අධ්‍යාපන‍ය සාර්ථකත්වයට මඟ | දිනමිණ

අධ්‍යාපන‍ය සාර්ථකත්වයට මඟ

ධම්මික සෙනෙවිරත්න

විශ්වවිද්‍යාල අධ්‍යාපනය: අනාගතයේදී අප කළ යුත්තේ කුමක්ද?

අප ජීවත්වන්නේ අන් කවරදාටත් වඩා දැනුම අපේ සමාජයන්ට සහ ආර්ථිකයන්ට අත්‍යවශ්‍ය වී ඇති සමයකය. එමෙන්ම ප්‍රාග්ධනය සහ ජනතාව ශීඝ්‍රයෙන් සංසරණය වෙමින් ඇති, සන්නිවේදන තාක්ෂණය විප්ලවීය වෙනසකට භාජන වෙමින් ඇති අවදියකයි. ජාතික වශයෙන් ආර්ථිකය ඉදිරියට මෙහෙයවීමට අවශ්‍ය සහාය අපේ විශ්වවිද්‍යාලවලින් ලැබිය යුතුවේ. ඉගැන්වීමේ සහ පර්යේෂණ කටයුතු සඳහා ආයෝජනය කිරීමේදී රටේ ආර්ථිකයට දායකත්වයක් ලබාදීමට හැකි ඉහළ නිපුණතා සහිත උපාධිධාරීන් බිහිකිරීම අරමුණු කරමින් එය සිදුවිය යුතුය. එමෙන්ම අපේ පර්යේෂණ නවෝත්පාදන කරා යොමුවිය යුතුය. ආර්ථික වර්ධනයේ ප්‍රධාන ධාවකයා ලෙස දැනුම අනෙක් සම්පත් විස්ථාපනය කරමින් පවතී. තවද අධ්‍යාපනය පුද්ගල සමෘද්ධියේ මෙන්ම සමාජ සංසරණයේද පාදම බවට පරිවර්තනය වෙමින් ඇත. උසස් අධ්‍යාපනය පුළුල් ආර්ථික වර්ධනයක් මෙන්ම පුද්ගල සාර්ථකත්වයද උත්පාදනය කරමින් සිටී. ලොව බොහෝ විශ්වවිද්‍යාල ප්‍රමාණවත් මුදලක් උපයන අතර තම උපාධිධාරීන් සෙසු රටවල සේවය සඳහා යොමු කරමින් (දැනුම අපනයනය) ඇත. අපේ විශ්වවිද්‍යාලද අපේ ශක්තිය ඊට එක්කළ යුතුව පවතී.

අපේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල 15ක් ක්‍රියාත්මකය. මෙරට බිහිවූ ආණ්ඩු විශ්වවිද්‍යාල අධ්‍යාපනය ක්‍රමයෙන් පුළුල් කළ බව සත්‍යයකි. වර්තමානය වනවිට අප සතුව පරිණත විශ්වවිද්‍යාල මෙන්ම තරුණ වියේ සිටින විශ්වවිද්‍යාලද පවතී. සමාජ ප්‍රගමනයේදී වර්තමානයේදී අප අත්විඳින අසාර්ථකත්වයන් මෙන්ම අපට අත්හැරුණු දෑ ගැනද අවධානය යොමුකළ යුතුය. එමෙන්ම අපේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ එය ශක්තිමත් කරමින් සිදුකළ හැකි වෙනස්කම් කෙරෙහි අවධානය යොමුවිය යුතුය. මේ ලිපියෙන් උත්සාහ දරා ඇත්තේ මෙවැනි කාරණා පිළිබඳ අවධානය යොමු කිරීමටය.

