ලන්ච් ෂීට් වලට සමුදීමට නම් | දිනමිණ

ලන්ච් ෂීට් වලට සමුදීමට නම්

නුවන් මහේෂ් ජය­වි­ක්‍රම
 
දිවා ආහා­ර­යට බත් ඔත­න්නට නම් තර­මක් ලොකු කොළ­යක් ඕනෑනේ.   ඒත්  හුඟ­දෙ­න­කුට තමන්ගේ  උදෑ­සන ආහා­ර­වේල ඔත­න්නට එත­රම් ලොකු කොළ­යක් වුව­මනා නැහැ.

ආහාර එතීමට භාවිතකරන පොලිතින් (ලන්ච්ෂීට්) මිලියන 20කටත් වඩා දිනකට ශ්‍රී ලංකාව අපද්‍රව්‍ය විදියට, කුණුගොඩට එකතු කරයි. මධ්‍යම පරිසර අධිකාරිය බලවත් පාරිසරික තර්ජනයක් බවට පෙන්වා දෙන ඒ ඇතුළු පොලිතින් , ප්ලාස්ටික් ගැටලුව සම්බන්ධයෙන් රජයන් ද විවිධ තීන්දු තීරණ ගනිමින් සිටියි.

එහෙත් මේ සියල්ල මිනිස් ක්‍රියාකාරකම් හා බැ‍ඳෙනවා. නීති රීති අණපනත්වලින් පාලනය කරනවාට වඩා බුද්ධිමත් මිනිසාට පරිසරය රැකගෙන තමන්වත් රැකගැනීමට ගත හැකි පියවර බොහොමයි. තනි තනිව සහ පවුල් ඒකක වශයෙන් ඒ සම්බන්ධයෙන් වැඩ කළත් රටක් වශයෙන් ශ්‍රී ලංකාවටත් මේ අර්බුදයෙන් ගොඩඒම දුෂ්කර නොවෙයි. පොලිතින්(ලන්ච්ෂීට්), රිජිෆෝම් (ලන්ච් බොක්ස්) ආදී අපි අපිම රටේ කුණු කන්ද තවත් තර කරන්නට ඊට එක්කරන කුණු ටිකකින්වත් අවම කරන්නට හැකිනම්, එය ශ්‍රී ලාංකිකයන් විදියට අපෙන් රටට සිදුවන සේවයක්ම වනු ඇති.

පොලිතින් සහ ප්ලාස්ටික්වලින් ඩීසල් ආදි ඉන්ධන නිෂ්පාදනය ආදි ප්‍රගතිශීලි යෝජනා පිළිබඳ අසන්නට ලැබු‍ණත් ඒවා ශ්‍රී ලංකාව තුළ ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම මන්දගාමී බවක් පෙනේ. එය එසේ තිබියදී අග නගරයෙන් එපිට දකුණුලක හම්බන්තොටින් මේ ජාතික ගැටලුවට යම් පමණකවත් පිළියමක්වන පරිසර හිතකාමී ක්‍රියා පිළිවෙතක් යෝජනා වී තිබෙයි. මේ අවධානය ඒ පිළිබඳයි.

හම්බන්තොට - වැලිගත්ත, කෘෂි තාක්ෂණ හා ග්‍රාමීය විද්‍යායතනය සැබැවින්ම කොළඹින් එසේත් නැතිනම් කොළඹ විශ්වවිද්‍යාලයෙන් දකුණුලක ලද මහඟු සම්පතක් ලෙස එම ප්‍රදේශවල බොහෝ දෙනා සලකති. කලින් කලට ගොවියාටත් වැඩ පහසු කරන තාක්ෂණය සහ වැදගත් කෘෂි උපදෙස් ලබා දෙන ඒ ආයතනයෙන් පසුගියදා රටටම වැදගත්වන බව පෙනෙන නව සොයාගැනීමක් කරන ලදී. මේ වනවිට රටේ විවිධ ප්‍රදේශවලින් ඒ පිළිබඳ විමසීම් කරමින් තිබෙනා සමයක අපි ඒ කර්තව්‍යයේ පෙරගමන්කරුවන් හමුවීමු.

ඇය අප දැන් ගොඩවැදී සිටිනා හම්බන්තොට පිහිටි කෘෂි තාක්ෂණ හා ග්‍රාමීය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. නමින් සුජාතා වීරසිංහය.

ඉවතලන කෙසෙල් කොළයෙන් නැමෙන පොඩිවන එහෙත් නොඉරෙන කෑම ඔතන්නට හැකි අපූරු තාලේ පොලිතින් නොවන ලන්ච් ෂීට් එකක් හඳුන්වා දුන්නී ඇය ප්‍රමුඛ පිරිසයි.

