මකුණෙක් දුම්රිය නවත්වයි | දිනමිණ

මකුණෙක් දුම්රිය නවත්වයි

කෝච්චියක් නවත්වන්න පුංචි මකුණෙකුට පුළුවන්ද? බැරිවන්නට පුළුවන. එහෙත් මකුණන් රංචු වශයෙන් ඒකරාශී වී කැරැල්ලක් ඇති කළහොත් කෝච්චියක් නො ව; කෝච්චි ගණනාවක් වුව නැවැත්වීමට පුළුවන. අද අපගේ අවධානය යොමුවන්නේ එබඳු සත්‍ය සිදුවීමක් දෙසට ය. ගිය සෙනසුරාදා, දුම්රිය නියාමකවරුන්ගේ තාවකාලික වර්ජනයක් ක්‍රියාත්මක විය. එය වර්ජනයක් හා විරෝධතාවක් ලෙස හැඳින්වීම වඩා නිවැරැදි ය. මීට හේතුව නියාමක මහත්වරුන්ගේ රාජකාරි නේවාසික ස්ථානවල මකුණන් බෝවී සිටීම ය. මේ මකුණු කරදරය නිසා විවේකයක් ලැබීමේ අවස්ථාව නියාමකවරුන්ට අහිමි වී ඇත.

දුම්රිය නියාමක යනු ධාවනය වන දුම්රියක භාරකාරයාය. ඔහුට ඉතා වැදගත් රාජකාරි ගණනාවක් පැවරී ඇති බැවින් ද, නියමිත වේලාවට දුම්රිය සේවා පවත්වාගෙන යා යුතු බැවින් ද විවේක ගත හැකි ස්ථාන පිහිටුවා තිබේ. එය ඉංග්‍රීසි පාලන සමයේ පටන් පැවත ආ නියමයකි. එදා මේ විවේකස්ථාන ඉතා පිරිසුදුවට හා පිළිවෙළට පැවැති අතර අද එසේ නැත. එදා දුම්රිය සේවාව හා අද දුම්රිය සේවාව සැසඳීම ප්‍රතිඵලයක් නැති කාරණයකි. කෙසේ වුව යහපත් දුම්රිය සේවාවක් පවත්වා ගැනීමට නම්; නියාමකවරුන්ගේ අවශ්‍යතා ද සම්පූර්ණ විය යුතු ය. අවම ලෙස ඔවුනට රාජකාරී වශයෙන් ලැබෙන පහසුකම් ටිකවත් පැවැතිය යුතු ය.

මරදාන, කොටුව යන ප්‍රධාන දුම්රිය ස්ථානවල නියාමකවරුන්ගේ විවේකස්ථාන මකුණන්ගෙන් පිරී පවතින බවට පැමිණිලි ලැබී ඇත්තේ කාලයක සිට ය. මීට පෙර පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් ද මකුණන් පිළිබඳ වාර්තාවක් ලැබී ඇත. ඒ සඳහා විරෝධතාවක් ක්‍රියාත්මක වූ බව ද අපට මතක ය. රාගම දුම්රිය ස්ථානයේ දුම්රිය වේදිකාවල ඇති සියලු ආසනවල මකුණන් ඇතැ’යි චෝදනාවක් ද කලකට පෙර අසන්න ට ලැබිණි. මගීන් අසුන් නොගෙන හිටගෙන ම සිටි බව ද වාර්තා වී තිබිණි. කොයි හැටි වුව මකුණන්ගේ ආක්‍රමණය ජය ලබා ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව මකුණන්ට පරාජය වී ඇත.

මේ සිද්ධියෙන් පැහැදිලි වන්නේ දුම්රිය දෙපාර්තමේන්තු පාලනයේ ඇති නිද්‍රාශීලීබව නො වේද? මේ ස්ථානවල බෝවී ඇත් මකුණන් වඳකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගත යුතු නැත. ඒ සඳහා අලුත් නීති සම්පාදනයක් අවශ්‍ය වන්නේ ද නැත. අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් නැතිව ම මකුණන් වඳකිරීමේ හැකියාව දෙපාර්තමේන්තු පරිපාලනයට තිබේ. එහෙත් එය සිදුවී නැත. අප දන්නා හැටියට දුම්රිය නියාමකවරුන් මේ පිළිබඳ පැමිණිලි ගණනාවක් අදාළ නිලධාරින් වෙත ලබා දී තිබේ. එහෙත් ඒ කිසිවක් සැලකිල්ලට ගෙන නැත. වර්ජනයක් කරනතුරුම නිලධාරින්ගේ ඇස් ඇරෙන්නේ නැති නම් එය විශාල අභාග්‍යයකි.‍

දුම්රිය සේවාවෙහි සුළු වෙනස්වීමක් වුව ජන ජීවිතය කෙරෙහි තදින් බලපායි. සෙනසුරාදා පෙරවරුවේ පටන්ගත් වර්ජනය පැය කිහිපයක් ම පැවැති බව දැනගන්නට ලැබේ. සමහර දුම්රිය වාර අත්හිටුවා ඇත. තව සමහර දුම්රිය වාර ධාවනයේ යෙදී ඇත්තේ බොහෝ ප්‍රමාදවීමෙන් පසුව ය. වාසනාවකට මෙන් සෙනසුරාදා යනු රාජ්‍ය සේවයේ නිවාඩු දිනයකි. එහෙත් පාසල් නිවාඩු සමය බැවින් විශාල මගී පිරිසක් කෝච්චියේ ගමන් කිරීමට එති. සිද්ධිය නිසා ඒ සියලුදෙනා ම අමාරුවේ වැටුණු බව කිව යුතු ය. මෙබඳු සිදුවීම්වලදී මහජනයාගේ පැත්ත ගැනීමට කිසිවකු ඉදිරිපත් වන්නේ නැත. හරි නම්, මහජනයා දුම්රිය දෙපාර්තමේන්තුවට එරෙහිව නඩු දැමිය යුතු ය.

