තහනම් පන්න භාවිතයෙන් මත්ස්‍ය සම්පත අඩුවීමේ අවදානමක් | දිනමිණ

තහනම් පන්න භාවිතයෙන් මත්ස්‍ය සම්පත අඩුවීමේ අවදානමක්

ත්‍රිකුණාමලය විශේෂ ඒ. ටි. එම්. ගුණානන්ද

ත්‍රිකුණාමල මුහුදේ මත්ස්‍ය සම්පත නෙළා ගැනීමට නීත්‍යානුකූල ක්‍රම තිබුනද සුළු ධීවර පිරිසක් තහනම් පන්න ක්‍රම භාවිතා කිරීම නිසා ඉතා කෙටි කාලයක් ඇතුළත මත්ස්‍ය සම්පත නැතිවී යන බව ධීවර ජනතාව කියති.

ලයිට් කෝස්, ඩයිනමයිට් යෙදීම , හැඹිලි දැල් යෙදීම වැනි නීත්‍යානුකූල නොවන පන්න ක්‍රම නිසා පාරම්පරික ධීවරයාගේ ආර්ථිකය දිනෙන් දින පහළට ඇද වැටෙන බව කියන ධීවරයෝ බලධාරින් යම් ප්‍රමාණයකින් වැටලීම් කලද තහනම් පන්න ක්‍රම මගින් මසුන් ඇල්ලීමේ අඩුවක් දක්නට නැතැයි කියති.

මා දැල් කර්මාන්තයේ මන්නඩි රාල කෙනකු වන ඩබ්ලිව්.ටී.එස්. ප්‍රනාන්දු මහතා -

මේ විනාශකාරි තත්ත්වය වහා නැවැත්විය යුතු බව කියයි. විශේෂයෙන් ඩයිනමයිට් යොදා මසුන් ඇල්ලීම ඉතා භායනකයි. ඩයිනමයිට් ගැහැව්වාම පුංචිම මාළු පැටියත් මැරෙනවා. ඉස්සර වගේ නොවේ දැන් අල්ලන්න මාළු නැහැ. අවුරු 50ක් මුහුදු ගිය මම එදා දැකපු එදා අල්ලපු මාළු අද නැහැ.මේ නිසා මාදැල් කර්මාන්තයත් බිඳ වැටිලා. මුහුදට වින කරන මේ තහනම් පන්න කාරයෝ අල්ලන් ඇවිත් බුරුලක් නොදි නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම නැතිව මෙහෙම ගියොත් අපට ඉස්සරහට හිඟා කන්නයි වෙන්නේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ධීවර සම්මේලනයේ සභාපති පියල් හේමසිරි මහතා -

මේ වැඩේ දිගටම කරන්නේ පුල්මුඩේ, කින්නියා මූතුර් හා කුච්චවේලි ප්‍රදේශවල ඉන්න ධීවරයන් පිරිසක්. අපි උද්ඝෝෂණය කළාම නිලධාරින් මෙයාලව අල්ලනවා. එතකොට ප්‍රදේශයේ ඉන්න ඇතැම් දේශපාලඥයන් නිලධාරින්ට බලපෑම් කරනවා. ඒනිසා ත්‍රිකුණාමලායේ නීතිය ක්‍රියාත්මක කරන්න බැරි තත්වයකට පත්වෙලා.

වැටලීම් සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් අධ්‍යක්ෂ ඊ.එම්.සි.බෝයගොඩ මහතා පැවසුවේ තහනම් පන්න ක්‍රම සම්බන්ධයෙන් සිදුකරන වැටලිම් වලට දේශපාලඥයන් ගෙන් මෙතෙක් බාධා එල්ල වී නැති බවය. අපි මේ වසරේ විතරක් තහනම් පන්න ක්‍රම භාවිතා කිරිම් වලට නඩු 40ක් ගොනු කරලා තියෙනවා.අපිට ගැටලුවකට තියෙන්නේ මුහුදට ගිහිල්ලා තහනම් ක්‍රම අල්ලන්න තියෙන අපහසුවයි. එයටත් අපි නිරන්තරව නාවික හමුදාවෙත් සහාය ගන්නවා. පොලිසියත් නීතිය ක්‍රියාත්මක කරලා සමහර අයට නඩු දාලා තියනවා. අපි වැටලිම් නතර කරලා නැහැ. දිගටම ක්‍රියාත්මක කරවා.

නව අදහස දක්වන්න