මහවැලි ජනපදිකයන් ලක්ෂයකට රන් දියවර ඔප්පු | දිනමිණ

මහවැලි ජනපදිකයන් ලක්ෂයකට රන් දියවර ඔප්පු

මේ වසර නිමවීමට ප්‍රථම මහවැලි ජනපදිකයින් ලක්ෂයකට රන්දියවර ඉඩම් ඔප්පු පිරිනැමීමේ ඉලක්කගත වැඩපිළිවෙළේ අදියර දෙකක් අද (11) හෙටත් (12) උඩවල හා තඹුත්තේගම දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ඉදිකළ කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, මාදුරුඔය සහ මොරගහකන්ද පංච මහා ජලාශ යටතේ පිබිදුනු මහවැලි ජනපදිකයින් දසලක්ෂයකගේ ජීවිත හා බැඳුණු මහවැලි වාරි සංස්කෘතිය පිළිබඳ ලියැවෙන ලිපියකි මේ.

ශ්‍රී ලංකා මහවැලි සංවර්ධන අධිකාරිය 1979 අංක 23 දරන පනත යටතේ ස්ථාපිත කළ අතර එමඟින් මහවැලි කලාප 17 ක් දියුණු කිරීම ඉලක්ක කැරිණි. මහවැලි මහා සංවර්ධන සැලැස්මෙන් කලාප 13 කුත්, විශේෂ කලාප 04 ක් මීට ඇතුළත් විය. දැනට මෙරට මහවැලි කලාප 10 ක්, කොට්ඨාස කාර්යාල 47 ක් සහ කොට්ඨාස හා බැඳුණු ඒකක 233 ක් ක්‍රියාත්මකය.

මහවැලි කලාප වනුයේ වැලිකන්ද (B කලාපය), දෙහිඅත්තකණ්ඩිය (C කලාපය), මැදිරිගිරිය, (D කලාපය), බකමූණ (G කලාපය), තඹුත්තේගම (H කලාපය), වැලිඔය (L කලාපය), රඹකැන්ඔය, හුරුළුවැව (දඹුල්ල) සහ වික්ටෝරියා හා කොත්මලේ ආශ්‍රිත ප්‍රදේශ වේ.

ගොවි පවුල් දෙලක්ෂ හතළිස්දහසක් දෙනා සහ ලක්ෂ 10 ක ජනතාවක් ජීවත්වෙන මේ කලාපවල ආර්ථික, මානව උපයෝගිතා අංශ දියුණුකොට ඒ ප්‍රදේශ සශ්‍රීක කිරීම රජයේ දැක්මයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම බහුකාර්ය යෝජනා ක්‍රමය වූයේ මහවැලි සංවර්ධන ව්‍යාපාරයයි. මෙරට දේශපාලන තලයේ සෑහෙන දුරට කතාබහට ලක්වූ විශාලතම සංවර්ධන ව්‍යාපාරය වූ 1970 සමගි පෙරමුණ රජය යටතේ ආරම්භ කළ 30 අවුරුදු සංවර්ධන වැඩපිළිවෙළ වූ මෙය, 1977 බලයට පත් එක්සත් ජාතික පක්ෂයේ රජය කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළක් බවට පත්කරමින් සය වසරක් තුළ මේ ව්‍යාපාරය නිම කිරීමට කටයුතු කළේය.

හිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් සපයනු ලැබූ නායකත්වය යටතේ මේ කඩිනම් මහවැලි ව්‍යාපාරය මෙහෙයවීමේ භාරදූර වගකීම පැවැරුණේ මහවැලි සංවර්ධන ඇමැති ගාමිණී දිසානායක මහතාටය.

මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ තනිකරම බහුකාර්ය යෝජනා ක්‍රමයක් ම විය. මුලින්ම මහවැලි ගඟ පොල්ගොල්ල යන ස්ථානයෙන් වේල්ලක් බැඳ හරවා තිබේ. ඊට පසු වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ හරස් කර විශාල වේලි හා විදුලි බලාගාර ඉදිකර තිබේ.

මීට අමතරව මහවැලි ගඟේ අතු ගංගාවක් වන කොත්මලේ ඔය හරස්කර කොත්මලේ ජලාශය ඉදිකර තිබේ. මහවැලි ගඟ මිනිපේ හැරවුමත්, අඹන් ගඟ හරස්කොට ඉදිකොට ඇති බෝවතැන්න ජලාශය මගින් අඹන්ගඟේ ඇළහැර හැරවුමත් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ අතිශය වැදගත් වාරිකර්මාන්ත විය.

වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, කොත්මලේ, බෝවතැන්න, පොල්ගොල්ල යන මහවැලි විදුලි බලාගාර පද්ධතියෙන් ම ලැබෙන මුළු විදුලි ධාරිතාව මෙගාවොට් 667කි. කොත්මලේ ජලාශයේ විදුලි බලාගාරයේ විදුලි ධාරිතාවය මෙගාවොට් 201කි. වික්ටෝරියා විදුලි ධාරිතාවය මෙගාවොට් 210කි.

මහවැලි ව්‍යාපාරයෙන් ජල විදුලිය නිපදවීම පමණක් ඉලක්ක කොට නැත. ගොවිතැනට වාරි ජලය මනාව බෙදාහැරීම ද මෙහි එක් ප්‍රබල අරමුණක් වී තිබේ. ඒ අනුව මහවැලි කලාප ජාලය පුරාවටම නව ගොවි ජනපද බිහි කොට, මහවැලි ජනපදිකයින් පදිංචිකොට අලුත් කෘෂිකර්මාන්තකරණයක් ඇති කළේය. ඒ අනුව අප රටේ මූළු වී අස්වැන්නෙන් සියයට 20ක් පමණ මේ මහවැලි කලාපවලින්ම අස්වැන්න ලෙස ලබා ගැනීමට හැකිවී තිබේ.

මහවැලි ව්‍යාපාරයට සම්බන්ධ ගොවිජනතාව යැපීම් කෘෂිකර්මයෙන් මිදී වාණිජ කෘෂිකර්මය වෙත යොමු කිරීම මෙහි ආරම්භක අරමුණකි. ඒ අනුව යමින් කඩිනම් මහවැලි ව්‍යාපාරයේ අලුත් ඉඩම් ලැබූ ගොවි පවුල්වල පිරිස් උනන්දුවෙන් ගොවිතැනේ නියැළුණහ. අලුතින්ම ආදර්ශ ගොවිපළ ආරම්භ කිරීම, මහවැලි ජලාශ ආශ්‍රිතව සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, ඒ යටතේ වික්ටෝරියා, කොත්මලේ, රන්දෙණිගල හා මාදුරුඔය ජලාශයන්හි බෝට්ටු සවාරි සංවිධානය කිරීම ඇතුළු තවත් ක්‍රියාකාරකම් ඔස්සේ ගොවියන්ගේ ආදායම් තත්ත්වය, ජීවන තත්ත්වය ඉහළට ඔසවා තැබීමට පියවර ගෙන ඇත.

මහවැලි වාරි පද්ධතිය ආශ්‍රයෙන් රටේ නව වාරි සංස්කෘතියක් හඳුන්වා දී, ගොවිතැනින් රට ස්වයංපෝෂිත කිරීම ඇරඹිණි. අප වාරි ජල කළමනාකරණයට පියවර ගතයුතුව ඇත. එසේ කරන්නට අපට සිදුවන්නේ අහඹු ලෙස නොවේ. වසර 2025 වනවිට ලෝක ජනගහනයෙන් තුනෙන් දෙපංගුවකට ජීවත්වන්නට සිදුවන්නේ බැරෑරුම් ජල හිඟයකිනි.

අද ලෝකයේ කෝටි 110කට ‍බොන්නට ජලය නැත. කෝටි 240කට පමණ අවශ්‍ය ප්‍රමාණයට සෞඛ්‍ය පහසුකම් නැත. බීමට පවිත්‍ර ජලය නැතිකම, සෞඛ්‍ය පහසුකම් අඩුකම, ඌණ සංවර්ධිත රටවල ලක්ෂණයි. අප එම තත්ත්වයෙන් මිදිය යුතු ඉලක්කයන් සහිත රටකි.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොවි පුතෙකි. එතුමා ගොවි ජනපදයකින් බිහිවූ ප්‍රථම ජනාධිපතිතුමන්ය. ගොවිජන පදිකයන්ගේ සැබෑ උවමනාවක්, අපේක්ෂාවක් එතුමාට තරම් හොඳින් දැනෙන, හැඟෙන වෙනත් නායකයෙක් රටේ නොසිටී. ඒ නිසාම එතුමා බලයට පත්වූ පළමු පැයේම මහවැලි ජනපදිකයන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීමට ක්‍රියා කෙළේය.

ඒ අනුව මහවැලි ජනපදිකයන්ට මෙතෙක් කලක් තම ඉඩමට විධිමත් ඔප්පුවක් නොමැතිකමින් දුක් විඳි දුක ඉදිරියට ගෙනයෑමට තිත තැබීමට එතුමා ක්‍රියා කෙළේය. එහි ප්‍රතිඵලයක් ලෙස කඩිනමින් මහවැලි ජනපදිකයින්ට තම ඉඩමට නිරවුල් ඉඩම් ඔප්පු ලබාදීම ඇරඹිණි.