අධ්‍යාපනය

ශ්‍රී ලංකාව මහජන සුබසාධනය සම්බන්ධයෙන් ප්‍රකට රාජ්‍යයකි. පළමු ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වාම නිදහස් අධ්‍යාපනය සහතික කිරීමට අප සමත්වී තිබේ. එමෙන්ම කාර්මික විද්‍යාල සහ වෘත්තීය පුහුණු ආයතනවල අධ්‍යාපනය ලබා දෙන්නේද නොමිලේය. අධ්‍යාපනය තනි සේවාවක් හෝ භාණ්ඩයක් ලෙස සලකනු ලැබුවහොත් එය ජනතාව වෙනුවෙන් කරන ආයෝජනයක් ලෙසද මූලික සමාජ සේවාවක් ලෙසද හොඳ කුසලතාවක් ලෙසද මානව ප්‍රාග්ධනයේ මූලාශ්‍රයක් ලෙසද පිළිගත හැකිවේ. යම් පුද්ගලයකුගේ ඉපැයීම් ඔහුගේ සහජ නිපුණතා සමඟ සම්බන්ධ වේ. අධ්‍යාපනය මඟින් ජනයාගේ ව්‍යවසායකත්ව දැනුමද වර්ධනය කෙරේ. එමෙන්ම ඔවුන්ගේ තාක්ෂණික දැනුම ඉහළ නැංවීමටද එය රුකුලකි. එය අත්පත් කරගන්නා කවරකු වුවද දිළිඳුකමට එරෙහිව ක්‍රියාත්මක කළ හැකි ප්‍රබල අවියක් දරන්නකු මෙන් සැලකිය හැකිය.

ලෝක බැංකුව පෙන්වාදෙන පරිදි දැනුම යනු අධ්‍යාපනයේ ප්‍රතිඵලයකි. එම ආර්ථිකයේ සෑම ගනුදෙනුවක්ම ආලෝකවත් කරන්නේය. වරණය නැතිනම් තෝරාගැනීම සඳහා ඇති හැකියාව පිළිබිඹු කරන්නේය. එමෙන්ම එය විනිමය හා දැනුම් වෙළෙඳපොළ සඳහා ඉල්ලීමක්ද ඇති කරන්නේය. එසේ කිරීම මඟින් අධ්‍යාපනය වෙළෙඳපොළ ක්‍රමය ශක්තිමත් කිරීමද වඩාත් පුළුල් අරුතකින් සලකන විට මානව අයිතීන් පොහොසත් ලෙස මතු කිරීමටද පෙනී සිටින්නේය. ශ්‍රම සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ සවිබල ගැන්වීමේදීද, නිෂ්පාදනය සඳහා භූමි සම්පත යොදාගැනීමේදීද, ආණ්ඩුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේදීද, වෙළෙඳපොළ තරඟකාරිත්වය සම්බන්ධයෙන් ඉඳුරාම හිතකර පරිසරයක් මෙන්ම සුමට ගලා යාමක් සහතික කිරීමෙහිලාද එය බලපෑම් සහගතය. එමෙන්ම අධ්‍යාපනය යනු ආණ්ඩුවේ එක් බෙදාහැරීම් ශාඛාවක් ලෙසද සැලකිය හැකිවේ.

අධ්‍යාපනය ජනයාගේ ආදායම් මට්ටම ඉහළ නංවන අතරම ආදායම් බෙදීයාමේ විසමතාව අවම කිරීමද සිදුකරයි. අධ්‍යාපනය අගනාකම් විශාල ප්‍රමාණයක් රැගෙන එන පසුබිමක ජාතික අවශ්‍යතා සපුරාලන පරිද්දෙන් අධ්‍යාපනයේදී අප අපේ දායකත්වය ලබා දෙන්නේද යන කාරණයද විවරණය කළ යුතුය. අධ්‍යාපනය ජනප්‍රියය. එසේ වුවද, උසස් අධ්‍යාපනය සඳහා වරම් ලබන ප්‍රතිශතය තවමත් ඉතා අඩුය. මේ හේතුකොටගෙන මානව ප්‍රාග්ධන දර්ශකයේ Human Capital Index අපේ රට තවමත් වර්ගීකරණය කෙරෙන්නේ පහළිනි. සමාජයීය වශයෙන් දැකිය හැකි ඍණාත්මක තත්ත්වද තවමත් ඉහළ මට්ටමක පවතී. නිදසුන් වශයෙන් අපරාධ සංඛ්‍යාව, මාර්ග අනතුරු සහ දූෂණය දැක්විය හැකිය.

