නිමාලී-වරුණ මූලික වටයෙන් ඉවතට | දිනමිණ

නිමාලී-වරුණ මූලික වටයෙන් ඉවතට

ලන්ඩන් ලෝක ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 800 මූලික වටයේ තරගයේදී විනාඩි 2: 08. 49කින් තරගය නිමකළ නිමාලී ලියනාරච්චි හා හෙල්ල විසි කිරීමේ සුදුසුකම් ලබාගැනීමේ තරග වටයේදී මීටර් 73. 16ක දුරක් සටහන් කළ වරුණ ලක්ෂාන් ඉවතට ගියහ.

මීටර් 800 මූලික වටයේ තරග 6කට ක්‍රීඩිකාවන් 47ක් සහභාගී වූ අතර එයින් හොඳම දක්ෂතාව දැක්වූ බුරුන්ඩි ක්‍රීඩිකා නියෝන්සාබා ෆ්රුන්සයින් විනාඩි 1: 59. 86කින් ඉදිරියෙන්ම සිටි අතර නිමාලී තරගය නිමකළේ 43වැනි ස්ථානයටය. ඇය මේ තරගාවලියට සුදුසුකම් ලැබූවේ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීම හේතුවෙනි. පසුගිය අප්‍රේල් මාසයේ දියගම පැවැති තරගාවලියේදී ඇය විනාඩි 2: 02. 58කින් නිමකර තිබුණි.

වරුණ ලක්ෂාන් ‘ඒ’ කාණ්ඩයේදී මීටර් 73.16ක දුරක් විසිකළ අතර වැඩිම දුරක් විසිකළ ජර්මනියේ වෙටර් ජොහැන්ස් මීටර් 91.20ක දක්ෂතාවක් දැක්වීය. වරුණ ලක්ෂාන් සුදුසුකම් ලැබීමේ තරග වටයේ ක්‍රීඩකයන් 32ක් අතුරින් 31වැනියා බවට පත් විය. ඔහු මෙයට පෙර දියගමදී මීටර් 82. 19ක දක්ෂතාවක් පෙන්වා තිබුණි.

පෙරේදා පැවැති මේ තරග දෙකේදීම ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉවතට ගිය ආකාරයෙන්ම එයට පෙර මැරතන් ක්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ හා හිරුණි විජේරත්න තරගය නිම නොකොට ඉවතට ගියහ.

නව අදහස දක්වන්න