අර්ජුන් - කසුන් ගේ ජංගම දුරකතනවල දත්ත රහස් පොලිසියට ගන්න අවසර | දිනමිණ

අර්ජුන් - කසුන් ගේ ජංගම දුරකතනවල දත්ත රහස් පොලිසියට ගන්න අවසර

කමනි අල්විස්

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහත්වරුන්ගේ ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණකවල අඩංගු කොමිසමට අවශ්‍ය දත්ත රහස් පොලිසියේ වෝහාරික ඩිජිටල් විශේෂඥයින්ට ලබාගැනීමට බැඳුම්කර කොමිසම ඊයේ (14) අවසර ලබාදුන්නේය.

අදාළ සන්නිවේදන උපකරණ මුද්‍රා තබා කොමිසමේ ලේකම්වරයාගේ භාරයේ තිබේ.

එක් සන්නිවේදන මෙවලමකින් විශ්ලේෂකයින් ලබාගත යුත්තේ දත්ත පිටපත් තුනක් පමණක් බවට නියම කළ කොමිසම එම පිටපත් තුන කොමිසම, නීතිපති දෙපාර්තමේන්තුව සහ අදාළ පාර්ශ්වකරුවන් දෙදෙනාගේ නීතිඥයින් ලබාදිය යුතු බවටත් වැඩිදුරටත් නියම කළේය.

සන්නිවේදන උපකරණවලින් විශ්ලේෂණ දත්ත ලබාගැනීම සිදුකරන අවස්ථාවට සහභාගිවීමට මහේන්ද්‍රන් සහ පලිසේන මහත්වරුන්ගේ නීතිඥවරුන්ට කොමිසමේ නියෝගය ප්‍රකාශයට පත්කරමින් අවසර ලබාදුන්නේය. අවශ්‍ය නම් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජනයක් සිදුකිරීමට හැකි බවත් කොමිසම නිකුත් කළ නියෝගයේ සඳහන්ය.

එම අවස්ථාවට සහභාගි වන නීතිඥවරුන් විශ්ලේෂකයන්ට බලපෑම් නොකළ යුතුයි. ඡායාරූප ගැනීම වීඩියෝගත කිරීම් නොකළ යුතුයි. නීතිඥවරුන්ට අවශ්‍ය නම් ලිඛිත සටහන් කර ගැනීම් සිදුකළ හැකි බව කොමිසම නියෝගය නිකුත් කරමින් තවදුරටත් ප්‍රකාශ කළේය.

බුඩාපෙස්ට් සම්මුතිය සහ ශ්‍රී ලංකා පරිගණක පනත ඇතුළුව පරිගණක සම්බන්ධ නීතිමය අංශ පිළිබඳව පුළුල්ව අධ්‍යයනය සිදුකර මෙම නියෝගය කොමිසම නිකුත් කරන බව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා පැවැසීය.

තම සේවාදායකයන්ගේ සන්නිවේදන මෙවලම්වල දත්ත ලබාගන්නා අවස්ථාවේදී තම නියෝජනය සිදුවිය යුතු බවට ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස නීතිඥ චානක ද සිල්වා මහත්වරුන් කොමිසම හමුවේ කරන ලද ඉල්ලීම් සළකා බැලීමෙන් අනතුරුව කොමිසමේ නියෝගය ඊයේ නිකුත් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී. එස්. ජයවර්ධන සහ වී. කන්දසාමි මහත්වරුන්ගෙන් හෙබි බැඳුම්කර කොමිසම අදාළ නියෝගය නිකුත් කළේය.

කොමිසමේ නියෝගය ප්‍රකාශ කරන අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහත්වරු සහ නීතිඥ චානක ද සිල්වා, ජනාධිපති නීතිඥ ඉන්ද්‍රතිස්ස මහතා වෙනුවෙන් නීතිඥ චමින්ද අතුකෝරළ මහත්වරු ඇතුළු නීතිඥවරු කොමිසම හමුවේ පෙනී සිටියහ.

නව අදහස දක්වන්න