විශ්වවිද්‍යාලවල අරමුණු සහ කාර්යභාරය

විශ්වවිද්‍යාල එහි සාමාජිකයන්ගේ විශේෂයෙන් සිසුන්ගේ ඉගෙනුම් මෙන්ම පුද්ගල සංවර්ධනය නැංවීම උදෙසා කැපවූ ආයතන වශයෙන් පිළිගැනේ. සුදුසු රැකියා අවස්ථා සපයාගැනීම පිණිසද ඉන් මනා පිටිවහලක් ලැබේ. තමන් නිපුණත්වයක් දක්වන ක්ෂේත්‍රය හෝ ක්ෂේත්‍ර හඳුනාගැනීම හා වෘත්තීයමය අනන්‍යතා ඔස්සේ එම අවස්ථා විවර කරගත හැකිය. විශ්වවිද්‍යාලවල භූමිකාව දැනුම ප්‍රතිස්ථාපනයකරන්නන් සහ දැනුම් බලාගාර වශයෙන්ද, නිර්මාපකයන් සහ පරීක්ෂකයන් වශයෙන්ද නව දැනුම නිෂ්පාදනය කරන්නන් සහ අගැයීමට ලක්කරන්නන් වශයෙන්ද සමාජයට හා ජාතියට දායකත්වයක් සළසන්නන් වශයෙන්ද විස්තර කළ හැකි වේ. රාජ්‍ය ප්‍රතිපත්ති සහ සමාජ - ආර්ථික ජීවිතයට අදාළවද තාර්කික මෙන්ම කාලීන විවරණයන් කිරීමට ඊට ඇති හැකියාවද මෙහිදී අදාළය.

කෙටියෙන් කිවහොත් විශ්වවිද්‍යාල යනු දැනුම නිෂ්පාදනය කරන්නන් මෙන්ම බෙදාහරින්නන් වශයෙන් විස්තර කළ හැකිය. බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති එරික් තෝමස් පවසන පරිදි, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රධාන කාර්යභාරය මූලික වශයෙන් දෙයාකාරය. පළමුවැන්න, අධ්‍යාපනික ආයතන වශයෙන් ඒවාට පැවරෙන කාර්යභාරයයි. දෙවැන්න, දැනුම සහ තාක්ෂණය උත්පාදනය කිරීමේදී බලාගාර වශයෙන් සිදුකරන කාර්යභාරයය. අධ්‍යාපනික ආයතනමය කාර්යභාරය යටතේ ඒවා මඟින් ස්වකීයව ක්‍රියාත්මක විය හැකි ,ස්වාධීන හා විශ්වාසයක් ඇති ශිෂ්‍ය ප්‍රජාවක් තැනීමට ඇති හැකියාව දැක්වේ. ඔවුන් සමාජගත වූ පසු ස්වකීය නායකත්ව හැකියාවන් ඔස්සේද තමන් වෙත ප්‍රජාව වෙනුවෙන් පැවරෙන කාර්යභාරය ඉටුකිරීමේදීද එය නොපිරිහෙළා, ඉටුකිරීම අපේක්ෂා කෙරේ. දැනුම් බලාගාර වශයෙන් ක්‍රියාත්මක වීමේදී විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන වශයෙන් සුසමාදර්ශයන්(Paradigms)වෙනස් කිරීම සඳහා අවශ්‍ය නව දැනුම උත්පාදනය කළ යුතුය. මෙහිදී සමාජ සංවර්ධනය සඳහා උපකාරීවීම මෙන්ම ඊට එරෙහිව මතුවන අභියෝග ජයගැනීමද අපේක්ෂා කෙරේ.

