උ.කොරියාව 'ගුවාම්' දූපතට පහර දෙයි ද? | දිනමිණ

උ.කොරියාව 'ගුවාම්' දූපතට පහර දෙයි ද?

ඇමෙරිකාවට අයත් ශාන්තිකර සාගරයේ පිහිටි ගුවාම් දූපතට මිසයිල ප්‍රහාරයක් එල්ලකිරීම පිළිබඳ සිය අවධානය යොමු වී ඇති බව උතුරු කොරියාව පවසයි.

ලෝකය මින් පෙර නොදුටු "විනාශකාරී කොපාග්නියකට" උතුරු කොරියාව මුහුණ දෙනු ඇතැයි යනුවෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනාත්මකව ප්‍රකාශයක් කිරීමෙන් පැය කිහිපයක් ඉක්ම යද්දී උතුරු කොරියානු හමුදාව නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමින් එරට රාජ්‍ය මාධ්‍ය නව අරමුණ පිළිබඳ වාර්තා කළේය.

උතුරු කොරියානු නිල පුවත් ඒජන්සිය සඳහන් කළ අන්දමට, ඇමෙරිකාවේ බෝම්බ ප්‍රහාරක යානා ස්ථානගතකොට ඇති ගුවාම් වෙත මාධ්‍ය හා දිගුදුර පරාසය අතර වූ රොකට්ටු විදීමේ සැලසුමක් කෙරෙහි අවධානය යොමුකොට ඇත.

මෑතදී එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට එරෙහිව තවදුරටත් ආර්ථික සම්බාධක අනුමත කිරීම උතුරු කොරියාව විසින් පෙන්වාදෙනු ලැබුවේ "අපගේ ස්වෛරීබව ප්‍රචණ්ඩකාරීව උල්ලංඝනය කිරීමක්" ලෙසිනි. ඉන් නොනැවතුණු එරට, මේ සම්බන්ධයෙන් ඇමෙරිකාව "වන්දි ගෙවිය යුතුයි" යැයි ද පැවසීය.බදාදා (අගෝස්තු 09) උතුරු කොරියානු KCNA පුවත් ආයතනය පැවසුවේ සිය රටේ නිෂ්පාදිත මධ්‍යම හා දිගුදුර අතර පරාසයේ හ්වාසොංග් - 12 (Hwasong-12) මිසයිල උපයෝගී කරගනිමින් "ගුවාම් අවට ප්‍රදේශයට පහරදීම සම්බන්ධ මෙහෙයුම් සැලසුමක් සුපරික්ෂාකාරීව අධ්‍යයනය කරමින් සිටිනවා" යැයි පැවසීය.

එම පුවත් ආයතනය උපුටා දැක්වූ හමුදා නිවේදනය අඟහරුවාදා නිකුත් වූයේ, ගුවාම් හි ක්‍රියාත්මක කෙරෙන ඇමෙරිකානු හමුදා අභ්‍යාසවලට ප්‍රතිචාර ලෙසිනි.

ජනතාව වෙත පණිවිඩයක් නිකුත් කළ ගුවාම් හි ආණ්ඩුකාර එඩී බාසා කැල්වෝ සිය දූපතට හෝ මරියානා දූපත් සමූහයට දැනට "තර්ජනයක් නැහැ" යැයි පැවසුවද "එවන් තත්ත්වයකට සූදානම්" බවද සඳහන් කළේය.

උතුරු කොරියාවේ නිවේදනය පවතින උණුසුම් තත්ත්වය තවත් ඉහළ නංවාලන සුළු අවස්ථාවකි.

පස් වතාවක් න්‍යෂ්ටික අත්හදාබැලීම් කළ ප්යෝන්ග්යැන්ග් පාලනය, ජූලි මාසයේදී අන්තර්මහාද්වීපික බැලිස්ටික් මිසයිල (ICBM) දෙකක් අත්හදා බැලුවේ, ඇමෙරිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට පහරදීමේ හැකියාව දැන් තමන් සතු බව පවසමිනි.

මේ අතර, අඟහරුවාදා ඇමෙරිකානු මාධ්‍ය වාර්තාවල දැක්වුණේ උතුරු කොරියාව සිය මිසයිලවල සවිකිරීමට හැකි තරමේ කුඩා න්‍යෂ්ටික යුදශීර්ෂයක් සෑදීමේ ඉලක්කය සපුරාගෙන ඇති බවය.

එය තහවුරු වී නැති වුවද, පූර්ණ න්‍යෂ්ටික අවි බලය සහිත රාජ්‍යයක්වීම සඳහා උතුරු කොරියාව මුහුණ දී සිටි අවසන් බාධකය එය විය.

මීට පෙර අපේක්ෂා නොකළ තරමේ වැඩි වේගයකින් ඇමෙරිකාවට පහරදීමට සමත් න්‍යෂ්ටික අවි නිපැයීමෙහි උතුරු කොරියාව යෙදී සිටින බව ඇමෙරිකානු බුද්ධි අංශ තොරතුරු උපුටා දක්වමින් වොෂිංටන් පෝස්ට් පුවත්පත වාර්තාකොට තිබිණි.

