ඔලිම්පික් එන ස්වයංක්‍රීය රෝද පු‍ටුව | දිනමිණ

ඔලිම්පික් එන ස්වයංක්‍රීය රෝද පු‍ටුව

මංජුලා විජයරත්න

2020 ඔලිම්පික් උළෙල අති උත්කර්ෂවත් අන්දමින් ජපානයේ තෝකියෝ නුවරදී පවත්වන්නට සියලු කටයුතු ලහි ලහියේ දැන් සංවිධානය කෙරේ. ඔලිම්පික් උළෙලට පැමිණෙන ආබාධිත අය වෙනුවෙන්ම විශේෂයෙන් සූදානම් කෙරෙන වැඩ පිළිවෙලක අත්හදා බැලීම් කටයුතු මේ දිනවලදී සිදු වේ. මේ අත්හදා බැලීම් කටයුත්ත සිදු වන්නේ තෝකියෝහි හනේදා ගුවන්තොටුපොළෙ හිය. විශේෂ රෝද පුටු සේවාවක් මුල් කරගෙන මේ අත්හදා බැලීම සිදුවන බව මාධ්‍ය වාර්තාවන්හි දැක්වේ. එකී රෝද පුටු ස්වයංක්‍රීයව ක්‍රියාත්මක විය හැකි ඒවාය. ඇප් - පාලනයකට යටත් කරන ලද මේ රෝද පුටු ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ඕනෑම තැනෙකින් ලබා ගන්නට ආබාධිත අයට ඉඩ සැලසේ. නව රෝද පුටු සේවාව “විල් නෙක්ස්ට්” (WHILL NEXT) යනුවෙන් නම් කර තිබේ.

“විල් නෙක්ස්ට්” වර්ගයේ පුටුවක් යනු ස්මාර්ට් රෝද පුටුවකි. මේ ස්මාර්ට් රෝද පුටුවක් සංවේදක උපකරණ රාශියකින් සමන්විතය. පුටුවේ අසුන් ගන්නා පුද්ගලයාට ගුවන්තොටුපොළෙන් කරගත යුතු සියලු කටයුතු කිසිදු අඩු පාඩුවක් නැතිව කර ගැනීමට ඉඩ සැලසේ. යනෙන මඟ හඳුනාගන්නට, පුටුවට සම්බන්ධ එකී සංවේදකවලට හැකියාවක් ඇත. ගුවන්තොටුපොළ තුළ ඇති මාර්ග නිවැරදිව පරිහරණය කිරීමේ හැකියාව මේ සංවේදකවල ක්‍රියාකාරීත්වයෙහි ඇත. පුටුවට සම්බන්ධ එකී සංවේදකවලට යනෙන මඟ ඇති බාධක හඳුනා ගන්නටත් අපහසුවක් නැත. සංවේදක නිසි පරිදි ක්‍රියාත්මක නොවන තත්ත්වයක් පැන නැඟුණහොත් මේ ස්මාර්ට් පුටුව හිටි පියවරම නවතිනු ඇති බව එය නිර්මාණය කළ පැනසොනික් සමාගමේ බළධාරීහු පවසති.

“... ස්වයංක්‍රීය පාලනයක් සහිත මේ පුටුව ක්‍රියාත්මක වෙන්නේ රොබෝ තාක්ෂණය සහිතවයි. පුටුව තිබෙන ස්ථානය, යාමට තෝරාගත යුතු මාර්ගය වගේම ගමනාන්තය තීරණය වන්නේ පුටුවෙහි අසුන් ගන්නා පුද්ගලයා ස්මාර්ට් දුරකතනයකින් ලබා දෙන ආදානය (input) මඟිනි. මේ පුටුවට ගුවන්තොටුපොළේ තිබෙන සාප්පු සංකීර්ණ වෙත යන්නත්, ගුවන්තොටුපොළේ තිබෙන විශේෂ ගේට්ටුවලින් පිවිසෙන්නත් හැකියාව තිබෙනවා. ...” යැයි කියා මාධ්‍යට අදහස් දක්වා තිබුණේ පැනසොනික් සමාගමේ බලධාරියෙකි.

“විල් නෙක්ස්ට්” ස්මාර්ට් පුටුව ගමන් ගන්නේ පැයට සැතපුම් 5.5ක පමණ වේගයකිනි. එයට සැතපුම් 15ක පමණ දුරක් ගමන් කිරීමට හැකියාවක් ඇත. කාගේත් අවධානයට ලක්වන වඩාත් සුවිශේෂම අංගය වන්නේ මේ පුටුවක් පසුපසින් පැමිණෙන අනෙක් “වාහනයයි”. වාහනයක් වශයෙන් හඳුන්වා දුන්නද එයත් රෝද පුටුවකි. රෝද පුටුවත් සමඟ එකී “වාහනය” ක්‍රියාත්මක වන්නේ රැහැන් රහිත සම්බන්ධතාවයක් පාදක කරගෙනය. “වාහනය” හෙවත් පළමු රෝද පුටුව පසු පසින් පැමිණෙන අනෙක් රෝද පුටුවෙන් ඉටු වන්නේ මඟියාගේ ගමන් මලු රැගෙන යාමේ කර්තව්‍යයයි.