ලීඩ්ස් විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා අවධාරණය කරන පරිදි විශ්වවිද්‍යාලයක ප්‍රධාන කාර්යභාරය සිවිල් සමාජය වෙනුවෙන් තීරණාත්මක දායකත්වයක් ලබාදීමය. නිසැකවම අප අපේ සිසුන්ට ලබාදෙන අධ්‍යාපනය ඔවුන් සමාජය වෙනුවෙන් ඔවුන්ට ලබාදිය හැකි දායකත්වය සඳහා සූදානම් කිරීම සමඟ සම්බන්ධ විය යුතුය. එහිදී අප නව දැනුම උත්පාදනය කළ යුතුවේ. එය පර්යේෂණ මූලික කොටගත් ඕනෑම විශ්වවිද්‍යාලයක ප්‍රධාන මෙන්ම වැදගත්ම භූමිකාවය. මේ දෙක අතර ඇති සම්බන්ධය අපට අත්‍යන්ත‍යෙන්ම වැදගත්ය. මේ දෙක අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකා පෝෂණය කරගනු ලබන්නේය යන්න අපගේ කල්පනාවය. සැබැවින්ම, මේ සියලු කාරණා අර්ථ නිරූපණය කරගැනීමේදී සමාජයීය වශයෙන් ඒවායේ ඇති බලපෑම පැහැදිළි වේ. අප සිතන පරිදිද ඒවා ඕනෑම විශ්වවිද්‍යාලයක ප්‍රමුඛ කාර්යභාරය සමඟ සම්බන්ධය. අධ්‍යාපනය පිළිබඳ මේ සියලු මතිමතාන්තර මානව ප්‍රාග්ධනය මතුකරමින් සමාජය සවිබල ගැන්වීම නැතිනම් ආලෝකවත් කිරීම යන්න දෙසට යොමු වේ. මීට අතිරේකව විශ්වවිද්‍යාල විදේශ විනිමය ඉපැයීම් සඳහාද දායක කරගත හැකිය.

අප කළ යුතු දේ?

අපේ විශ්වවිද්‍යාලය උපකුලපති තනතුර සඳහා අයදුම්පත්‍ර කැඳවා තිබේ. එම තනතුරට අයදුම්කරන අපේක්ෂකයන් යම් හෙයකින් තමන් තෝරාගනු ලැබුවහොත් විශ්වවිද්‍යාලය වෙනුවෙන් ඉටුකිරීමට අපේක්ෂිත කාර්යභාරය පැහැදිළි කළ යුතුය. විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස මම පහත යෝජනා ඉදිරිපත් කරමි.

1.විශ්වවිද්‍යාලයේ ශ්‍රේණිගත තත්ත්වය ඉහළ නැංවීම

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව තවමත් හිමිවන්නේ පහළ ස්ථානයකි. එම නිසා එක් අතකට අසල්වැසි රටවල අධ්‍යාපන වෙළෙඳපොළ ආකර්ෂණය කරගත හැකිවන පරිද්දෙන් අපේ විශ්වවිද්‍යාලවල තත්ත්වය ඉහළ නැංවිය යුතුය. අනෙක් අතට එමඟින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මක භාවයද ඉහළ නැංවේ. මෙය අර්ධ වශයෙන් අත්කරගත හැක්කේ පර්යේෂණ ගුණාත්මකව මෙන්ම ප්‍රමාණාත්මකව වර්ධනය කිරීමෙනි. එහිදී වර්තමානයේ යොදා ඇති වැඩපිළිවෙළට අමතරව සෑම පීඨයකම පර්යේෂක මණ්ඩලයක් ස්ථාපිත කිරීම මෙන්ම මේ කාරණය සම්බන්ධයෙන් ඒ ඒ පීඨවල සහාය ලැබීමද අවශ්‍ය වේ.

රජයේ පර්යේෂණායතන හා සම්බන්ධ වෙමින් පර්යේෂණ සම්බන්ධතා පුළුල්විය යුතුය. එමඟින් පරමාර්ථ සාධනය කරගැනීමට අවශ්‍ය උපායමාර්ගික සහාය ලබාගැනීමටද හැකිවේ. අවසාන වශයෙන් පර්යේෂණවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම හෝ පවත්වාගැනීම ප්‍රශස්ත මට්ටමේ විද්‍යාර්ථීන් බිහිකිරීමට මෙන්ම පීඨාධිපති, අධ්‍යයන අංශ ප්‍රධානී සහ පාඨමාලා සම්බන්ධීකාරකයන්ගේ තත්ත්වය සම්බන්ධයෙන්ද අදාළ වේ.

