රස වෑහෙන චොක්ලට් රහස් | දිනමිණ

රස වෑහෙන චොක්ලට් රහස්

මදාරා මුද­ලිගේ
 
අපේ චොක්ල­ට්වල  කිසිදු අහි­ත­කර  රසා­ය­නික  ද්‍රව්‍යක් භාවිතා  කරන්නේ   නැති  හින්දා   අපිට  චොක්ලට් දිගු  කලක්  තබා ගන්න  බැහැ.  ඒ  හින්දා අපිට  ලොකු  profit එකක්  බලා­පො­රොත්තු  වෙන්න  බැහැ. අපි  හිතන්නේ   මිනි­සුන්ගේ    සෞඛ­යට  හිත­කර  ගුණා­ත්කම  රස­වත්  නිෂ්පා­ද­න­යක්  ලබා දීම ගැන පම­ණයි.

කොකෝවා සාරයෙන් අනුන චොක්ලට් නම් ඉතින් ලොව ඕනෑම රටක ලොකු පොඩි කොයි කාගෙත් දිවට රසදුනක් මවන ආහාරයක් කිව්වොත් වැරදි නෑ..ලෝකයේ ප්‍රධාන පෙළේ සංවර්ධිත රටවල රස වෑහෙන චොක්ලට් මුළු ලොවටම බෙදා හරිනු ලබන්නේත් ඒ නිසා වෙන්මයි.

චොක්ලට් යන වචනය සම්භාව්‍ය නහුවාට්ල් වචනය ( chocolatt ) වලින් පැමිණි අතර ස්පාඤ්ඤ භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට ඇතුළත් වී ඇත. ක්‍රි.පු 1900-1950 අතර කාල වකවානුවේ දී චොක්ලට්වලින් සකසන ලද පාන වර්ග දැකගත හැකි විය. අතීතයේ විසු ඇස්ටෙක්වරු කොකෝවා බීජ වනාහි ඥානවන්ත වන ක්වෙට්සල්කෝට්ල් දෙවියන්ගේ ත්‍යාගයක් ලෙස විශ්වාස කර ඇත. විසිවන ශත වර්ෂයේ දී ඇමරිකා එක්සත් ජනපදයේ විසු සොල්ලාදුවන්ගේ ජනප්‍රිය පානය වුයේ ද චොක්ලට් පානයයි. මෙලෙස දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන චොක්ලට් වර්තමානයේ දී නවීන ස්වරෑපයන්ගෙන් යුත්තව පාරිභෝගිකයින් වෙත ළගා වී ඇත්තේ තාක්ෂණික ක්‍රම ශිල්පයන්හි උපරිම දායකත්වය ලබා ගනිමිනි.

සෑම රටකටම අනන්‍ය වු විවිධ හැඩයන්ගෙන්, මොස්තරයන්ගෙන්, මෙන් ම රසයන්ගෙන් නිපදවන චොක්ලට් වයස් භේදයකින් තොරව මිනිසුන් වැළද ගන්නේ ය. චොක්ලට් නිෂ්පාදන කර්මාන්තය ලෝකයේ තිබෙන ප්‍රමුඛතම පැණිරස ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයක් වශයෙන් ප්‍රචලිත වී ඇත. ඇමරිකාව, නවසීලන්තය, මෙන් ම යුරෝපීය රටවල දැවැන්ත චොක්ලට් කර්මාන්ත ශාලාවල් ඉදි කර ඇති අතර ඒ සෑම කර්මාන්තයක් මගින් ම චොක්ලට් නිෂ්පාදන වර්ග දහස් ගණනක් සෑම රටකටම අපනයනය කරනු ලබයි.

