිය. 

 

නව අදහස දක්වන්න