පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ ආපනශාලාවේ ‘බත්පතට මාළු’ නෑ | දිනමිණ

පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ ආපනශාලාවේ ‘බත්පතට මාළු’ නෑ

බුද්ධිකා ඉඹුලාන

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳපොළේ ආපන ශාලාවේ 'බත්පතට මාළු 'නැතැයි වාර්තා වේ.

මේ පිළිබඳව මෙහි ගනුදෙනු කරන පාරිභෝගිකයන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතාට පැමිණිලි කර ඇත.

දිනකට මසුන් තොග මෙට්‍රික් ටොන් 350-400ක් අතර ප්‍රමාණයක් අලෙවි වන මේ මත්ස්‍ය වෙළෙඳපොළේ දිනකට මසුන් මිලදී ගැනීමට පැමිණෙන තොග හා සිල්ලර පාරිභෝගිකයන් සංඛ්‍යාව 3000 ඉක්මවයි.

විශේෂයෙන්ම අලුයම 2.00ට පමණ සිට මසුන් තොග මිලදී ගැනීම සඳහා මෙහි ලොරි රථ දහස් ගණනක් පැමිණෙන අතර සිල්ලර අංශය සඳහාද උදෑසන සිටම දහවල් දක්වා පාරිභෝගිකයන් දහස් ගණනක් පැමිණෙයි.මේ පිරිස සිය ආහාර වේල් ලබා ගන්නේ අදාළ ආපන ශාලාවෙන් වන අතර එහි කෑමට මාළු නොමැතිවීම මහත් අඩුපාඩුවත් බව එම ආපන ශාලාව පවත්වාගෙන යන අයට ඔවුන් පෙන්වා දී තිබේ.

කෑම වේලට මාළු ද ඇතුළත් කරන ලෙස ආපන ශාලාව පවත්වාගෙන යන අයට පෙන්වා දුන් පාරිභෝගිකයන්ට ඔවුනට බැන වැදී ඇත්තේ ,'එක එක්කෙනාට ඕනෑ ලෙස කන්න දෙන්න තමන් සුදානම් නැති බවත් ,දෙන හැටියකට කන ලෙසත් 'ගෝරනාඩු කරමිනි.

මේ පාරිභොගිකයන් මේ පිළිබඳවද ඇමැතිවරයා දැනුවත් කර ඇති අතර ,ඇමැති මහින්ද අමරවීර මහතා ,පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳපොළේ පාලනාධිකාරියට හා ධිවර අමාත්‍යංශ උසස් නිලධාරින්ට පවසා ඇත්තේ මේ ආපන ශාලාව පාරිභෝගිකයන්ට අවශ්‍ය පරිදි රසවත් හා පිරිසිදු බවින් යුක්තව ආහාර සපන්නේ නැති නම් සහ ආහාර වේලට මාළු කෑල්ලක් එක් කළ නොහැකි තරම් නොසැලකිලිමත් වන්නේ නම් වහාම ටෙන්ඩරය අවලංගු කර වෙනත් අයකුට පවරන ලෙසයි. 

නව අදහස දක්වන්න