ආර්ථික පෝෂණයට අලුත් ප්‍රවේශ | දිනමිණ

ආර්ථික පෝෂණයට අලුත් ප්‍රවේශ

 ‘අසන්තුෂ්ටි සාගරයක් මැද සන්තුෂ්ටිය සහිත දූපත් කීපයක් පමණක් දක්නට ලැබේ’ යැයි ෆා ඉස්ටර්න් ඉකොනොමික් රිවීව් සඟරාව ආසියාවේ ආර්ථිකය ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේය.

තායිවානය දකුණු කොරියාව තායිලන්තය සහ මැලේසියාව යන රටවල නව ආර්ථික පුනරුදය හෙටත් ඒසියන් ටයිගර් ඉකොනොමීස් යන ආර්ථික සංවාදයේ ද එම සඟරාව ඉහත සඳහන් විචාරය ඉදිරිපත් ‍කළේය.

වසර තිහකට පමණ පෙර ඉදිරිපත් කළ මේ කාව්‍යාත්මක විචාරය ඉදිරිපත් වන විට ශ්‍රී ලංකාවේ රොනී ද මැල් මුදල් ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් නව ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවකට මුල පුරා තිබුණි.

මීට සමගාමීව ඩෙන්ග් ෂියාවෝ ෆෙන්ග් නැමැති අඩි 4 අඟල් 11ක් උසැති ‘මහා පුරුෂයා’ චීන ආර්ථිකය නව දිසාවක් කරා ගෙනයෑමේ ආර්ථික ක්‍රියාවලියට අත ගසා තිබුණි. විශ්වනාත් ප්‍රතාප් සිංග් ඉන්දියා අගමැතිවරයා ඉන්දියා ආර්ථිකයේ මළකඩ ශුද්ධ කරමින් ඉන්දියා ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවකට මුල පිරුවේය.

අද වන විට ආසියාවේ ආර්ථිකය පමණක් නොව සමස්ත ලෝක ආර්ථිකයම හසුරුවන ගාමක බලවේගය බවට පත්ව ඇත්තේ චීනය හා ඉන්දියාවය. චීනයට හා ඉන්දියාවට කිවිසුමක් යන විට කලාපීය රටවලට හන්දිපත් රුදාව හැදී කෙඳිරිගාන අන්දම දිස්වේ.

නික්කේයි දේශපාලන විචාරක සංග්‍රහය ඉන්දියාව හඳුන්වන්නේ පිබිදුණු ඉන්දියාව වශයෙනි. නිව්යෝක් ටයිමිස් පුවත්පත චීනය හඳුන්වන්නේ ධනවාදයේ මහජන ජනරජය වශයෙනි.

අද වන විට ඉන්දුනීසියාව, වියට්නාමය, බංගලිදේශය සහ මියන්මාරය ආර්ථික ප්‍රතිසංස්කරණ අරඹමින් ද ඇරැඹූ ප්‍රතිසංස්කරණ පුළුල් කරමින් ද නව ලෝකය සමඟ ඉදිරියට පා තබයි.

මේ සෑම රටකටම සිය ආර්ථිකය හසුරුවා ගැනීමට ඉඩ ලැබුණේ කරුණු කීපයක් සපුරා ගැනීමෙනි. එයින් පළමුවන කරුණ දේශපාලන ස්ථාවරත්වයයි. දේශපාලන ස්ථාවරත්වය විරහිත රටකට සෘජු විදේශ ආයෝජන ඇද ගැනීම දුෂ්කරය. සංචාරක කර්මාන්තය දියුණු කිරීම අමාරුය. නිෂ්පාදන අපනයනය අමාරුය. ආර්ථිකය දියුණු කිරීමට ඇති සම්පත් නීතිය හා සාමය රැකීමටත් ගැටුම් නිරාකරණයටත් වැය කිරීමට සිදු වේ.

