නඩුව ඉදිරියට ගෙන යනවා ද? නැද්ද ? නියෝගය නොවැම්බර් 11දා | දිනමිණ

නඩුව ඉදිරියට ගෙන යනවා ද? නැද්ද ? නියෝගය නොවැම්බර් 11දා

සිරන්ජනි කුමාරි

රුපියල් බිලියන 11.4 ක් රජයට පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ,ඇවන් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අටදෙනෙකුට එරෙහි අල්ලස් නඩුව ඉදිරියට පවත්වාගෙන යනවා ද? නැද්ද ? යන නියෝගය ලබන නොවැම්බර් මස 11 වැනි දිනට ලබා දෙන බවට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රි රාගල මහතා ඊයේ (11) තීන්දු කළේය.

විත්තියේ හා පැමිණිල්ලේ ලිඛිත දේශන ගොනු කිරීම සඳහා ඊයේ (11) අධිකරණය විසින් දින ලබා දුන්න ද විත්තිය වෙනුවෙන් ලිඛිත දේශන ගොනු කරනු ලැබු අතර පැමිණිල්ල සිය ලිඛිත දේශන ගොනු නොකිරීම හේතුවෙන් අධිකරණය නියම කරනු ලැබුවේ ඊයේ (11) පස්වරු 3.30ට පෙර අධිකරණය ‍හමුවේ ගොනු කරන ලෙසය.

නඩුව ඊයේ (11) යළි කැඳවු අතර ස්ථිර මහේස්ත්‍රාත්වරයා නොසිටි බැවින් අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රි රාගල මහතා හමුවේ නඩුව කැඳවු අවස්ථාවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ඉකුත් නඩු දින‍යේ දී විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රෝමේෂ් ද සිල්වා මහතා සිය මුලික විරෝධතාව වාචිකව දක්වමින් පවසා සිටියේ මේ නඩුව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවත් අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනා නඩු පවරන ලෙස ලබාදුන් අනුමැතියේ පිටපත් අධිකරණයට අල්ලස් කොමිසම ඉදිරිපත් නොකළ බවය.

නීතිඥවරයා නීති වාර්තා ගෙන හැර දක්වමින් පැය එකාහමාරක පමණ කාලයක් නඩුව ඉදිරියට ගෙන යා නොහැකි බව සඳහන් කරමින් නීති තර්ක ඉදිරිපත් කළේය.

මෙහිදි ඊට පිළිතුරු ‍දෙමින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා සඳහන් කරනු ලැබුවේ කිසිවෙකුට නඩු පැවරීමේ බලය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඇති බවත් අල්ලස් පනත හා අල්ලස් කොමිසම් සභා පනතේ වගන්ති වරදවා තේරුම් ගැනීම හේතුවෙන් මේ ගැටලුව පැන නැඟී ඇති බැවින් විත්තියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිමින් නීති වාර්තා ද ගෙන හැර දක්වමින් සිය වාචික විරෝධතාව ඉදිරිපත් කළේය.

මේ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා දෙපාර්ශ්වයේ එම වාචික විරෝධතා ලිඛිත දේශන ‍ඊයේ (11) දිනයේ දී ඉදිරිපත් කරන ලෙස දෙපාර්ශ්වයට නියම කළේය.

එම නියෝගයට අනුව විත්තිකාර පාර්ශ්වය ලිඛිත දේශන අධිකරණය හමුවේ ගොනු කර සිටි අතර පැමිණිල්ලට පස්වරු 3.30ට පෙර සිය ලිඛිත දේශන ගොනු කරන ලෙසට අධිකරණය නියෝග කෙරිණ.

රුපියල් බිලියන 11.4 ක් රජයට පාඩු කිරීමේ සිද්ධියට අදාළව විත්තිකරුවන් ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ,ආරක්ෂක ‍අමාත්‍යංශයේ සහකාර ලේකම් දමයන්ති ජයරත්න,හිටපු යුද හමුදා මේජර් වඩුගේ ප්‍රනාන්දු,හිටපු යුද හමුදා මේජර් කරුණාරත්න අධිකාරි එගොඩවෙල,හිටපු නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක,ඇවන්ගාඩ් සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති ,හිටපු නාවික හමුදා පති ජයනාත් කොළඹගේ ,හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ෆැන්සිස් ජයරත්න යන අය නම් කර ඇත.

විත්තිකරුවන්ට එරෙහිව 2016/9/1 වන දින අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ නඩුව පැවරිණි. 

නව අදහස දක්වන්න