මහවැලි ව්‍යාපාරය යටතේ ජනාවාසකරණය වැඩ කටයුතු ආරම්භ වූයේ 1970 දශකයේදීය. මහවැලි “එච්” කලාපයෙන් එය ඇරඹිණි. එතැන් සිට මේ දක්වා මහවැලි ව්‍යාපාරය යටතේ පදිංචිකරවන ලද පවුල් සංඛ්‍යාව ලක්ෂ ගණනකි. පුද්ගලයින් සංඛ්‍යාව ඊට වඩා විශාලය.

මහවැලි ජනපදිකයන්ට තම පදිංචි ඉඩමේ හිමිකම් ඔප්පු නොලැබීම නිසා ගැටලු හා ප්‍රශ්න රාශියකට මුහුණදීමට සිදුවිණි. මිනින්දෝරු හිඟය නිසා ඉඩම් මැනීමේ කටයුතුවල ප්‍රමාදය මෙයට හේතුවී තිබිණි. නමුත් ! කඩිනම් හා විශේෂ ක්‍රමවේදයක් ඔස්සේ ඉඩම් මැන ඔප්පුලාභීන්ට සතුට, ප්‍රීතිය දැනෙන ලෙස අද ඉඩම් ඔප්පු 5000ක් උඩවලවේදී බෙදා දේ. හෙට තඹුත්තේගමදී ද ඔප්පු 5000ක් බෙදා දේ. දිගනදි ලබන 18 වැනිදා ඔප්පු 2000ක් ජනතාවට පිරිනැමේ.

මහවැලි ජලය ලැබූ ජනතාවගේ දෙවැනි, තුන්වැනි පරම්පරා‍වල මූලික ගැටලුවලට විසඳුම් ලබාදෙන අතර, ඔවුන්ගේ මානසික සුවය ඉහළ නංවන මේ ඔප්පු පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින්ම සිදුවීම ද විශේෂයක්ම වනු ඇත. ඒ මන්ද එතුමා ද ගොවි ජනපදලාභියෙකුගේ දරුවෙකු ලෙස මෙහි අගය වඩාත් හොඳින්ම දන්නා නිසාය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වන්නේ මේ රටේ සැම පුරවැසියකුටම ඉඩමක හිමිකම, නිවාසක අයිතිය ලබාදීමටයි. එය මැතිවරණ පොරොන්දුවකි. මේ ඉටු කරන්නේ ඒ වටිනාම පොරොන්දුවක් ඉටුකිරීමකි.

එය පමණක් නොව, කඩිනම් මහවැලි ව්‍යාපාරයේ මෙතෙක් ක්‍රියාත්මක කිරීම ප්‍රමාදවූ මොරගහකන්ද ජලාශයේ, කළුගඟ ව්‍යාපෘතියේ ඉදිකිරීම් ද මේ නායක දෙදෙනාගේ මඟපෙන්වීම මත මේ වන විට සිදු කැරෙන බව අප සිහිපත් කළ යුතු කරුණකි.

වත්මන් රජය යටතේ මොරගහකන්ද, උමාඔය හා යාන් ඔය වැනි උතුරු, නැ‍ඟෙනහිර, වයඹ, ඌව සහ දකුණු පළාත්වල ගොවි පවුල්වලට ප්‍රතිලාභ ලැබෙන බහු කාර්ය වාරිමාර්ග ව්‍යාපෘති ද ක්‍රියාත්මක වේ.

ජල විදුලිය නිපදවීම, ගොවිතැනට ජලය ලබාදීම හා පිරිසිදු පානීය ජලය සැපැයීම ද මේවා යටතේ සිදුවනු ඇත. මේ ව්‍යාපෘති සඳහා වසර 2017ට පමණක් රුපියල් මිලියන 60,000ක් රජය අය වැය 2016න් වෙන්කොට ලබාදී ඇත.

ඊට අමරතව වේලී ආරක්ෂණ හා ජල සම්පත් සැලසුම්කරණය, මිනිපේ වම් ඉවුරු පුනරුත්ථාපනය කිරීම, හැඩඔය, හම්බන්තොට, පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්ක අටකට පිරිසිදු පානීය ජලය සැපැයීමට මේ ව‍සරේ මුදල් වෙන්කොට ඇත.

මේ අන්දමට කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ එතෙක් මෙතෙක් සාර්ථකව ක්‍රියාත්මක වූ වැඩසටහන්වල අග්‍රඵලය අද දවසේ ජනතාව වෙත ලැබීම සිදුවෙමින් පවතී. එය ගොවි පුතුන්ට තම ඉඩමේ නිරවුල් ඔප්පු ලැබීමෙන් මේ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට සහාය ලබාදුන් සැමට ගොවි ජනතාවගේ ප්‍රණාමය හිමිවනු ඇත.

ජයසිරි මුණසිංහ 

නව අදහස දක්වන්න