චොක්ලට්වල පවතින ස්වරූපය නිර්මාණශීලී අන්දමින් වෙනස් වීම්වලට ලක් කරමින් පෙර නොවු විරූ ආකර්ෂණීයභාවයක් මෙන් ම රසයක් එක් කර ගැනීම සැබවින් ම සුප ශාස්ත්‍රි කලාවේ ආශ්චර්යකි. ශ්‍රි ලංකාවේ දක්නට ලැබෙන එවැනි චොක්ලට් නිෂ්පාදන ආයතන කිහිපයක් පිළිබදවයි මේ.

මේ වගේ චොක්ලට් නිෂ්පාදනය කරන්නේ නෑ ලංකාවේ කිසිම තැනක. ඒ වෙනස කරන්න ඕන හින්දම තමයි මම මේ වගේ ව්‍යාපාරයක් කරන්න හිතුවේ. ලංකාවේ කිසිම තැනක චොක්ලට්වලින් බොකේස් හදන්නේ නෑ. විවිධ රටවල ලොලිපොල්වලින් නම් බොකේස්, ඇරේන්ජ්මන්ට්ස් වගේ දේවල් කරනවා. අපේ රටේ සීනි වැඩිපුර තියන හින්දා ලොලිපොප් වලින් වැඩ කරන්නේ නෑ. ඒ හින්දා තමයි අපි ටෙඩී බෙයාස්ලා, මල්, චොක්ලට් එකතු කරලා, මල් බොකේස් වගේ චොක්ලට් බොකේස් හදන්නේ. මේක වෙනස් ම දෙයක්.

ඇත්තටම මේ වගේ දේවල් කරන්න බෑ චොක්ලට් පිළිබඳව නිසි අවබෝධයක් නැතිව, නිර්මාණශීලි මනසක් තියෙන්නම ඕනේ මේ වගේ වෙනස් දෙයක් ගැන හිතන කොට, එහෙම නැති වුනොත් දීර්ඝ කාලයක් සාර්ථකව ව්‍යාපාරය පවත්වා ගන්න බෑ. අපි මේ වගේ වෙනස් දෙයක් කරලා අද වෙන කොට ඉන්න සාර්ථක මට්ටම ගැන සතුටුයි. කොළඔ ඉන්න මිනිස්සු ගොඩාක් දෙනෙක් අපි ගැන දැන් දන්නවා. ලංකාවේන්ම තමයි චොක්ලට්, සොෆ්ට් ටෝයිස්, ඇසුරුම් වගේ බොහෝ දේවල් අපි හොයා ගන්නේ .සමහර දේවල් ජපානයෙන් ගෙන්වනවා.

ඒ වගේ ම අපි වෙඩින්ස්වලට, පාටීස්වලට චොක්ලට් ෆවුන්ටර්න්ස් ( fountains) හදනවා. ඇත්තටම මේ වගේ චොක්ලට්වලින් නිර්මාණය කරන කොට අපිට තියෙන ලොකුම අර්බුදය තමයි ලංකාවේ උෂ්ණත්වය අනුව චොක්ලට් දිය වෙන එක. පිරරටවල තියෙන පහසුකම් අපේ රටේ නෑ. ව්‍යාපාරයක් විදිහට අපි වර්තමානයේ හොඳ ස්ථාවරයක ඉන්නවා. එලෙස තම වොක්ලට් ව්‍යාපාරයේ ස්වභාවය පිළිබඳව අදහස් දැක්වුයේ බම්බලපිටිය නගරයේ පිහිටා තිබෙන “ sweet Buds “හි හිමිකාරිණිය වන ඉරෝෂිණී අමරතුංගය.ඇය තමන්ට ආවේණික වු ක්‍රම ශිල්ප මගින් චොක්ලට්වලින් වෙනස්ම සංකල්පයන් අත්හදා බලා ඇත. ශ්‍රි ලංකාවේ මෙතෙක් දැක නොමැති නිර්මාණාත්මක ආකාරයට චොක්ලට් නිෂ්පාදනයන් සිදු කර ඇය ශ්‍රි ලාංකේයන්ට චොක්ලට් මඟින් නවතම අත්දැකීමක් ලබා දී ඇත.

