මට සඟවන්න කිසිවක් නෑ | දිනමිණ

මට සඟවන්න කිසිවක් නෑ

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
මහින්ද අලුත්ගෙදර

දේශපාලන බලලෝබී කුමන්ත්‍රණකරුවන් පදනම් විරහිත චෝදනා එල්ල කරමින් යහපාලන ආණ්ඩුව විනාශ කිරීමට කුමන්ත්‍රණය කරන බවත් එම ක්‍රියාදාමයට කිසිසේත් ඉඩ නොතබන බවත් රවි කරුණානායක මහතා විදේශ කටයුතු ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වෙමින් පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) පැවසීය.

නීති විරෝධි කිසිවක් කර නොමැති තමන්ට සැඟවීමට කිසිවක් නොමැති බැවින් නීතියට ඉඩ සලසමින් නව දේශපාලන සංස්කෘතියක් සඳහා මඟ පාදමින් සිය ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වන බවත් හෙතෙම පැවසීය.

නීති විරෝධි ‍ලෙස නිවාස ලබා ගැනීම තමන් කිසිසේත් කර නොමැති බව අවධාරණය කළ කරුණානායක මහතා තමන් සමඟ සමීප ඇසුරක් පැවැත් වූ ලලිත් ඇතුළත් මුදලි මහතාටත් නැව් ගිලපු ඇමති ලෙස ‍එදා චෝදනා කළ බවත් සිහිපත් කළේය.

නීතිපති දෙපාර්තමේන්තුව තමන්ට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වනවා සේම මූල්‍ය අපරාධ කොට්ඨාසය පසුගිය රජයේ ඇතැම් පුද්ගලයන්ට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ෆයිල් 87 සම්බන්ධයෙන් ද පරීක්ෂණ පැවැත්විය යුතු බවත් කරුණානායක මහතා පැවසීය.

ජනාධිපති කොමිසමේ විනිසුරුවන් ඉදිරියේ නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතීඥවරුන් ආවේගශීලිව ප්‍රශ්න කළ හැකි වාතාවරණයක් මීට පෙර නොතිබූ බවත් තමන්ගේ පරීක්ෂණ මෙන්ම පසුගිය රජයේ පරීක්ෂණ ද කඩිනමින් සිදුවිය යුතු බවත් කරුණානායක මහතා සඳහන් කළේය.

තමා ගන්නා තීරණය සම්බන්ධයෙන් කිසි විටෙකත් කම්පා නොවන බවත් එය ඉතා ආඩම්බරයෙන් ගන්නා ලද තීරණයක් බවත් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඇමැතිවරයා සඳහන් ක‍ළේය.

කිසි විටෙකත් දේශපාලනයෙන් මුදල් හම්බ නොකළ තමන් තම ව්‍යාපාර සඳහා කිසිඳු අවස්ථාවක දේශපාලනය සම්බන්ධ කර නොගත් බවත් ඇමැතිවරයා අවධාරණය කළේය. පැය 24ක කාලය පුරා ජනතාවට සේවය කිරීමට අමාත්‍යධූරය පාවිච්චි කළ බව ද රවී කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් තමාට එල්ල වී ඇති චෝදනා හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය හෝ යහපාලන ආණ්ඩුව විනාශ කිරීමට බලලෝබී ක්‍රමන්ත්‍රණකරුවන්ට ඉඩ නොදෙන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය. 

නව අදහස දක්වන්න