2.අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අවශ්‍යතාව

අපේ රටේදී, අධ්‍යාපනය වර්ධනය සහ සංවර්ධනය උදෙසා තීරණාත්මක ලෙස දායකත්වය ලබාදීමක් සිදුකර නැත. මෙය නිවැරදි විය යුතු තත්ත්වයකි. ගුරුවරයාගේ ගුණාත්මකභාවය මෙන්ම ඉගැන්වීමේ ගුණාත්මකභාවය ද ඉහළ නැංවිය යුතුය. ඇතැම් ගුරුවරු ඉංග්‍රීසි භාෂාවත් සමඟ වැඩකිරීමේදී සීමිත පරාසයකට සීමාවෙති.

මේ තත්ත්වය සාමාන්‍යයෙන් මානව විද්‍යා, සමාජ විද්‍යා සහ කළමනාකරණ පීඨවල දක්නට ලැබේ. මේ හේතුකොටගෙන ඔවුන්ගේ පර්යේෂණ ප්‍රතිඵලද ඇත්තේ අවම මට්ටමකය. මේ තත්ත්වය වෙනස්කර ගැනීම සඳහා පුහුණුව, බඳවාගැනීම මෙන්ම උසස්වීම් ලබාදීමේදීද යම් නවීකරණයන් සිදුවිය යුතුව තිබේ.

සාමාන්‍යයෙන්, විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්යමණ්ඩලයට බඳවා ගැනීමේදී කාට හෝ වැඩි සැලකිලි දැක්වීම් සිදුවන්නේ විරල වශයෙනි. එසේ වුවද උසස්වීම් ලබාදීමේ දී යම් යම් අක්‍රමිකතා සිදුවන තත්ත්වයක් පවතී. විශේෂයෙන්ම එය මහාචාර්ය පදවි පිරිනැමීමේදී අදාළය. බඳවාගැනීම් මෙන්ම උසස්වීම් සම්බන්ධයෙන්ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත්කර ඇති චක්‍රලේඛ අදාළ වේ. කෙසේ වුවද මහාචාර්ය පදවි පිරිනැමීමේදී අඩු සුදුසුකම් සහිත ආචාර්යවරුන්ට ඒවා ලබාදීම මෙන්ම ඇතැම් අවස්ථාවලදී සුදුසුකම්ලත් ආචාර්යවරුන්ට එම පදවි ලබානොදීමද දක්නට හැකිය. ඇතැම් විටෙක එකදු පර්යේෂණාත්මක හෝ ශාස්ත්‍රීය ලේඛනයක් ප්‍රසිද්ධියට පත්නොකළ මෙන්ම ආචාර්ය උපාධියක් ලබා නොමැති අය මහාචාර්යපදවියට උසස්කිරීම ද සිදු වී තිබේ. එම මහාචාර්ය පදවි සඳහා අයදුම්කළ සෙසු අයදුම්කරුවන් අතර මෙවැනි මහාචාර්යවරු විෂයය ප්‍රවීණයන් ලෙස කටයුතු කරමින් සිටිති.

විශ්වවිද්‍යාල මහාචාර්යවරු ශාස්ත්‍රීය බුද්ධිමතුන් විය යුතු අතර විදේශීය විශ්වවිද්‍යාල සමඟ ද සම්බන්ධව කටයුතු කරන එම විශ්වවිද්‍යාල මඟින් පිළිගන්නා අය විය යුතුය. කෙසේ වුවද පෙර සඳහන් කළ අන්දමේ අඩු සුදුසුකම් සහිත මහාචාර්යවරු මේ වර්ගයට අයත් නොවේ. එකම කාරණය නම්, මහාචාර්ය පදවියක් සඳහා උසස්වීමේ අපේක්ෂාවෙන් කිසිවකු හෝ අයදුම්කළවිට අඩු සුදුසුකම් ඇති අයකුට උසස්වීම ලැබී සුදුසුකම් ඇති අයකුට එය නොලැබී තිබියදී පවා කිසිවකු හෝ ඒ ගැන ප්‍රශ්න නොකිරීම සහ ප්‍රශ්න කිරීමට නොහැකි වීමය.

