බී.බී.සී පර්සියානු කාර්ය මණ්ඩලයේ වත්කම් අත්හිටුවයි | දිනමිණ

බී.බී.සී පර්සියානු කාර්ය මණ්ඩලයේ වත්කම් අත්හිටුවයි

ඉරානයේ සිටින සිය කාර්ය මණ්ඩලයේ වත්කම් අත්හිටුවීමට බලපාන්නාවූ නව නියෝගය ආපසු හරවාගන්නා ලෙස බී.බී.සී ඉරාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ බීබීසී ලෝක සේවයේ අධ්‍යක්ෂ ෆ්‍රාන්සෙස්කා අන්ස්වර්ත් කියා සිටියේ බී.බී.සී පර්සියානු කාර්ය මණ්ඩලය, හිටපු කාර්ය මණ්ඩලය මෙන්ම ඇතැම් දායකයින් වෙත එල්ල වෙන බව පෙනෙන්නට ඇති "ඉලක්කගත ප්‍රහාරය" හෙළා දකින බවය.

සිය කාර්ය මණ්ඩල සාමාජිකයින් දේපළ, මෝටර් රථ මෙන්ම වෙනත් භාණ්ඩ විකිණීම හෝ මිලදී ගැනීම අදාළ නියෝගය විසින් වළක්වනු ලැබ ඇති බව ඇය පෙන්වා දෙන්නීය.

රූපවාහිනිය, ගුවන් විදුලිය මෙන්ම අන්තර්ජාලය හරහා විකාශනය කෙරෙන බී.බී.සී පර්සියානු සේවය ඉරානය තුළ තහනම් කර ඇත.

මෑත වසර කිහිපයක සිටම කාර්ය මණ්ඩලය මෙන්ම ඔවුනගේ පවුල්වල සාමාජිකයින් නොකඩවා ඉරාන බලධාරීන්ගේ හිරිහැරයට මෙන්ම බියගැන්වීම්වලට ලක්වෙමින් සිටිති.

ඉරාන අධිකරණය විසින් ද්‍රවශීලතාව රහිත වත්කම් අත්හිටුවන ලද කාර්ය මණ්ඩල සාමාජිකයින්, හිටපු කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙන්ම දායකයින් 152 ක නම් ඇතුළත් ලැයිස්තුවක් බී.බී.සී පර්සියානු සේවය අතට පත්ව තිබේ.

එම නියෝගය නිකුත් කරනු ලැබ තිබෙන්නේ ටෙහ්රාන් හි එවින් බන්ධනාගාරයේ පිහිටි ෂාහිඩ් මොඝඩාස් අධිකරණය විසිනි.

මෙම අධිකරණ නියෝගය පිළිබඳව බීබීසී වෙත දැනුම්දීමක් කෙරී නැති අතර, බී.බී.සී පර්සියානු සේවයේ සාමාජිකයකු වෙනුවෙන් ඔවුන්ගේ ඥාතියකු දෙපළක් විකිණීමට උත්සාහ දරන ලද අවස්ථාවේදී මෙම වත්කම් අත්හිටුවීම පිළිබඳව දැනගන්නට ලැබී ඇත.

මෙම නියෝගය සම්බන්ධයෙන් ඉරාන අධිකරණ පද්ධතිය පැහැදිලි කිරීමක් කර නැත.

"බී.බී.සී පර්සියානු සේවයේ කාර්ය මණ්ඩලය, හිටපු කාර්ය මණ්ඩලය මෙන්ම දායකයින් වෙත එල්ලවන ඉල්ලක්කගත ප්‍රහාරයක් යැයි පෙනෙන්නට ඇති මෙම තත්ත්වය අප හෙළා දකිනවා" යැයි අඟහරුවාදා (අගෝස්තු 15) ප්‍රකාශයක් නිකුත් කරමින් අධ්‍යක්ෂිකා ෆ්‍රාන්සෙස්කා අන්ස්වර්ත් පැවසුවාය.

"බී.බී.සී සමග ඇති සම්බන්ධතා හේතුවෙන් යමෙකුට නෛතික හෝ මුල්‍යමය වශයෙන් ප්‍රතිවිපාකවලට මුහුණදීමට වීම තැතිගන්වන සුළුයි."

"මෙම නියෝගය කඩිනමින් ආපසු හරවාගන්නා ලෙසත් අනෙකුත් පුරවැසියන් හා සමානව මුල්‍යමය අයිතිවාසිකම් භුක්තිවිඳීමට බීබීසී කාර්ය මණ්ඩලයට මෙන්ම හිටපු කාර්ය මණ්ඩලයට ඉඩකඩ සලසන ලෙසත් අප ඉරාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා"

බී.බී.සී පර්සියානු කළමනාකාරීත්වය විසින් මෙම අධිකරණ නියෝගය හඳුන්වා දී තිබෙන්නේ අපක්ෂපාතී ජනමාධ්‍යවේදීන් නිහඬ කිරීම සඳහා ඉරාන අධිකරණය දරන තවත් උත්සාහයක් ලෙසිනි.

ලොව පුරා පර්සියානු බස කතාකරන ජනතාව වෙනුවෙන් ස්වාධීන, අපක්ෂපාතී මෙන්ම විශ්වාසදායී ප්‍රවෘත්ති තවදුරටත් ගෙන ඒමට පර්සියානු සේවය වෙනුවෙන් සේවයේ යෙදී සිටින ජනමාධ්‍යවේදීන් ක්‍රියාකරනු ඇති බව බී.බී.සී පර්සියානු සේවයේ වැඩ බලන ප්‍රධානී අමීර් අසීමි පැවසීය.

ඉරානයේ පවතින තහනම අතරේ වුවද අලුත්ම දත්තවලින් පෙන්නුම් කෙරෙන්නේ එරට තුළ මිලියන 13ක ග්‍රාහකයින් පිරිසක් බීබීසී ලෝක සේවය සතුව සිටින බවය. එය බී.බී.සී ප්‍රවෘත්ති සඳහා ලොවපුරා ඇති ග්‍රාහක පදනම අතරින් විශාලත්වයෙන් හත්වෙනි ස්ථානය වේ.

(බී.බී.සි සිංහල)

නව අදහස දක්වන්න