කලාවකට ගහකොළ හිටවන සූරියවැව දිරිය තරුණයා | දිනමිණ

කලාවකට ගහකොළ හිටවන සූරියවැව දිරිය තරුණයා

පරිසරයේ ඇති ගහකොළ කපා දමා කොන්ක්‍රීට් වනාන්තර ඉදිවෙමින් පවතින යුගයක පරිසරය ආරක්ෂා කර ගනිමින් නිවෙස්, කාර්යාල ඇතුළු ඕනෑම ස්ථානයකට පුංචි පැළයේ සිට ගෙඩි හැදෙන මහ ගහක් වුව ද නියම තාක්ෂණයෙන් යුක්තව ගෙනවිත් සිටුවා නඩත්තු කර දෙන අපුරු තරුණයකු පසුගිය දින අපට මුණගැසුනේ සූරියවැව ප්‍රදේශයෙනි.

තවමත් 36 වැනි වියේ පසුවන ඔහු දෙදරු පියකු වන ඊ. ජේ. ජනක ජයලාල්ය. කුඩාකල පටන් ගහකොළට ආදරය කළ ඔහු අද වන විට සූරියවැව වැලිවැව පිහිටි තම මුළු ඉඩමේම විවිධ ගස් වර්ග, පැළ වර්ග හා මල් වර්ග සිටුවා ඒවා සමාජයට දායාද කරමින් සිටී. ගහකොලට ආදරය කරන මේ දිරිය තරුණයාට 2016 වර්ෂයේ කුඩා ව්‍යාපාර අංශයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හොදම ව්‍යවසායකයාට හිමි සම්මානය ද හිමි කර ගැනීමට හැකි වී ඇත්තේ ඔහු සතුව තිබු කැපවීම හා අධිෂ්ඨානය නිසාවෙන්මය.

මෙ තරුණයා විවිධ ගස්වල ඇති මහ අතු පවා ගහේ තිබියදීම මුල්අද්දවා සිටුවීමට කටයුතු කිරීම විශේෂත්වයයි. එමෙන්ම ඔහු විවිධ සංවර්ධන ව්‍යාපෘතිවලින් කපා ඉවත් කරන විවිධ ශාක වර්ග ද රැගෙන විත් නැවත සිටුවයි. පැළයක් හැදී වැඩී ගෙඩි එන කල් බලා නොසිට නිවෙසට අවශ්‍ය ඕනෑම පළතුරක් ගෙඩි සමග සිය නිවසේ මිදුලේ සිටුවා ගැනීමට හැමට දැන් අවස්ථාව සැලසී තිබේ.

ජනක ජයලාල් මහතා - මම පුංචි කාලේ ඉදලාම ගහ කොළ සිටුවන්න ඒවා නඩත්තු කරන්න කැමැතියි. මගේ ලොකු හීනයක් තිබුණා කවදා හෝ දවසක මේ විදියට පැළ තවානක් කරන්න. නමුත් ඒ සදහා විශාල මුදලක් යට කරන්න මට පුළුවන්කම තිබුණේ නෑ. නමුත් මම උත්සාහය අතහැරියේ නෑ. පළමුවෙන්ම කැලේ තියෙන කොහොඹ, කුඹුක්, දොඹ, පේර, අඹ, වීර, පලු, මගුල් කරද, මයිල, නෙරලු, මී, මාදන්, දෙලුම්, දොඩම් පැළ වර්ග ගෙනවිත් වත්තේ හිටවූවා. ඒකාලේ අපිට වතුර තිබුණෙත් නෑ. වැලිවැල වැවේ ඉදන් කරෙන් වතුර ඇදලා මේ ගස් නඩත්තු කළා. ගමේ හැමෝම කපලා පුච්චලා දමන මේ ගස් මන් ගෙදර ගෙනත් වතුර දමලා හදනකොට ගමේම මගේ වයසේ අය මට කිව්වේ පිස්සා කියලා. නමුත් මම වැඩේ අතහැරියේ නෑ. මේ අතරවාරයේ ගහ කොළ පිළිබදව හොදට අධ්‍යනය කළා. ගස් බද්ධ කරන විදිය විශාල ගස්වල අතු ගහේ තියෙද්දිම බද්ධ කරන විදිය, ගහේ තියෙද්දිම ගස් වග අතු මුල්අද්දවන ක්‍රම පිළිබදව මම හොදට අධ්‍යනය කළා.

අද වන විට මවු ශාකයට කිසිදු හානියක් නොකර එකම ගහෙන් අතු මුල් අද්දවා තවත් ශාක කිහිපයක් ලබා ගන්නවා. ඒ වගේම පුංචි පැළේ සිට ගෙඩි හැදෙන ගස් පවා වෙනම හදලා තියෙනවා. නිවෙවසට හෝ වෙනත් ස්ථානයකට අවශ්‍ය ඕනැම ශාකයක් ඕනෑම ප්‍රමාණයකින් ලබාදීමට අද මට හැකියි. මේවනවිට දොඹ, බැරන්ටෝනියා, කරුවල, පලු, වීර, අරලිය, මී, හැළඹ, කුඹුක්, පේර, නාරන්, මගුල් කරද, කොරකහ, නෙරලු, කොහොඹ, වෙරලු, නාරන්, මයිල, මාදන්, බෝලපනා, අඹ, දොඩම්, අනෝදා සහ මල් වර්ග ද මා වගා කර තිබෙනවා.

ගාලු පාරේ බම්මබලපිටිය, කොල්ලුපිටිය, වැල්ලවත්ත ප්‍රදේශයේ මාර්ගය අලංකරණයට, නාවල වැලි පාක් එකට, කොළඹ බස් නැවතුම් පොළ අලංකරණයට අවශ්‍ය ගස් වර්ග, හම්බන්තොට සැංග්‍රිලා හෝටලය ඇතුළු මහා පරිමාන හෝටල්වලටත් විවිධ පැළ වර්ග හා ගස් වර්ග මා ලබා දී තියෙනවා.

මගේ රැකියාව මේ පැළ තවාන. විශාල අඩුපාඩු කම් මැද්දේ කිසිදු රාජ්‍ය ආයතනයක සහාය නැතිව මේ කටයුත්ත කරගෙන යන්නේ. මගේ බිරිය හා දරු දෙදෙනාගෙන් මට විශාල සහයක් ලැබෙනවා.  මට මේ ගමන එන්න විශාල ශක්තියක් වුණේ නාලව මිදුල ගාඩ්න්ස් අධිපති ආනන්ද ජයසූරිය, ජපන් ජාතික ඉදෝ හා සූරියවැව හැටන් නැෂනල් බැංකුවේ කළමනාකරු චතුර මහත්වරු. මගේ ළඟට එන අයගේ අවශ්‍යතාව අනුව උපරිම සේවයක් ලබා දෙනවා. ඒ පරිසරයට ඇති කැමැත්ත හා ආදරය නිසා.

0711692179 යන දුරකතනය ඔස්සේ පාඨක ඔබටද ජනක මහතා ඇමතිය හැකියි.

සූරියවැව නුවන් ජයසේකර

නව අදහස දක්වන්න