ශ්‍රි ලංකාවේ පිහිටා තිබෙන පැරණිතම චොක්ලට් නිෂ්පාදන ආයතන අතරින් එකක් වන කැන්ඩොස් ආයතනය වර්තමානයේ දීත් ස්ථාවරව පවතියි. චොක්ලට් නිෂ්පාදන ක්ෂේත්‍ර යේ අත්දැකීම් බහුල ඔවුන් ඉදිරි කාලයේදීත් තමන්ගේ නවතම නිෂ්පාදන තම පාරිභෝගිකයා වෙත පුදකිරීමට බලාපොරොත්තු වේ.

1965 වර්ෂයේදී තමයි ඉස්සෙල්ලම කැන්ඩොස් වොක්ලට් නිෂ්පාදනය ආරම්භ කළේ. අද වෙන කොට සේවකයෝ එක් දහස් තුන්සීයයයක් විතර ඉන්නවා. අපේ නිෂ්පාදනවල තියෙන විශේෂත්වය තමයි අපි කෘත්‍රිම රසකාරක, රසායනික ද්‍රව්‍ය අඩංගු කරන්නේ නෑ. ඒ හින්දා අපේ චොක්ලට්වලට කම්පේන්ස් වැඩියි. ඒ අපේ චොක්ලට් නිෂ්පාදන දීර්ඝ කාලයක් කල්තබා ගන්න බැහැ. ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරලා මිනිසුන්ගේ සෞඛයට හිතකර ලෙස චොක්ලට් නිෂ්පාදනය කරන්න තමයි අපිට අවශ්‍ය. අපේ චොක්ලට්වල කිසිදු අහිතකර රසායනික ද්‍රව්‍යක් භාවිතා කරන්නේ නැති හින්දා අපිට චොක්ලට් දිගු කලක් තබා ගන්න බැහැ. ඒ හින්දා අපිට ලොකු profit එකක් බලාපොරොත්තු වෙන්න බැහැ. අපි හිතන්නේ මිනිසුන්ගේ සෞඛයට හිතකර ගුණාත්මක රසවත් නිෂ්පාදනයක් ලබා දීම ගැන පමණයි.අපි ළඟ කැන්ඩොස් චොක්ලට් නිෂ්පාදන වර්ග 200 කට අධික ප්‍රමාණයක් තියනවා. ඒ සෑම එකකක්ම ස්වාභාවික අමුද්‍රව්‍ය ඇතුළත් කරලා තමයි සකසන්නේ.එදා ඉදන් අද වෙනකම්ම අපි ස්වාභාවිකත්වයට මුල් තැන දුන්නා මිසක් අධික ලාභයක් ගැන හිතුවේ නෑ. කැන්ඩොස් චොක්ලට් ආයතනයේ මානව සම්පත් අංශයේ ප්‍රධාන නිළධාරියකු වන නිරංජන් ෆොන්සේකා එලෙස අදහස් ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාවේ පිහිටි වසර ගණනාවක් පැරණි චොක්ලට් නිෂ්පාදන කර්මාන්තශාලා අතරින් ප්‍රමුඛ පෙළ ගන්නා කැන්ඩොස් ආයතනය වර්තමානයේ දීත් මිනිස් සිත්සතන්හි නොමැකෙන මතකයක් වී ඇත්තේ කැන්ඩොස් චොක්ලට්වල පවතින ගුණාත්මකබව නිසා ය.

