මධ්‍යම කසළ කළමනාකරණ අධිකාරියක් පිහිටුවන්න අවසර ඉල්ලනවා | දිනමිණ

මධ්‍යම කසළ කළමනාකරණ අධිකාරියක් පිහිටුවන්න අවසර ඉල්ලනවා

චමීර ඇල්ලදෙණිය

කඹ ඇදීමෙන් කසළ අර්බුදය විසඳිය නොහැකි බවත් ප්‍රශ්න හඳුනාගෙන සාකච්ඡා කර රට වෙනුවෙන් විසඳුමකට පැමිණිය යුතු බවත් මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

කසළ ගැටලුව විසඳීමට මධ්‍යම කසළ කළමණාකරණ අධිකාරියක් පිහිටුවා බලතල ලබාදෙන ලෙස ජනපතිගෙන් හා අගමැතිගෙන් ඉල්ලා සිටින බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ කසලින් විදුලිය උපදවන ප්‍රථම ව්‍යාපෘති දෙකේ ඉදිකිරිම් ආරම්භ කිරීම වෙනුවෙන් කෙරවළපිටියේ දී ඊයේ (10) පැවැති උත්සවයට එක්වෙමින් එසේ කී අමැතිවරයා අරුවක්කාලූ සනීපාරක්‍ෂක කසළ රඳවනයටත් සියලු දෙනාගේම සහයෝගය අත්‍යාවශ්‍ය බව ද කීවේය.

මෙම ව්‍යාපෘති දෙක වැඩකටයුතු ආරම්භ කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරි‍සේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, මෙම ව්‍යාපෘතිය වසර දෙකක් තුළ නිම කිරිමට නියමිතය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා

අද දවසේ ඉදිරිපත් කරන විසඳුම ආරම්භ කළ යුතුව තිබුණේ මීට වසර ගණනාවකට පෙරයි. කෙසේ වෙතත් මීට වසර 10 කට පෙර මීතොටමුල්ල ආශ්‍රිතව එයට්කන් ස්පෙන්ස් ආයතනයේ වෙස්ටර්න් පවර් සමාගම මෙවැනි ව්‍යාපෘතියක් ඉදිකිරීමට කටයුතු සැලසුම් කළත් පසුගිය වසර 10 දීම ඊට විවිධ ගැටලු මතු උනා. එම තත්ත්වයන් වටහාගෙන බස්නාහිර පළාතේ කසළ කළමණාකරණය සඳහා තරඟකාරී පදනමෙන්, අන්තර් ජාතික මට්ටමේ ටෙන්ඩර් කැඳවීමෙන් අනතුරුව ඊට ඉදිරිපත් වූ ආයතන 194 ක් අතුරින් ආයතන 03 ක් තෝරාගෙන කසළින් විදුලි උත්පාදනය කිරීමේ වැඩපිළිවෙලට අප යොමු උනා.

අද දවසේ දී එයිට්කන්ස්පෙනස් ආයතනය සහ කේ.සී.එච්.ටී. ලංකා ජෑන්ග් පෞද්ගලික ආයතනය දෙක රුපියල් බිලියන 27 ක් ආයෝජනය කරමින් මෙගා වොට් 20 ක විදුලි බලයක් උත්පාදනය කරන බලාගාර දෙකෙහි ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

කසළින් විදුලිය නිපදවන්න පුළුවන් හැබැයි එය ලාබ උපයන ව්‍යාපාරයක් නෙමෙයි. විදුලි බල අමාත්‍යාංශයේ ඍජු අනුග්‍රහය මීට අත්‍යාවශ්‍යයි. කසළ කිලෝවකින් ලැබෙන්නේ කිලෝජූල් 5000 ක 6000 ක බලශක්තියක්. නමුත් ගල් අඟරු කිලෝවක තිබෙනවා කිලෝ ජූල් 25, 000 කට අධික බලශක්තියක්. ඞීසල් කිලෝවක තිබෙනවා 45, 000කට වඩා වැඩි බලශක්තියක් පවතිනවා. ඒ අනුව පෙනී යන්නේ කසළ බලශක්තිය කිසි විටෙක ලාභ සහ පහසු බලශක්තියක් නොවන බවයි. නමුත් කැළි කසළ ගැටලුව විසඳුමක් වශයෙන් කසලින් විදුලිය උත්පාදනය කිරීමේ ක්‍රියාවලිය අපි අනුගමනය කරනවා. ඊට රජයේ මෙන්ම සියලු මහජනතාවගේ දායකත්වය අත්‍යාවශ්‍යයි. මීට පෙරත් මෙවැනි ව්‍යාපෘති රටේ ආරම්භ උනා. හැබැයි ඒවා අතරමග නතර කෙරුණා. මේ ව්‍යාපෘති දෙක කිසිම විටෙක කිසිම හේතුවක් මත අඩපන නොවී අවසානය දක්වා ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කරනවා. යම් මට්ටමකින් පුද්ගලික අංශය අසාර්ථක උනොත් අපි අමාත්‍යාංශය මට්ටමින් මෙය පවත්වාගෙන යනවා. රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ පෞද්ගලික ආයතන දෙකක් විසින් රුපියල් බිලියන 27 ක ආයෝජනයකින් මෙගාවොට් 20 ක්, කසළින් විදුලිය උපදවන ශ්‍රී ලංකාවේ පළමු ව්‍යාපෘති දෙකෙහි ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවයට සංචාරක හා ක්‍රිස්ත්‍රියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රජිත් සියඹලාපිටිය, බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අගලියවන්න, නියෝජ්‍ය ඇමැතිවරුන් වන නිමල් ලන්සා, ඩුලිප් විජේසේකර පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන අමාත්‍යාංශ ලේකම් නිහාල් රූපසිංහ මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

නව අදහස දක්වන්න