කලාපීය තරඟකරුවන් ලෙස ඉදිරියට පැමිණෙමින් සිටින බංගලිදේශය සහ මියන්මාරය (බුරුමය) එම රටවලඅආගමික කණ්ඩායම් සමඟි කිරී‍මේ නිරතව සිටී. ඉන්දුනිසියාවද එසේමය. මියන්මාරය ගෝත්‍රික සටන්කරුවන් මෙල්ල කරමින් සිටී. මැලේසියාව එරට ආර්ථික ගමන් මගට අවහිර කළ අන්තවාදී කණ්ඩායම් සර්වජන ඡන්ද බලයේ බල මහිමයෙන් අතු ගා දමා තිබේ.

l සංචාරක ආකර්ශන

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පණ ගැට ගසාගත්තේ විදේශීය ශ්‍රමිකයන්ගෙන් සහ සංචාරකයන්ගෙනි. 2016 වසර තුළදී සංචාරක කර්මාන්තය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් ‍කළේය. 2016 සංචාරක පැමිණීම ඉතිහාසයේ මුල්වතාවට දසලක්ෂ 2 සීමාව පසුකර 2,050832 සීමාව කරා ළඟාවිය. පසුගිය සතියේ (අගෝස්තු 3) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ මුදල් ප්‍රතිපත්ති විවරණය සඳහන් කරන්නේ ජුනි මාසයේ සංචාරක පැමිණීම සහ සංචාරක ඉපැයීම් මන්දගාමී වේගයකින් වර්ධනය වූ බවය.

2016 ජනවාරි ජුනි කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 9,64267කි. එහතේ 2017 ජනවාරි ජුනි කාලය තුළ ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 10,10444 දක්වා සියයට 4.8ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. 2016 ජනවාරි ජුනි සංචාරක ඉපැයීම අමෙරිකානු ඩොලර් දස ලක්ෂ 1654.3 කි. 2017 ජනවාරි ජුනි සංචාරක ඉපැයීම අමෙරිකානු ඩොලර් දසලක්ෂ 1733.6කි. එයද 2016 වසරට සාපේක්ෂව සියයට 4.8ක වර්ධනයකි. මෙය සතුටුදායක තත්ත්වයකි.

2020 වන විට ලෝක සංචාරක කර්මාන්තය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2ක් තරම් විශාල කර්මාන්තයකැයි එක්සත් ජාතීන්ගේ සංචාරක සංවිධානය කියයි. එනම් දිනකට ඇ. ඩොලර් බිලියන 5ක ව්‍යාපරික පරිසරයකි.

2020 වන විට සංචාරයේ යෙදෙන සංඛ්‍යාව බිලියන 1.2 දක්වා ඉහළ යනු ඇතැයි ද එම වාර්තාව කියයි. නිබඳව දේශපාලන අර්බුදයකට ලක්වන පාකිස්තානයේ COMSATS ආයතනයට අනුබද්ධිත විද්‍යාර්ථීන් දෙදෙනෙකු වන අයේෂා මුෂ්ටාක් හා කාලිඩ් සමාන් දේශපාලන ස්ථාවරත්වය සහ සංචාරක කර්මාන්තය අතර ඇති සබඳතාව මනා ලෙස විග්‍රහ කර ඇත.

ඔවුන්ගේ අධ්‍යයන වාර්තාව අනුව දේශපාලන නොසන්සුන්තා සංචාරක තැති ගැන්මට හේතු වේ. එවිට ඔවුහු වෙනත් සන්සුන් ස්ථාන කරා ඇදෙති. සංචාරක කර්මාන්තයේ TDM යනුවෙන් හැඳින්වෙන්නේ සංචාරකයා සඳහා සුදුසු ස්ථානයක් තෝරාගැනීමට සංචාරකයාට ඇති හැකියාවයි. එම අධ්‍යයන වාර්තාවට අනුව කලිකලහයන් ඇති ස්ථානයක් මඟහැරීමට සංචාරකයා ක්ෂණිකව තීරණය ‍කරයි. සාර්ක් කලාපීය රටවල දේශපාලනය නිතර චංචලවන තත්ත්වයක පවතින බවද ඔවුහු කියති.