බඳවාගැනීම් සහ උසස්වීම් සම්බන්ධයෙන් තවදුරටත් ආචාර්යවරුන් අතර තරගය වැඩිකිරීම මීට සුදුසු පිළියමකි. ඇතැම්විට අධ්‍යයන කාර්ය මණ්ඩලයේ චර්යාත්මක වෙනස්කම් ඇතිවීමද අවශ්‍ය වේ. අධ්‍යයන කාර්යමණ්ඩල සඳහා ඇති වර්තමාන වැඩසටහන්වලදී ආචාර්යවරු සම්බන්ධයෙන් වාර්ෂික අගැයීම් ක්‍රමවේදයක අවශ්‍යතාව පවතී. සුදුසුකම් සහිත අධ්‍යයන කාර්යමණ්ඩලයක් තෝරා ගැනීමේදී උද්ගතවන මේ ගැටලුව දෙස බලන විට, එසේ කළ යුත්තේ සාම්ප්‍රදායික අන්තයෙන් නොව අනෙක් අන්තයෙනි. විශ්වවිද්‍යාල මෙන්ම රාජ්‍ය අංශයද (ඇතැම්විට සමස්ත සමාජයටද) සුදුසුකම් සහිත ආචාර්ය මණ්ඩලයක් තෝරාගැනීමේ වගකීමෙන් බැඳී සිටී. එසේ තෝරාගන්නා අය සම්බන්ධයෙන් එකම ආකර්ෂණීය කාරණය වැටුප නොවන්නේය.

මෙහිදී අප නිපුණතා සහිත ශ්‍රම බලකාය මෙරටින් සංක්‍රමණය කිරීම දෙසට අවධානය යොමුකළ යුතුවේ. මෑතදී එක් පුවත්පතක් වාර්තා කළ පරිදි අපේ විශ්වවිද්‍යාලයේ (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) ආචාර්යවරු 38 දෙනෙක් රට හැර ගොසිනි. බොහෝ විද්වතුන් රට හැර යන්නේ ජීවත්වීම සඳහා වඩාත් හිතකර මෙන්ම සුවදායක පරිසරයක් අපේක්ෂාවෙනි. එමෙන්ම තම දරුවන් සඳහා වඩා හොඳ අධ්‍යාපන අවස්ථා අපේක්ෂාවෙනි.

මෙලෙස රට හැරයන බොහෝ විද්වතුන් පවසන්නේ, අපෙන් විමසන්නේ “මේ රටේ අපට ආරක්ෂාකාරීව වාහනයක් පැදවීමට හෝ හැකියාවක් තිබේද?” “ රාජ්‍ය ආයතනයකින් ලබාදෙන දෙයක් අපට ලබා ගත හැකිද?” “තරුණ ගැහැනු ළමයකුට තනිවම නිවසින් බැහැරට ගොස් ආරක්ෂිතව ආපසු පැමිණීමට හැකිද?” “තෑගි බෝග ලබාදීමෙන් තොරව අපේ දරුවන් රජයේ පාසලකට ඇතුළත් කරගත හැකිද?” යනුවෙනි. මේ අන්දමේ ප්‍රශ්න ගණනාවක්ම මතුවේ.