ඉදින් මේ කතාබහ ඇයගෙන්ම එහි තතු වඩාත් පැහැදිලි කර ගැනීම පිණිසයි.

l මේ සම්බන්ධයෙන් අප නොදන්නා නමුත් ඔබ හොඳින් දන්නා පසුබිම් කතාවක් ඇති අපි එතැනින් අරඹමු.

ඇත්තෙන්ම ඒ මීට පසුබිම් වුණු පර්යේෂණය මේ සම්බන්ධවත් යම් කිසි විද්‍යාවක් තියෙනවානේ. ඒ කරුණු මතුකර ගැනීමට අපි සෑහෙන කාලයක් පර්යේෂණ කළා. ඒ වෙහෙස මහන්සියේ ප්‍රතිඵල විදියට මේ හා සම්බන්ධ විද්‍යාවක් අප මතුකර ගත්තා. ඒ වුණත් ඒ සොයාගත් මූලික කරුණු සරලව ගොවි මහත්වරුන්ට ගෙවිලියන්ට වටහාගෙන ක්‍රියාවට නංවන විදියට සරල කරන්න ඕන වුණා. ඉන් එපිටටත් මේ කටයුත්ත කෙනෙක් මහා පරිමාණයෙන් ව්‍යාපාරයක් විදියට කරන්නට අදහස් කළොත්, ඒ අයටත් තාක්ෂණිකව සහාය දක්වන්න පුළුවන් විධි අප සොයා බැලුවා. ඒ විදියටයි කලක් තිස්සේ මේ පිළිබඳ පර්යේෂණය කෙරුනේ.

l හොඳයි දැන් අපි කෙසෙල් කොළයෙන් ආහාර ඔතන, ඔබ කියන වැඩබිමට පිවිසෙමු. ඒ කටයුත්තේ පියවරෙන් පියවර විස්තර කරමු.

එතරම් විදුලි උපකරණ භාවිත නොවන ගැමි නිවෙසක් තුළදී වුණත් සරලව කුඩා පරිමාණයෙන් කෙසෙල් කොළ උපයෝගි කොටගෙන මේ නිෂ්පාදනය කරගත හැක. විශේෂයෙන් බහුලව කෙසෙල් වගාව කෙරෙන ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වන ජනතාවට ඔවුනොවුන්ගේ එදිනෙදා පාවිච්චිය සඳහාවත් මේ විදියට ඉවතලන කෙසෙල් කොළ පොලිතින් කොළ වෙනුවට භාවිතයට ලෙහෙසියෙන් සකස්කරගත හැකි.

l කොහොමටත් කෙසෙල් කොළයේ බත් එතුවාම ඒ එන සුවඳට කෑම රුචිය වැඩිකරවනවා කියලා පැරැන්නන්ගේ කියමනකුත් තියෙනවානේ. අපි මුලින්ම ගෘහාශ්‍රිතව ලෙහෙසියෙන්ම මේ නිෂ්පාදනය කරගන්නා විදිය කියමු.

අපි ඒකට උණුවතුර ප්‍රතිකාරය කියලා සරලව කියනවා. ඒ ක්‍රමයේදී මුලින්ම හතරැස් හැඩයට කපා ගන්නා කෙසෙල් කොළ හොඳින් සෝදා පිරිසුදු කරගත යුතු වෙනවා. ඉතින් සමහර කෙසෙල් කොළවල යට පැත්තේ අළු වගේ තියෙනවානේ. ඒවා ස්පොන්ච් කැබැල්ලක් වගේ දෙයක් තෙමලා එයින් කෙසෙල් කොළවල යට පැත්තේ අළු ඉවත් කරගන්න ඕනෑ. ඒ හැරෙන්නට කෙසෙල් කොලේ තවත් අපද්‍රව්‍ය තියෙන්න පුළුන්නේ. ඒවා ඉවත් කරගන්න ඇල්වතුර භාජනයක කපා සකසාගත් කෙසෙල් කොළ ගිල්වා නැවත පිරිසිදුකර ගැනීම වැදගත්.

l ඊළඟට

කට පළල භාජනයකට වතුර උණුකරන්න ඕන. උතුරවා නටවාගත් ඒ ජලයේ පිරිසුදු කරගත් කෙසෙල් කොළ ආධාරකයක් උපකාර කරගෙන ගිල්වා ගන්න ඕන. මතක තියාගත යුතුම දේ තමයි තත්පර දෙකක් තරම් කෙටි කාලයකට පමණක් ඒ විදියට උණු ජලයේ කෙසෙල් කොළ ගිල්වා ගැනීම ප්‍රමාණවත් බව. එවිට පැහැබර ළා කොළ පැහැයක් කෙසෙල් කොළයෙන් දිස්වෙනවා.

l එතැනින් එහාටත් තවත් පියවර තියෙනවාද?

