පළාත් පාලන ඡන්දය 2019 දක්වා කල්දමන්න රජය උත්සාහ කරනවා | දිනමිණ

පළාත් පාලන ඡන්දය 2019 දක්වා කල්දමන්න රජය උත්සාහ කරනවා

ඡායාරූපය කොළොන්නාව සමූහ ඒ.සුමනසේන

පවතින අර්බුදකාරී තත්ත්වය උඩ මේ රටේ කුමන ආකාරයේ මැතිවරණයක් තැබුවත් පරාජය වන බව දන්නා යහපාලන රජය දැන් පළාත් පාලන ඡන්දය 2019 වනතුරු කල්දමන ගැසට් නිවේදනයක් නිකුත් කොට මැතිවරණ සිතියම අකුලා දැමීමේ කුමන්ත්‍රණයක යෙදෙමින් සිටිනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

ඒ මහතා එසේ කීවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සාමාජිකයින් බඳවාගැනීමේ දීප ව්‍යාප්ත වැඩසටහන යටතේ කොළොන්නාව ආසනය සඳහා පක්ෂ සාමාජිකයින් බඳවා ගැනීම පිණිස කොටිකාවත්ත සණස ශ්‍රවණාගාරයේදී පැවැති රැස්වීමට සහභාගිව කරන ලද කතාවේදීය.

වෛරයෙන් ආණ්ඩුවක් හදාගෙන වෛරයෙන්ම රට පාලනය කරන මේ රජය, මේ රටේ තිස් වසරක් පැවැති යුද්ධය නිමාකොට සිංහල, මුස්ලිම්, දෙමළ හා බර්ගර් යන සියලු ජාතීන්ට එවකට පැවැති මරණ බිය නැතිකර අභය දානය දීපු සේනාධි නායකයා, ආරක්ෂක ලේකම්වරයා ඇතුළු බුද්ධි අංශවල නායකයින් හා එම මහා සටනට නායකත්වය දුන් රාජ්‍ය නිලධාරීන්ට එළව එළවා පහර ගසන බව ද, එහෙත් මේ වන විට එම අසාධාරණය තේරුම් ගත් ජනතාව එම පහරකෑම්වලට පෙරළා ආපසු පහර දෙන යුගයක් දැන් ආරම්භකොට පවතිද්දී අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහා සාමාජිකත්වය ලබාගන්නට පැමිණ සිටින පිරිස දෙස බලන විට සතුටක් ලැබෙන බව ද ගුණවර්ධන මහතා කීය. අද යහපාලන ආණ්ඩුවේ ඉන්නා ඇමැතිවරු කටයුතු කරන්නේ තම තමන්ට අවශ්‍ය න්‍යාය පත්‍රයක් අනුවයි. ඒ බව පසුගියදා තමන්ට එරෙහිව තිබෙන කොමිසමට පැමිණ හිටපු මුදල් ඇමැතිතුමා කර තිබූ ප්‍රකාශවලින්ම රටට හෙළිවුණු බව ද කී මන්ත්‍රීවරයා තමන් පාවිච්චි කළ නිවස සම්බන්ධවත් එහි කුලිය ගැනත් ඔහුගෙන් ප්‍රශ්න කරන විට Òමම දන්නේ නැහැÓ, Òඅහල බලල කියන්නම්Ó යන ප්‍රකාශ කිරීමට තරම් එතුමා බොළඳවීම එයට හොඳම නිදසුනක් වන බව ද කීය.

හිටපු වරාය කටයුතු ඇමැති රෝහිත ‍අබේගුණවර්ධන මහතා - Òශ්‍රී ලංකා - යූ. ඇන්. පී. හවුල් ආණ්ඩුවේ ඉන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් අපට අහන්න ප්‍රශ්නයක් තිබෙනවා. එදා එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා මේ පක්ෂය ආරම්භ කළේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියන පංච මහා බලවේගය එක්කරගෙනයි. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහතා ඒකට තවත් බලවේගයක් හැටියට රණවිරුවනුත් එක්කර ගත්තා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළොන්නාව සංවිධායක අජිත් සුබසිංහ මහතා - ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කළ මා දේශපාලන භූමියට පිවිසියේ එදා මේ ආසනයේ තිබුණු අර්බුදකාරීතාවය මඟහැරවීම පිණිස ඉදිරිපත් වන්නැයි බැසිල් රාජපක්ෂ මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුවයි. එදා පළාත් පාලන මැතිවරණයට පැමිණි මා මේ වනතුරු එම වගකීම හරියාකාරව ඉටුකර තිබෙන බව මෙවර මැයි දින රැලියට සහභාගි වූ කොළොන්නාවේ ජන ගඟ දෙස බැලූ කවුරුත් පිළිගන්නා දෙයකි. මෙවර මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සාමාජික සාමාජිකාවන් විසිදහසක් බඳවා ගැනීම මගේ අරමුණයි.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී අසෝකා ලංකාතිලක මහත්මිය මෙහිදී අදහස් දැක්වූවාය. 

 

නව අදහස දක්වන්න