ත්‍රස්තවාදී කටයුතු ද සංචාරක කර්මාන්තය අඩපණ කරවයි. දේශපාලන කලිකලහ විරහිත නව ගමනාන්ත රාශියක් සංචාරකයන්ට දැන් විවෘත වෙමින් තිබේ. ශ්‍රී ලංකාව 2016 දසලක්ෂ 2කට අධික සංචාරකයන් සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගත් නමුත් සිංගප්පූරුව තායිවානය සහ හොංකොං එම වසරේ දසලක් 10කට අධික සංචාරක ආකර්ෂණයක් සහිත ගමනාන්ත රටවල්ය. දැන් චීනය සහ ඉන්දියාව සිය සංචාරක කර්මාන්ත දියුණු කිරීමට ක්‍රියා කරයි.

සෘජු රැකියා 146115ක් හා වක්‍ර රැකියා 189544 සහිත ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය කාමර ධාරිතාව 11533 දක්වා ව ැඩි කර ඇත. මේ හැර දැවැන්ත ආයෝජන සමූහයක් ද යෝජිතව පවතී.

ආණ්ඩුව ද පසුගිය සතියේ තීරණය කළේ ග්‍රෑන්ඩ් හයට් හෝටල ව්‍යාපෘතිය සහ හිල්ටන් හෝටලයේ හිමිකාරීත්වය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවයි. මේ හෝටල් දෙක ද රටේ කාමර ධාරිතාව පුළුල් කරයි.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සේවක අර්ථසාධක අරමුදල සහ ලිට්රෝ ගෑස් සමාගමය යන රාජ්‍ය ආයතන හිමිකාරිත්වය දරණ GRAND HYATT හෝටලය ඉදිකිරීමේ කටයුතු සඳහා තවත් විශාල ආයෝජනයක් අවශ්‍ය වේ.

රජයේ වෙනත් ප්‍රමුඛ ව්‍යාපෘති රාශියක් සඳහා මුදල් සොයා ගැනීමට රජයට සිදුව තිබේ. එබැවින් උපාය මාර්ගිකව වැදගත් නොවන තෝරාගත් වත්කම් කීපයක හිමිකාරීත්වය ප්‍රතිව්‍යුහගත කිරීම රජයේ අරමුණයි. රජයේ පාලනය යටතේ පවත්නා රාජ්‍ය ව්‍යවසායයන්හි තරඟකාරීත්වය හා කාර්යසාධනය වැඩිදියුණු කිරීම තුළින් ස්ථිර හා පූර්ණ ආර්ථික වර්ධනයකට අනුබලදීම ද රජයේ ප්‍රතිපත්තියයි.

කොළඹ නගරයේ ඉදිවන දැවැන්ත ව්‍යාපෘතියක් වූ ග්‍රැන්ඩ් හයට් හෝටල ව්‍යාපෘතිය ඉදිකරනු ලබන කැන්විල් සමාගමයේ රජය සතු කොටස් ප්‍රමාණය පෞද්ගලික ආයෝජකයනට අළෙවි කිරීම රජයේ අදහසය. දැන් මේ යෝජනාවට කැබිනට් අනුමැතිය පවා හිමිව තිබේ.

l පෞද්ගලික අංශය

දීර්ඝ කාලයක් තිස්සේ කතාබහට ලක්වූ තවත් රාජ්‍ය දේපළක් වන හිල්ටන් හෝටලය තවත් සංවර්ධනය කිරීම සඳහා ආයෝජන අවශ්‍ය වේ. මේ සඳහා ද පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම රජයේ යෝජනාවය.

