සයිටම් හිටපු උපකුලපතිගෙන් පෙත්සමක් | දිනමිණ

සයිටම් හිටපු උපකුලපතිගෙන් පෙත්සමක්

නෙල්කා මැදගෙදර

වෛද්‍යවරයකු ලෙස කටයුතු කිරීම මාස 6ක කාල සීමාවකට අත්හිටුවමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් තමාට එරෙහිව නිකුත් කර ඇති නියෝගය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සයිටම් ආයතනයේ උපකුලපතිව සිටි මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා ඊයේ (09) අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළේය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ඉකුත් ජූනි මස 30 වැනිදා තමා සම්බන්ධයෙන් නිකුත් කර ඇති නියෝගය ක්‍රියාත්මක වීම සහ එම නියෝගය මත පදනම්ව ඉදිරි පියවර ගැනීමෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ එහි සාමාජිකයන් වළක්වන ප්‍රොහිබිෂන් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා මෙම පෙත්සම මඟින් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා වෛදය සභාව, එහි සභාපතිවරයාව සිටි මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ශ්‍රී ලංකා වෛද්‍ය සභා වෘත්තිකයන්ගේ හැසිරීම් සොයා බැලීම සඳහා වන කමිටුවේ සාමාජිකයන් නමදෙනකු මෙහි වගඋත්තරකරුවෝ වෙති.

තමා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයකු ලෙස කටයුතු කරන අතර කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ලෙස කටයුතු කළ බව පෙත්සමෙහි දැක්වේ. හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ශරීර කොටස් අස්ථානගතවීම ඇතුළු චෝදනා 5ක් ඇතුළත් චෝදනා පත්‍රයක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් තමාට ලබා දුන් අතර වෛද්‍යවරුන් නවදෙනකුගෙන් සමන්විත කමිටුවක් විසින් ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වූ බව පෙත්සම්කරු කියයි. එහි සඳහන් චෝදනාවලින් 1, 4, 5 යන චෝදනාවන්ට තමා වැරදිකරු බවටද, 2, 3 චෝදනාවලින් තමා නිවැරැදිකරු බවටද අදාළ කමිටුව විසින් තීරණය කර ඇති බව පෙත්සම්කරු කියයි. කෙසේ වූවද, එම චෝදනාවලට වැරැදිකරු බවට තීරණය කර ඇත්තේ ඒකමතික තීරණයකින් නොවන අතර තමා සම්බන්ධ තීරණ ගත් කමිටුවේ ඇතැම් සාමාජිකයන්ට ඒ සඳහා සුදුසුකම් නොමැති බවද පෙත්සමෙහි දැක්වේ.

වෛද්‍යවරයකු ලෙස කටයුතු කිරීම තාවකාලිකව අත්හිටුවීමට ගෙන ඇති තීරණය ස්වභාවික යුක්ති මූලධර්මයට පටහැනි බවද, අසාධාරණ බවද පෙත්සම්කරු සඳහන් කර තිබේ. 


නව අදහස දක්වන්න

Or log in with...