මෙවැනි ගැටලුවලට පිළියම් යෙදීමේදී අපේ රාජ්‍ය අංශය වඩාත් කාර්යක්ෂම විය යුතු මෙන්ම රටේ මානව සංස්කෘතිය වෙනස්කම්වලට භාජනවිය යුතුය. පාසල් අධ්‍යාපනය වෙතට හැරු‍ණහොත් අපේ රටේ ගුරු - ශිෂ්‍ය අනුපාතය ඇත්තේද අවම මට්ටමක බව පෙනී යයි. රජයේ පාසල්වල ඉගෙනුම ලබන සිසුන් සියල්ල පාහේ ඉන් ලබන ඉගෙනුම පිළිබඳ තෘප්තිමත් නොවන අතර ටියුෂන් අධ්‍යාපනයට නැඹුරු වී සිටිති. අපේ දරුවන් රජයේ පාසලකට ඇතුළත් කිරීමේදී විඳීමට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳ අපි හොඳාකාරවම දනිමු. වරෙක ජනමාධ්‍ය මඟින් අනාවරණ කර තිබු‍ණේ රජයේ පාසල් අධ්‍යාපනය අපේ රටේ අතිශයින්ම දූෂණයට ලක් වූ ක්ෂේත්‍රය වී ඇති බවය. මෙවැනි පසුබිමක සුදුසුකම් සහිත ආචාර්යවරු තෝරාගැනීම හුදෙක් විශ්වවිද්‍යාල කාලයටම පැවරෙන කාර්යභාරයක් නොවන අතර අපේ සංස්කෘතියට මෙන්ම සමස්ත සමාජයටම එම වගකීම පැවරී ඇත.

විශ්වවිද්‍යාලවලදී ප්‍රධාන වශයෙන් දැනුම බෙදාහරිනු ලබන්නේ පංති කාමරයකදීය. එය තවදුරටත් ඉගෙනුම් ක්‍රියාවලියට ඵලදායක වන පරිදි සැකැසිය යුතුවේ. වර්තමානයේදී ශිෂ්‍යයන් පිළිබඳ නිරන්තර හා අඛණ්ඩ අගැයීමක් සිදුනොවේ. ශිෂ්‍ය අගැයීම් ක්‍රමවේදය වෙනසට ලක්විය යුතුය. නිදසුනක් ලෙස, අඛණ්ඩ අගැයීම් සම්බන්ධයෙන් අවම සාමාර්ථ මට්ටමක් තිබිය යුතුය. එය එක් එක් මොඩියුලය සම්බන්ධයෙන් විචල්‍ය විය යුතුය. නිදසුනක් ලෙස සම්මුඛ සාකච්ඡා , ලිඛිත පරීක්ෂණ,නිවසේදී කිරීමට ඇති පැවැරුම් ආදිය සඳහා වෙන් වශයෙනි. පහසුදායී ඉගෙනුම් ක්‍රම හඳුන්වාදීම තවත් උපාය මාර්ගයකි. සාමාන්‍යයෙන්,  දේශන සටහන පරිගණක මාධ්‍යයෙන් දේශනයට පෙර (දේශනයට දින කිහිපයකට පෙර වුව කළ හැකිය.) ශිෂ්‍යයන් වෙත යොමු කිරීම සුදුසුය. මෙය විශ්වවිද්‍යාලවල ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාවට නැංවෙන්නේ නම් ඉතා සුදුසුය.

3) නව පීඨ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලුතින් ස්ථාපිත කළ ඉංජිනේරු සහ තාක්ෂණ පීඨ දෙකද සමඟ දැනට පීඨ හතක් පවතී. දැනටමත් මෙම විශ්වවිද්‍යාලය මෙරට විශාලතම විශ්වවිද්‍යාලය බවට පරිවර්තනය වෙමින් තිබේ. අලුතින් ස්ථාපනය කරන ලද පීඨ දෙක මඟින් රටේ වර්ධනය මෙන්ම සංවර්ධනය සඳහා දායකත්වය ලබාදීම ද අරමුණකි. මෙම පීඨවල අධ්‍යයන අංශ නිර්මාණය කිරීමේදීද උපාධි පාඨමාලා සැලැසුම් කිරීමේදීද එය සිදුවූයේ ජාතික ආර්ථිකයේ වත්මන් සහ අනාගත අවශ්‍යතා මෙන්ම ගෝලීය ආර්ථිකයද සැලකිල්ලට ගනිමිනි. මෙහිදී අප අත්‍යවශ්‍යයෙන්ම ජාත්‍යන්තර වෙළෙඳාම සහ ඍජු විදේශීය ආයෝජන (FDI) ගැනද සැලකිලිමත් විය යුතුය.