රාජ්‍ය ව්‍යවසායයන් නඩත්තු කිරීම සඳහා රජය වාර්ෂිකව විශාල මුදලක් වැය කරයි. ඇතැම් රාජ්‍ය ව්‍යවසායයන්හි වාර්ෂික වාර්තා පවා ඉදිරිපත් වූයේ නැත. තේ පර්යේෂණ ආයතනය කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, ජලසම්පත් මණ්ඩලය වැනි රාජ්‍ය ආයතනයන්හි මුල්‍ය සම්පත් භාවිත වාර්තා 2007 සිට 2011 දක්වා කාලය තුළ ආගිය අතක් නැත. මෙවැනි ආයතන රාශියකි. එහෙත් දැන් තත්ත්වය සම්පූර්ණයෙන් වෙන්සව තිබේ. දැන් මේ සුදු අලි මෙල්ල කිරීමේ මෙහෙයුම දියත්ව ඇත.

ඉකුත් ජුලි මස මුල් සතියේ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ මාර්ග සිතියම ඉදිරිපත් කරමින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ප්‍රකාශ කළේද රටට නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට පසුබට නොවන බවයි.

ග්‍රැන්ඩ් හයට් සහ හිල්ටන් හෝටල සඳහා නව ආයෝජකයන් සොයාගැනීමට රජය දරන උත්සාහය අත්‍යාවශ්‍යම දෙයකි. ශ්‍රී ලංකාව 1977 ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන විට අපට ඉදිරියෙන් සිටියේ රටවල් කීපයක් පමණි. අද වන විට බොහෝ රටවල් අප පසුකර ඉදිරියට ගොස් තිබේ. එහෙයින් ආයෝජක හිතවාදී පරිසරයක් නිර්මාණය කළ යුතු යැයි අගමැතිවරයා එහිදී කීවේය.

මේ සඳහා අවශ්‍ය නව නීති ගෙනඑන බවට ද අගමැතිවරයා සහතික විය.

ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරිපත් වුවද ඒවා ක්‍රියාත්මක කිරීමට බාධා ද තිබේ. ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී මෝදි අගමැතිවරයා ‍අලස යැයි දැන් චෝදනා පවතී. 2016 මාර්තු 30 වනදා මේ චෝදනාවේ පළමු වෙඩිමුරය පත්තු විය. කෝනෙල් විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙකු වූ ඊශ්වර් ප්‍රසාද් නම් ආර්ථික විද්‍යා මහාචාර්යවරයා කම්කරු අංශයේ ප්‍රතිසංස්කරණ ඉදිරියේ මෝදි අගමැතිවරයා පසුබැස ඇතැයි කියයි.

l ප්‍රතිව්‍යුහගතකරණය

ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන කතා කළද එම ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කිරීමට අවශ්‍ය දේශපාලන අභිලාෂය ආණ්ඩුවට නැතැයි චෝදනා ද එල්ල වූ අවස්ථා තිබුණි. එහෙත් ග්‍රැන්ට් හයට් සහ හිල්ටන් යන රාජ්‍ය ව්‍යවසායයන්හි ප්‍රතිව්‍යුහගත කිරීම් නිසා එම චෝදනා දැන් නිෂ්ප්‍රභ වෙයි. උපායමාර්ගිකව වැදගත් නොවන රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන තවදුරටත් මහජන මුදලින් නඩත්තු කිරීමට ආණ්ඩුව සූදානම් නැතැයි යන පණිවිඩය හිල්ටන් හයට් ප්‍රතිව්‍යුහගත කිරීමේ සරල තේරුමයි.

මෙවැනි ක්‍රියාමාර්ග තුළින් සේවක රැකියාවනට හානියක් නොවන ක්‍රමවේදයක් සකස් කිරීම ද මෙහිදී වැදගත්ය.

ආසියාකරයේ වියට්නාමය, බංගලිදේශය සහ මියන්මාරය සිය රාජ්‍ය සන්තක ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කරමින් සිටින අතර සංචාරක කර්මාන්තය දෙසට ආර්ථිකය යොමු කරමින් සිටී.

