‘සංගා’ ජැමෙයිකා පිලට ජය ගෙනෙයි | දිනමිණ

‘සංගා’ ජැමෙයිකා පිලට ජය ගෙනෙයි

කුමාර් සංගක්කාරගේ පිති හරඹය හේතුවෙන් කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පෙරේදා පැවැති 7වැනි තරගයෙන් ට්‍රිනිබැගෝ නයිඩ් රයිඩර්ස් පිල පරදවා කඩුලු 4ක ජයක් අත්කර ගැනීමට ජැමෙයිකා ටලාවාස් පිල සමත් විය.

තරග 3කට සහභාගිවූ ජැමෙයිකා පිල ලබාගත් දෙවැනි ජයග්‍රහණය මෙයයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ජැමෙයිකා පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ට්‍රිනිබැගෝ පිල ලකුණු 147කට දැවී ගිය අතර ජයග්‍රාහී ඉලක්කය පන්දු 4ක් ඉතිරිව තිබියදී සපුරාගත් ජැමෙයිකා පිලට අහිමිවූයේ කඩුලු 6ක් පමණි.

ජැමෙයිකා පිල ජයග්‍රහණය කරා ගෙන යමින් සාර්ථක ආරම්භයක් ලබාදුන් නායක කුමාර් සංගක්කාර හතරේ පහර 7ක් සමගින් පන්දු 41කදී ලකුණු 47ක් රැස් කළේය. ඔහු ලෙන්ඩ්ල් සීමන්ස් (38) සමග එක්ව පළමු කඩුල්ල ලකුණු 61ක් එක් කළේය.

ජොනතන් ෆෝ ලකුණු 19ක් හා රොව්මන් පවෙල් ලකුණු 18ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී සුනිල් නරේන් හා කෙවින් කූපර් කඩුලු 2 බැගින් දවා ගත්හ.

පන්දු 25කදී හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 41ක් රැස්කළ කොලින් මුන්රෝ පළමුව පන්දුවට පහරදුන් ට්‍රිනිබැගෝ ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. ඩැරන් බ්‍රාවෝ ලකුණු 33ක් හා සුනිල් නරේන් ලකුණු 23ක් ඉනිමට එක් කළ අතර පන්දු යැවීමේදී කෙස්රික් විලියම්ස් හා ඔඩියන් ස්මිත් කඩුලු 3 බැගින්ද ක්‍රිස්මර් සැන්ටොකි කඩුලු 2ක්ද බිඳ දැමූහ.

 

නව අදහස දක්වන්න