4.පශ්චාත් උපාධි අධ්‍යාපනය නැංවීමේ අවශ්‍යතාව

වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේදී වෘත්තීයමය පශ්චාත් උපාධි පාඨමාලා වැඩසටහන් පවත්වනු ලබන්නේ කොළඹ විශ්වවිද්‍යාලය මඟින් පමණි. තවත් එක් පශ්චාත් උපාධි ආයතනයක් ස්ථාපිත කළ ද රට වෙනුවෙන් විශේෂඥ දැනුමැති වෛද්‍ය වෘත්තිකයන් බිහි කිරීමේ හැකියාව පවතී.

සෙසු පීඨ සම්බන්ධයෙන් සලකනවිට අප සතුව පූර්ණකාලීන පශ්චාත් උපාධි ශිෂ්‍යයන් නොමැත. තම පළමු උපාධිය සම්පූර්ණ කිරීමත් සමඟ පශ්චාත් උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචිවීමට සිසුන් දිරිගැන්වීම මඟින් මේ තත්ත්වය යම් දුරකට මඟහරවාගත හැකිවේ.

5.අතුරු පියවර

වේදනාවෙන් තොර දිනීමක් නැත. එබැවින් තරගකාරිත්වය වර්ධනය කිරීම සඳහා කාර්ය සාධනය පදනම්කොට ගනිමින් අධ්‍යයන අංශ හා ඇතැම් පීඨ සඳහා අමතර ප්‍රතිපාදන ලබාදීමද විශ්වවිද්‍යාල සඳහා තවත් කාලයක් ලබාදීමද කළ යුතුය. ඇතැම්විට විශ්වවිද්‍යාලවලට බිම් මට්ටමේ අධ්‍යාපන ආයතන එනම් පාසල් සඳහා සිය උපකාරක හස්තය දිගුකිරීම කළ හැකිය. විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රධානීන්ට රාජ්‍ය ආයතන මෙන්ම දෙස් -විදෙස් අදාළ අනෙකුත් ආයතන සමඟ මනා ඇකඩමික සම්බන්ධතාවක් පැවැතිය යුතුය. මෙය කියන තරම් පහසු කාර්යයක් නොවේ. කෙසේ වුවද, විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ ඊට ප්‍රයත්න දැරිය හැකිය. පළමුව, රාජ්‍ය හා පුද්ගලික අංශයේ සුදුසු ප්‍රවීණයන්ට විශ්වවිද්‍යාල දේශන සඳහා ඇරියුම් කළ හැකිය. දෙවනුව විශ්වවිද්‍යාල ආචාර්යවරුනට සහ ශිෂ්‍ය ප්‍රජාවට රාජ්‍ය හා පුද්ගලික ආයතනවල වරින්වර සංචාරය කළ හැකිය.

ඉහත සාකච්ඡා කළ බොහෝ අදහස් අධ්‍යාපනයේ ක්‍රියාකාරී සිද්ධාන්ත සමඟ ගැලපේ. මෙම කෙටි සටහන නීති වෘත්තියේ යෙදී සිටින මාගේ මිත්‍රයකු මා සමඟ පැවසූ සඳහනකින් නිම කිරීමට මම කැමැත්තෙමි. “කිසිවකුගේ හෝ චින්තනය දුප්පත් නම් ඔහුගේ වැඩද දුප්පත්ය. අන්තිමේදී ඔහුගේ කාර්ය සාධනයද දුප්පත්ය...” අප සිතන්නේද වැඩකරන්නේද දුප්පත්වය. තවමත් අප සංවර්ධනය වෙමින් පවත්නා රටක් ලෙස සිටින්නේ එබැවිනි. කාර්යක්ෂම ලෙස සිතීමට දැන් අපට කාලය පැමිණ තිබේ.

(2017, අගෝස්තු 4 වැනිදා Daily News පුවත්පතේ පළ වූ ලිපියේ පරිවර්තනයකි.)

නව අදහස දක්වන්න