ඔව්. අව් රශ්මිය වැටෙන තැනක බැඳගන්නා වැලක එල්ලා ළදරුවන්ගේ නැප්කින් සෝදා වේළෙන්නට දමනවා වගේ උණුවතුරේ ගිල්වා ගන්නා කොසෙල් කොළ වේලාගන්න ඕනෑ. ඒවා ක්ලිප් කරලා නැතිනම් ස්ට්‍රේප්ලර් කරලා වැලේ එල්ලන්න පුළුවන්නේ. ඒ විදියට අව්වේ පැය දෙකහමාරක් පමණ තිබ්බාම ඇති.

l අව් රශ්මිය නැතිවත් මේ නිෂ්පාදනය කරගන්න පුළුවන්ද?

ඔව්, මං දැන් විස්තර කළේ සරල උණුවතුර ප්‍රතිකාර ක්‍රමයනේ. ඒ ක්‍රමයටම වුණත් අව් රශ්මිය නැති රාත්‍රි වෙලාවටත් මේ කටයුත්ත කරගත හැකි. ඒ විදියේදී වෙනස තියෙන්නේ කලින් ක්‍රමයේදී අව්වේ එළිමහනේ වැල් බැඳලා වේළන විදියටම ගේ ඇතුලේ මඳ පවනේ වැලක උණු වතුරේ ඔබා ගත් කෙසෙල් කොළ වේළා ගැනීමයි. ඒ විදියටත් රාත්‍රි කාලයේදි උණු වතුරේ ගිල්වාගෙන වැලක එල්ලන කෙසෙල් කොළ පසුදා උදෑසන වනවිට අතේ පොඩි කළාට ඉරෙන්නේ නැති, පදම් වූ තත්ත්වයට පත් වෙනවා.

l වෙළෙඳාම සඳහා මහා පරිමාණයෙන් කරනවානම්?

එයාර් ඩ්‍රයරයක් යොදා ගන්නවා නම් මේ කටයුත්ත තවත් ලෙහෙසියි. එවිට මිනිත්තු කිහිපයක් ඇතුළත නිසි පදමට එන කෙසෙල් කොළ අමුතුවෙන් අව්වේ හෝ පවනේ වේළා සකසා ගැනීමට වුවමනා වන්නේත් නැහැ. අවන් එකකින් මේ කටයුත්ත කරගන්නත් පුළුවනි. ඒ හැරෙන්නට උණුසුම් වාතය පිටකරන විශාල අවන් යොදාගෙන හුමාලයෙන් හෝ වාෂ්පයෙන් ඉඳියප්ප තම්බා ගන්නවා වගේම කටයුත්තත් අපහසුවකින් තොරව කළ හැකි.

l මුළු කෙසෙල් කොළයම මේ නිෂ්පාදනයට යොදා ගැනීම අපහසුයිනේ. අපද්‍රව්‍ය විදියට සෑහෙන ප්‍රමාණයක් අපතේ යනවානේ?

ඉදුණු, ඉරුණු කොළ අස්කොන් එහෙම අපිට අහක දමන්නට වෙනවා. ඒත් එයිනුත් යම් ප්‍රයෝජනයක් ගන්නා අදහසින් අපි ඒවායින් පිඟන් සාදන ක්‍රමයක් හඳුන්වා දීලා තියෙනවා. ඒත් ඒ ක්‍රමය නම් කෙ‍නකුට කුඩා වැඩමුළුවකින් පස්සේ තමයි ඉගෙන ගන්න වෙන්නේ. ඒ සඳහා වන සරල යන්ත්‍රයකුත් සාදාගත යුතු වෙනවා‍නේ.

l ඒ මොන වගේද, අධික වියදමක් දරන්නට සිදුවෙන දෙයක්ද?

අපෝ නැහැ. අපිත් ඒක වින්කලයක බාසුන්නැහේ කෙනකුට කියලා සාදවා ගත්තේ. හරිම සරල දෙයක් ඒක.

l හොඳයි කෙසෙල් කොළ හැර තවත් විකල්ප පිළිබඳ අදහසක් එහෙම තියෙනවාද?

