දකුණු පළාතේ විදුහල්පති ගුරු ඇගයීම් සම්මාන උළෙලක් | දිනමිණ

දකුණු පළාතේ විදුහල්පති ගුරු ඇගයීම් සම්මාන උළෙලක්

තිහගොඩ විශේෂ කැලුම් බෝධිමාන

දකුණේ අධ්‍යපනය වෙනුවෙන් විශිෂ්ටතම සේවයක් සිදු කරනු ලැබූ විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට ඇගයීම් සම්මාන ප්‍රදානෝත්සවයක් පසුගියදා ඇල්පිටිය ආනන්ද මහා විද්‍යාලයේදී දකුණු පළාත් අධ්‍යාපන ඇමැති චන්දිමා රාසපුත්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී විදුහල්පතිවරුන් 52ක් සහ ගුරුවරුන් 631දෙනෙක් ඇගයීම් සම්මාන ලැබූ අතර 2016 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ A සාමාර්ථ 9ක් ලබාගත් සිසු සිසුවියන් 23ක් ද ඇගයීමට පාත්‍ර වූහ.

දකුණු පළාත් අධ්‍යාපන ඇමැති චන්දිමා රාසපුත්‍ර මහතා කතා කරමින් මෙසේ පැවැසීය.

දකුණු පළාත් ගුරුවරුන් සඳහා මෙතෙක් කල් කවුරුත් නොකරපු කවදාවත් නොහිතපු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වනවා. මට බැරිවෙයි පළාත් අධ්‍යාපන ඇමැතිවරයා විදියට රටේ ගුරු ව්‍යවස්ථාව වෙනස් කරන්න. හැබැයි ඔබත් එකතු කරගෙන රටේ අධ්‍යාපනයේ පෙරළියක් ඇති කරන්නට අවශ්‍ය මෙහෙයුම කරන බවත් මේ අවස්ථාවේ දී කියනවා. මොකද දකුණ එකට ගේන්න ඔබ කරන කාර්යය මම මැරෙන මොහොතෙත් මතක් වෙයි මට.

එන මාස දෙක තුන ඇතුලත සුවිශේෂී කාරණා ගණනාවක් අපේ පළාත් සභාවටත් ඉදිරිපත් කරලා ඔබේ ඒ අවශ්‍යතා සපුරන්න උත්සාහ දරනවා. මම ගිය අවුරුද්දේ පළාතේ ගුරුවරුන් ඇගයීමේ උත්සව වෙලාවෙදී කිවුවා නිල ඇඳුම් සඳහා දීමනාවක් ලබා දෙනවා කියල. මම ඒක මෙවර කොහොමහරි ලබා දෙන්න කටයුතු කරනවා.

මේ අවස්ථාව සඳහා දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල, දකුණු පළාත් සභාවේ අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රී චම්ලි විතානාච්චි, දකුණු පළාත් සභා මන්ත්‍රී ජයන්ත ජයවීර,දකුණු පළාත් සභා මන්ත්‍රී ජයසිරි නානායක්කාර, දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් දිසානායක, ඇල්පිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක මනෝජ් පද්මතිලක, දකුණු පළාත් ප්‍රාථමික විෂය අධ්‍යක්ෂිකා චිත්‍රා බමුණුසිංහ, ඇල්පිටිය ආනන්ද මහා විද්‍යාලයේ විදුහල්පති කෝකිලා මෙන්ඩිස් යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

නව අදහස දක්වන්න