අවි වැඩපිළිවෙල "සැළකිය යුතු වර්ධනයක්" ලබා ඇති අතර බොහෝ දුරට උතුරු කොරියාව සතුව න්‍යෂ්ටික අවි ඇති බව ජපාන රජයේ ආරක්ෂක ධවල පත්‍රිකාවක දැක්වේ.

මේඅතර ජනාධිපති ට්‍රම්ප් ගේ ප්‍රකාශය පිළිබඳව සැක මුසුව අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ සෙනෙට් සභිකයෙකුවන ජෝන් ම'කේන් පැවසුවේ "ක්‍රියාත්මක වෙන්නට තරම් ජනාධිපති තරම් සුදානම් දැයි විශ්වාස නැහැ" යනුවෙනි.

දැනට මතුවී ඇති තත්ත්වය, උතුරු කොරියානු දේශසීමාවේ සිට කිලෝමීටර 50ක් (සැතපුම් 30) තරම්වූ දුරක් මෙපිටින් ඇති සෝල් අගනුවර තුළට ගෙනවිත් ඇත්තේ මිශ්‍ර ප්‍රතිචාරයකි. 62 හැවිරිදි කිම් සිඔන්ග් පවසන්නේ සිය පාලනය පවත්වාගැනීමට බොරු ගොතන උතුරු කොරියාව තමන්ගේ න්‍යෂ්ටික වැඩසටහන සාධාරණීකරණය කරන බවය.

නමුත් අනෙක් බොහෝ පිරිසක් මේ පිළිබඳව සිටින්නේ අවධානයෙනි. තමන්ට මේ තත්ත්වය "බිය ගෙනදෙන්නක්" බව යිඔන් එයුඉ-සූක් පවසන්නීය. "හැමදෙනාටම සාමකාමීව සිටින්නට හැකි වේයැයි මා පතනවා. කිම් ජොන්ග් අන් අප හැම දෙනාවම කණස්සල්ලට පත්කරනවා" ඇය පැවසුවාය.

ඇමෙරිකාව හා දකුණු කොරියාව ඒකාබද්ධ හමුදා අභ්‍යාස ක්‍රියාත්මක කරද්දී, අගෝස්තු මාසය තුළ ප්යෝන්ග් යැන්ග් පාලනයෙන් සැමවිට මතුවුයේ ආවේගශීලී ප්‍රකාශන රටාවක් බව විශ්ලේෂකයෝ පවසති. එහෙත්, මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ දැඩි වචන භාවිතයත් සමග ඝට්ටනශීලී බව පෙරට වඩා බියගෙන දෙන සුළු වී ඇත.උතුරු කොරියාව සිය න්‍යෂ්ටික වැඩපිළිවෙල අත්හැර දැමීමට පෙළඹවීම සඳහා පීඩනයක් එල්ලකිරීමේ උත්සාහයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සෙනසුරාදා නව ආර්ථික සම්බාධක ප්‍රකාශයට පත්කිරීමත් සමග එරට කෝපයෙන් යුතුව ප්‍රතිචාර දැක්වීය.

උතුරු කොරියාවේ අපනයන ආදායම තුනෙන් එකකින් අඩුකිරීම එම සම්බාධකවල අරමුණ විණි.

මේ හේතුවෙන් උතුරු කොරියාව ප්‍රතිචාර දක්වනු ඇති අතර නව පියවර කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් "ඇමෙරිකාව වන්දි ගෙවීමට" සලසනු ඇති බව KCNA පුවත් ඒජන්සිය පැවසීය.

නව සම්බාධක "100%ක් ම" ක්‍රියාත්මක කිරීම සඳහා තමන් කැපවන බව ප්යෝන්ග්යැන්ග් පාලනයේ අතිශය සමීපතමයා වන චීනයද පවසා තිබිණි.

ප්යෝන්ග්යැන්ග් පාලනය මෙහෙයවා ගැනීම සම්බන්ධයෙන් රුසියාව හා චීනය මීට පෙර එකිනෙකාට වෙනස් මත දැරුවද ගෙවී ගිය මාස කිහිපය තුළ ඒ දෙරටම උතුරු කොරියාවෙන් ඉල්ලා සිටියේ මිසයිල අත්හදා බැලීම් නවතන ලෙසය. එසේම එකාබද්ධ යුද අභ්‍යාස නවතා දකුණු කොරියාවේ ඇති මිසයිල නාශක පද්ධතිය ඉවත් කරගන්නා ලෙස අමෙරිකාවෙන් හා දකුණු කොරියාවෙන්ද ඉල්ලා සිටියහ.

(උපුටාගැනීම- බීබීසී පුවත් සේවය)

 

 

 

 

 

 

 

 

 

නව අදහස දක්වන්න