දුම්රිය දෙපාර්තමේන්තුවට අදාළ මකුණන් පිළිබඳ සිද්ධිය එක අතෙකින් බලනවිට හාස්‍යෝත්පාදක වෘත්තාන්තයක් බඳු ය. මේ දෙපාර්තමේන්තුව රටේ දෙවන හෝ තෙවන සේවක සංඛ්‍යාව ඇති රාජ්‍ය ආයතනය වේ. සේවක අතිරික්තයක් පවා එහි පවතින බව කියති. ඒ හැරෙන්නට වෘත්තීය සමිති විශාල ප්‍රමාණයක් ද එහි පවතී. එක් එක් වෘත්තිය සඳහා වෙන වෙනම වෘත්තීය සමිති පවතින අතර දේශපාලන පක්ෂවලට අනුව තවත් වෘත්තීය සමිති පවතී. සුබසාධනය සඳහා ද මේ ආයතනය සැලැකිය යුතු මුදලක් වෙන් කරයි. එහෙත් අපේ දුම්රිය දෙපාර්තමේන්තුවට විවේකාගාරයක ඇති මකුණකු මරාගන්නට වුව හැකියාවක් නැත.

මකුණන් බෝවන්නේ අපිරිසුදුකම නිසා යැයි කියති. මේ විවේකාගාර ද අපිරිසුදු බව අපගේ පිළිගැනීම ය. ගෙදරක මකුණන් ව්‍යාප්ත වුවහොත් නිවැසියන් කරනුයේ කොට්ට-මෙට්ට- ඇතිරිලි අව්වේ දමා වියළා ගැනීම ය. නැතහොත් භූමිතෙල් යොදා මකුණන් මරා දැමීම ය. එසේත් නැතහොත් කෘමිනාශකයක් යොදා මකුණන් සංහාරය කිරීම ය. නියාමක මහත්වරුන්ගේ සහායට කම්කරුවෝ පිරිසක් සිටිති. ඔවුන් යොදාගෙන මේ කටයුත්ත පහසුවෙන් ඉටුකර ගැනීමට ඉඩ තිබිණි. පරිපාලනය එබඳු තීරණයකට නොගියේ නොසැලකිල්ල නිසා ද? නැතහොත් වෙනත් හේතුවක් නිසා ද යන්න පැහැදිලි නැත.

දුම්රිය සේවයේ වර්ජන, විරෝධතා මෙන් ම ඇතැම් පසුබැසීම් ද සිදුවන්නේ පරිපාලනයේ වරදින් යැයි සිතන්නට පුළුවන. පසුගියදා දුම්රිය රියදුරන් වර්ජනයක් ක්‍රියාත්මක කළේ දුම්රිය වර්ග කිහිපයක තිරිංග හරි හැටි ක්‍රියාත්මක නොවීම නිසා ය. මේ පිළිබඳ පැමිණිලි කළ ද පරිපාලනය එය ඉටුකිරීමට කටයුතු කර නැති බව කියති. මේ සේවාවට ඇති ප්‍රධාන ම ‍චෝදනාව වන්නේ දුම්රිය ප්‍රමාදවීම ය. ඇතැම් දුම්රිය පැය ගණන් ප්‍රමාද වී ධාවනය වන බව රහසක් නො වේ. දුම්රිය ප්‍රමාදය සම්බන්ධයෙන් ද කරුණු සොයා යන අය ඇඟිල්ල දික්කරනුයේ ද පරිපාලනය දෙසට ය.

ඇතැම් රාජ්‍ය ආයතන ගරා වැටී ඇත. ඒවායෙහි කටයුතු සිදුවන්නේ ඕනෑ එපාවටය. මෙය දීර්ඝ කාලයක සිට පවතින එක තැන පල්වීමක් ලෙස ද හැඳින්විය හැකි ය. මේ ආයතන කාර්යක්ෂම මහජන සේවාවක් කෙරෙහි අවධානය යොමු කරන්නේ නැති තරම් ය. බොහෝ නිලධාරින් නිලධාරිවාදය රකිමින් වැඩවසම් යුගයකට යන බවක් ද පෙනෙන්නට තිබේ. ආයතන පෞද්ගලිකකරණය කළ යුතු යැයි ද විකුණා දැමිය යුතු යැයි ද යෝජනා ඉදිරිපත් වන්නේ ද මේ තත්ත්වය නිසා ය. මකුණන් නිසා කෝච්චි නවත්වන දුම්රිය දෙපාර්තමේන්තුව මහජනයාට කාර්යක්ෂම සේවාවක් ලබාදෙන්නේ කෙසේ ද?

අදහස් 1ක් ඇත

me satha lokayama kanawa , namuth mun inne lankawemayi

නව අදහස දක්වන්න