මෙහෙමයි දිවා ආහාරයට බත් ඔතන්නට නම් තරමක් ලොකු කොළයක් ඕනෑනේ. ඒත් හුඟදෙනකුට තමන්ගේ උදෑසන ආහාරවේල ඔතන්නට එතරම් ලොකු කොළයක් වුවමනා නැහැ. අනෙක පාසල් දරුවාට ඔතා දෙන කඩල, මුං, කවුපි හෝ වෙනත් කෙටි ආහාරයක් දවටන්නට මේ ක්‍රමයටම අපට කෙසෙල් කොළ වෙනුවට කැන්ද, හල්මිල්ල, ගංසූරිය වගේ කොළ වර්ග යොදා ගන්නත් බැරි නැහැ. කලින් ක්‍රමයටම ඒවාත් පොඩි කළත් නොඉරෙන තත්ත්වයට සකස් කරගන්න පුළුවන්. කෙනකුට ඕනෑ නම් ඒවා කිහිපයක් එකට මූට්ටු කරලා එක් විශාල කොළයක් සකස් කර ගැනීමත් අපහසු නැහැ. ඒ හැරෙන්නට පත්‍ර බහුලව වැඩෙන ආකාරයට කෙසෙල් වගා කළ හැකි තාක්ෂණික ක්‍රම පිළිබඳත් අපෙන් දැනුවත් විය හැකියි.

මේ කොයි විදියට සාදා ගත්තත් තවත් මතක තබාගත යුතුම දෙයකුත් වෙනවා නේද?

අනිවාර්යයෙන්ම. අපි මේ නිෂ්පාදනය තෙල් කොළයක ඔතා ශීතකරණයක තබන්නටත් අමතක නොකළ යුතුයි. අපි කිසිම කල්තබාගැනීමේ රසායනිකයක් යොදා නොගන්නා නිසායි අනිවාර්යයෙන්ම ශීතකරණයේ තබන්න කියන්නේ.

ඒ විදියට කෙතරම් කාලයක් මේවා සුරැකිව තබාගත හැකිද? ඊට සුදුසුම ක්‍රම තියෙනවාද?

සාමාන්‍යයෙන් සතරට නමා ගන්නා මේ කොළ 5 හෝ 10ක් එක ඇසුරුමක් විදියට සකස් කළ හැකි.

ඒ විදියට තුන්මසක පමණ කාලයක් මේ කෙසෙල් කොළ කෑම එතීමේ කටයුත්ත සඳහා ශීතකරණයේ තබාගනිමින් යොදාගත හැකි.

l මේ නිෂ්පාදනය නැවත නැවත භාවිතයට යොදාගත නොහැකිද?

පුළුවනි. ඒත් එවිට එහි සෞඛ්‍යාරක්ෂිත බව රැක ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා. කාර්යාලයක නැතිනම් කර්මාන්ත ශාලාවක සේවය කරන කෙනකුට බත්පත ඔතන මේ පදම් කළ කෙසෙල් කොළය එවේලේම ජල කරාමයට අල්ලා පිරිසුදුකොට නැවත නිවෙසට ගෙන යා හැකියි.

පසුව නිවෙසේදී විවේකීව එය නැටවූ ජල භාජනයක ගිල්වා පිරිසුදු කර ගනිමින් එකම කොළය පස් වතාවක් පමණ සෞඛ්‍යාරක්ෂිතව නැවත නැවත භාවිත කිරීමේ හැකියාවත් පවතිනවා.

ඔබලා ඔය කියන තාක්ෂණය රටට බෙදා දෙන්නට කැමැත්තෙන් සිටිනවා නේද? කොහොමද මහජනතාව මේ පිළිබඳ විස්තර පත්‍රිකාව ලබා ගන්නේ?

මේ පිළිබඳ උනන්දුවක් දක්වන හැමෝටම තමන්ගේ නම ලිපිනය ලියූ මුද්දර ඇල වූ ලියුම් කවරයක්, අධ්‍යක්ෂ, කොළඹ විශ්වවිද්‍යාලයීය කෘෂි තාක්ෂණ හා ග්‍රාමීය විද්‍යායතනය වැලිගත්ත, හම්බන්තොට ලිපිනයට එවීමෙන් වැඩිදුර තොරතුරු තැපෑලෙන් ගෙන්වාගත හැකියි.

ඒ හැරෙන්නට කෙනකුට දුරකථනයෙන් විමසා මේ පිළිබඳ ගැටලුවක් නිරාකරණය කරගන්න ඕනෑ වුණොත්? මට (ජ්‍යෙෂ්ඨ කථිකාචාරිණි සුජාතා වීරසිංහ) 071 – 2092001 අංකයෙන් අමතන්නත් පුළුවන්. 

 


අදහස් 1ක් ඇත

kawadda rathuhal bathuyi ekka mewa kehel kole othala , suwade baha , arayata ,,, doladuka hadila, bath mula heta genihin dennawa!

පිටු

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...