දුෂ්මන්ත චමීර කණ්ඩායමට එක් වෙයි | දිනමිණ

දුෂ්මන්ත චමීර කණ්ඩායමට එක් වෙයි

ෆවුස් මොහොමඩ්

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව හෙට (12) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට කලෙකට පසුව වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට අවස්ථාව උදාවී තිබේ. අවසන් වරට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දකුණු අප්‍රිකාවට එරෙහිව පෝර්ට් එලිසබෙත් නුවර පැවැති ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ 25 හැවිරිදි මේ දකුණත් වේගපන්දු යවන්නා අනතුරුව ආබාධයකට ලක්වීමෙන් මාස 6ක කාලයක් කණ්ඩායමෙන් ඉවත්වී සිටියේය. පසුගියදා නිමාවට පත්වූ සිම්බාබ්වේ සංචාරයේ පැවැති එක්දින තරගාවලිය සඳහා ඔහු නැවත කණ්ඩායමට එක්වූවත් එම සංචාරයේ පැවැති එකම ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදානොවිය.

හෙට තරගය සඳහා නම් කර ඇති ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට දුෂ්මන්ත සමග විශ්ව ප්‍රනාන්දු, ළහිරු ගමගේ සහ ළහිරු කුමාර ඇතුළත්වී ඇතැයි වාර්තා වෙයි. මීට අමතරව ඩිල්රුවන් පෙරේරා, මලින්ද පුෂ්පකුමාර සහ ලක්ෂාන් සඳකැන් දඟපන්දු යවන්නන් ලෙස සංචිතයට එක්වී සිටිති.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ඇන්ජෙලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ළහිරු ගමගේ, ඩිල්රුවන් පෙරේරා, මලින්ද පුෂ්පකුමාර සහ ලක්ෂාන් සඳකැන් ඇතුළත් වෙති. 

නව අදහස දක්වන්න