මියන්මාරය හෙවත් බුරුමය හමුදා පාලනයකින් පසු සිවිල් පාලනයකට පරිවර්තනය වූෆය් 2010දීයි. අද වන විට සිවිල් පාලනයට වසර 7කි. වරින්වර සුළු ජාතික හා ආගමික ගැටුම් ඇතිවුණ ද ගිවිසුම් කීපයක් මඟින් එරට ගැටුම් සමථයකට පත් කරගෙන ඇත.

යුරෝපීය කොමිසම ඔවුන් විසින් පනවා තිබූ වෙළෙඳ සම්බාධක ඉවත් කරගෙන තිබේ. ආර්ථික ප්‍රතිසංස්කරණ ‍ක්ෂේත්‍රයේ අංශ 3ක් සඳහා දැන් මියන්මාරය විවෘතය. සෘජු විදේශ ආයෝජනය ඛනිජ සම්පත් රෙගුලාසි ලිහිල් කිරීම සහ රාජ්‍ය සතු කර්මාන්ත ප්‍රතිව්‍යුහගත කිරීම ඒ අංශ 3යි.

පසුගිය වසරේ ජුලි මස මියන්මාරය 12 වැදෑරුම් ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වා දුන්නාය. එම වැඩපිළිවෙළේ එක් අංශයක් වෙළෙඳ කලාප පිහිටුවීමය. තවත් අංශයක් රාජ්‍ය සතු ව්‍යාපාර පාඩුව නවතා ගැනීමය. දුම්රිය සේවාව රජය සතුව තබාගන්නා නමුත් සන්නිවේදන ක්ෂේත්‍රය දියුණු කිරීම් සඳහා විදේශ දායකත්වය ලබාගැනීමට තීරණය කර තිබේ. මේ සඳහා නෝර්වේ සමාගමක් දැනටම ඉදිරියට පැමිණ සිටී.

මියන්මාරයේ රාජ්‍ය සන්තක ව්‍යාපාර පාඩුව ලැබීමට එක් හේතුවක්ව ඇත්තේ අධික ‍සේවක පිරිසක් නඩත්තු කිරීම සඳහා ණයගැතිවීමයි. මේ තත්ත්වය ශ්‍රී ලංකාවට ද පොදුය. රටපුරා මාර්ග හා යටිතල පහසුකම් පුළුල් කෙරෙන අතර ගුවන්ගමන් සේවා අංශය ප්‍රකෘතිමත් කිරීමට කටයුතු අරඹා තිබේ. මියන්මාරය මේ නව ආර්ථික ක්‍රියාවලියට අනුගතව ඇත්තේ හත්වසරක් තුළදීය. ජී.එස්.පී. සහනය ලැබීම නිසා දැන් පෞද්ගලික කර්මාන්ත ශාලා විදේශ ආයෝජකයන් පසුපස ලුහුබඳිති. ආසියානු සංවර්ධන බැංකුව එරටට අවශ්‍ය මූල්‍ය සම්පත් සපයයි.

මියන්මාරයේ ඊළඟ ඉලක්කය එරට ගෑස් සම්පත් සහ තෙල් ගවේෂණයයි. වසර 50ක් තිස්සේ පෞද්ගලික අංශයට පුවත්පත් පළ කිරීම තහනම් කර තිබුණද එම තහනම 2012 දෙසැම්බරයේදී ඉවත් කරන ලදී. තවමත් තැනින් තැන ජාති ආගම් ගැටුම් ගන්නා අවස්ථා තිබේ. ආණ්ඩුව වහා මැදිහත්ව ඒවා මැඩලීමට පෙරට එයි. දූෂණයෙන් තොර ආර්ථික පිළිවෙතක් ගෙනයන බව මියන්මාරය කියයි.

සෘජු විදේශ ආයෝජනය අතින් මියන්මාරය ඉදිරියට එයි. ගෝත්‍රික හා ආගමික ගැටුම්වලට සම්බන්ධවූවන් නීතියේ ආධිපත්‍ය තුළින් හා ගිවිසුම් මඟින් එකට ගැට ගසයි.

කරුණාරත්න අමරතුංග

නව අදහස දක්වන්න