මීට අවුරුදු 04 කට ඉස්සෙල්ලා තමයි අපේ treats n stuff පටන්ගත්තේ . මගේ බිරිඳ ගෙදර විවිධ කෑම ජාති සැකසුවා. පැණි රස කෑම වර්ග බේක් කරා, එයා ඒ හැම දෙයක් ම කරේ විනෝදාංශයක් විඳිහට. ඊට පස්සේ චොක්ලට් බ්‍රවුනීස් හදන්න පුළුවන් වුණා. විනෝදාංශයක් විදිහට කරන එක නවත්තලා ව්‍යාපාරයක් පටන් ගන්න වුණේ කියලා හිතුණා. දැන් විවිධ වර්ගයේ චොක්ලට් බ්‍රවුනීස් වර්ග අපි පාරිභෝගිකයන්ට ලබා දෙනවා. රු 900 ඉඳන් ඉහළ මිල ගණන්වලට අපි අපේ චොක්ලට් ලබා දෙනවා. අපිත් එක්ක වැඩ කරනවා හත් දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් . අපි තමයි මුලින් ම චොක්ලට් නිෂ්පාදන ඩිලිවරි කරන ක්‍රමවේදය හදුන්වා දුන්නේ. අපිට හතර දෙනෙක් ඉන්නවා චොක්ලට් බවුනීස් ඩිලිවරි කරන්න.

ඒ වගේ ම අපි අපේ චොක්ලට් මිලදී ගන්න පාරිභෝගිකයින්ට mobile app එකක් හදුන්වා දීලා තියනවා. ඇත්තටම අපි නවීන තාක්ෂණයත් එක්ක තමයි අපේ බිස්නස් එක කරන්නේ. ඒක අපිට ගොඩාක් පහසුයි. ඕනෑම තැනක ඉන්න පාරිභොගිකයන්ට අපිත් එක්ක ක්ෂණිකව සම්බන්ධ වෙලා චොක්ලට් නිෂ්පාදනවල රස බලන්න පුළුවන්.

අපි මේ වගේ චොක්ලට් ව්‍යාපාරයක් ආරම්භ කරපු මුල් කාලයේ දීත් අපිට හොද demand එකක් තිබුණා. එදා තිබුණ colity එක අදටත් තියෙන හින්දා අපිත් එක්ක පාරිභෝගික පිරිසක් එකතුවෙලා ඉන්නවා. අපි සල්ලි හොයන්නම විතරක් ව්‍යාපාරය පවත්වා ගෙන යන්නේ නැහැ. අපි අපේ colity එක maintain කරගෙන යන හින්දා අදටත් අපි ස්ථාවරව ඉන්නවා.එලෙස තම අදහස් ප්‍රකාශ කළේ treats n stuffහි හිමිකාරිණිය වන සහිදා නසාර්ගේ ස්වාමීයා ය. මොවුන් තම චොක්ලට් ව්‍යාපාරය පවත්වා ගෙන යන්නේ නවතම තාක්ෂණය පරිහරණය කර ගනිමින් morden food culture වර්තමාන ජනයාට හදුන්වා දෙමිනි.

නුතනත්වය හමුවේ විවිධ ස්වරූපයන්ගෙන් නිපදවන චොක්ලට් , පාරිභෝගිකයන්ගේ හද පැහැර ගෙන ඇති අන්දම අපුරු ය. එක් එක් පුද්ගලයන්ට අනනන්‍ය වු ආකාරයට සකසන චොක්ලට්වලට වර්තමානයේ දී විදේශීය චොක්ලට් සූප ශාස්ත්‍රයන්හි ආභාසය ලබා ඇති අන්දම සැබවින් ම ආශ්චර්යජනකය.සැබවින් ම කුඩා කළ අප ආශාවෙන් කියවු “චාලි ඇන්ඩ් චොක්ලට් ෆැක්ටරි“ පොතෙහි චොක්ලට් ෆැන්ටසි සිහිනය අද එන්න එන්නම සත්‍යක් බවට පරිවර්තනය වී ඇති බව නිර්මාණශීලි චොක්ලට් නිෂ්පාදන කදිමට සාක්ෂි දරයි. 

 

අදහස් 1ක් ඇත

puluwannam lokayema honda chokolett eka nispadanaya karanna balanna! apita puluwan!

නව අදහස දක්වන්න