ආබාධිත පුද්ගලයන් රැසක් එකවර ගුවන්තොටුපොළට පිවිසියහොත් ඒ සැමටම “විල් නෙක්ස්ට්” ස්මාර්ට් රෝද පුටු ලබා ගන්නට හැකියාව තිබේ. එමෙන්ම ඒ සියලු දෙනාට තම තමන් අසුන් ගත් රෝද පුටුවල සිට කතා බහ කරමින් එක පෙළට ගමන් ගන්නටත් හැකියාව ඇති බව පැවසේ. එපමණක් නොව ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළ ඇවිදගෙන යන සාමාන්‍ය කෙනෙකු සමඟ වුව මේ පුටුවක හිඳගන්නා කෙනෙකුට කතා බහා කරමින් ගමනේ යෙදෙන්නට අපහසුවක් නැත. පුටුවෙහි අසුන් ගන්නා පුද්ගලයාට අවශ්‍ය සේවය සැපයීම අවසන් කළ පසු පුටුව රැගෙන එන්නට ගුවන්තොටුපොළ කාර්යය මණ්ඩලයෙහි කිසිවකු යා යුතු නැත. පුටු රඳවා ඇති ස්ථානයට පැමිණීමේ හැකියාව එම පුටුවලටම තිබේ.

ස්වයංක්‍රීය ක්‍රියාකාරීත්වයක් සහිත රෝද පුටුවක් නිර්මාණය කිරීම කළේ පැනසොනික් සමාගම පමණක් නොවේ. වාර්තාවන්හි දැක්වෙන අන්දමට කැනඩාවේ පර්යේෂකයන් පිරිසක්ද මෙවැනිම නිර්මාණයක් අත්හදා බලා ඇත. එම පර්යේෂකයන්ගේ අරමුණ වී තිබෙන්නේ අඩු මුදලකට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන රෝද පුටුවක් හඳුන්වාදීමයි. අත් පවා හරි හැටි ක්‍රියාත්මක කළ නොහැකි ආබාධිත අයගේ පහසුව පතා එම පුටුව නිර්මාණය කිරීමට ඔවුහූ වෙහෙසෙති. අමෙරිකා ඩොලර් 3000ත් 7000ත් අතර මුදලකට මිල නියම කර එකී ස්වයංක්‍රීය රෝද පුටුවක් වෙළෙඳපොළට ඉදිරිපත් කරන්නට එම පිරිස ක්‍රියාකරමින් සිටින්නෝය. “විල් නෙක්ස්ට්” ස්වයංක්‍රීය රෝද පුටුවක්, අමෙරිකා ඩොලර් 10,000කට ආසන්න මුදලකට මිල නියම කෙරෙනු ඇති බැව් පැවසේ. අමෙරිකා ඩොලර් 30,000ක් පමණ වන රෝද පුටුත් මේ වනවිට වෙළෙඳපොළට පැමිණ ඇති බව සඳහන් වේ.

තෝකියෝ නුවර පිහිටි හනේදා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ජපානයේ ඇති කාර්යය බහුලම ගුවන්තොටුපොළක් ලෙස සැලකේ. වසරකට මඟීන් මිලියන 90කට සේවය සැපයිය හැකි මේ ගුවන්තොටුපොළ, කාර්යයබහුලම නාගරික ගුවන්තොටුපොළ පද්ධති අතර තෙවැනි තැනට පත් ගුවන්තොටුපොළයි. ඒ අනුව එය තෙවැනි වන්නේ ලන්ඩන් සහ නිව්යෝර්ක් නගරවල පිහිටි ගුවන්තොටුපොළ පද්ධති දෙකට පමණි. මේ ගුවන්තොටුපොළ තිස් දෙවන ඔලිම්පික් සැණකෙළිය පැවැත්වෙන කාල සීමාවේදී බෙහෙවින්ම කාර්යබහුල එකක් වන බැව් බලධාරීහු කල් ඇතිව හඳුනාගෙන සිටිති. ආබාධිත අයව එකී කාර්යබහුලකම මධ්‍යයේ අපහසුතාවයට පත් වීම මඟ හරවා ගැනීමට නව වැඩපිළිවෙල හඳුන්වාදී තිබේ. එහි පළමු අදියර ලබන මාර්තු මාසයේදී ක්‍රියාත්මක කෙරෙන බව පැනසොනික් සමාගම් බලධාරිහු පවසති. ඒ අනුව ගුවන්තොටුපොළ පරිශ්‍රයේ “විල් නෙක්ස්ට්” සමාර්ට් රෝද පුටු සේවාව ලබන මාසයේ සිටම ආරම්භ කෙරෙනු ඇත. මේ පුටු සේවායේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය විදුලි සංදේශ පහසුකම් ලබා දෙන්නේ ජපානයේ නිපොන් ටෙලිග්‍රාෆ් දුරකතන සමාගමයි.

mail online ඇසුරෙනි

 

නව අදහස දක්වන්න