"ගවමස් බුදින්නන් මරා දැමීම ඉන්දියානු සාරධර්ම වැනසීමක්" | දිනමිණ

"ගවමස් බුදින්නන් මරා දැමීම ඉන්දියානු සාරධර්ම වැනසීමක්"

අන් අයගේ මත සහ ඔවුන්ගේ සංස්කෘතිකාංග නොඉවසීම නිසා සිදු කෙරෙන ක්‍රියා වැඩි වීමත් සමඟ ඉන්දියානු මුස්ලිම් ප්‍රජාව අතර අසහනකාරී තත්වයක් උද්ගතව පවතින බවට පදවියෙන් සමු ගන්නා උප ජනාධිපති හමීඩ් අන්සාරි අනතුරු ඇඟවීමක් කරයි.

පිට පිට දෙවතාවක් ඉන්දියාවේ උප ජනාධිපති පදවියට පත් හමීඩ් අන්සාරිගේ දෙවන පස් අවුරුදු නිල කාලයේ අන්තිම දවස (අගෝස්තු 10) අදයි.

ඉවත්ව යන ඉන්දියානු උප ජනාධිපතිවරයා තව දුරටත් අදහස් දක්වමින්, ගවමස් බුදින බවට චෝදනා කරමින් සන්නද්ධ පුද්ගලයන් විසින් මුස්ලිම් ජනයා හිතුමතයේ මරා දමනු ලැබීම ඉන්දියානු සාරධර්ම විනාශ කර දැමීමක් ලෙස විග්‍රහ කළේය.

එවැනි ඇතැම් පහරදීම් සම්බන්ධයෙන් චෝදනා කෙරෙන්නේ හින්දු අන්තවාදී කණ්ඩායම් වලටයි.

ගවයා හින්දු බැතිමතුන් අතර පූජනීයත්වයෙන් සැලකුම් ලබන අතර ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල ගව ඝාතනය නීතියෙන් තහනම් කරනු ලැබ ඇත.

ඉන්දියාව තුළ කෝටි දාහතකට අධික මුස්ලිම් ප්‍රජාවක් ජීවත් වෙති.පදවියෙන් ඉවත්ව යන උප ජනාධිපති හමීඩ් අන්සාරි හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකි.

ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයට සහයෝගය දක්වන ඔහු උප ජනාධිපතිවරයා පදවියට පත් වුණේ එම පක්ෂයේ ආධාරය ඇතිවයි

2014 මහ මැතිවරණයෙන් අගමැති නරේන්ද්‍ර මෝඩි නායකත්වය දෙන හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය ජය ගැනීමෙන් අනතුරුව හින්දු අන්තවාදය තවත් ශක්තිමත් වූ බව ඇතැම් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(උපුටා ගැනීම - බීබීසී පුවත් සේවය)

නව අදහස දක්වන්න