කැබිතිගොල්ලෑවේ ස්වාභාවික ජල උල්පත් සුරැකීමේ වැඩසටහනක් | දිනමිණ

කැබිතිගොල්ලෑවේ ස්වාභාවික ජල උල්පත් සුරැකීමේ වැඩසටහනක්

 නියඟය නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව්, ඇළ දොළ සීඳී ගියද කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පිහිටි ස්වාභාවික ජල උල්පත් නොසිඳී ප්‍රදේශවාසීන්ට සුපිරිසුදු පානීය ජලය සපයාදීම නොකඩවා සිදු කරයි. කැබිතිගොල්ලෑව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ පිහිටි සිංහයා උල්පත, උඩංගාව, තිඹිරිවැව, දුනු කෑ උල්පත සහ කලවැදී උල්පත, දඹගහ උල්පත, අඹ ගහ උල්පත ඇතුළු ස්වභාවික උල්පත් සමූහය පිළිබඳ සොයා බලා සංරක්ෂණය කොට ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙළක් උතුරුමැද පළාත් සභාව මගින් ක්‍රියාත්මක කොට ඇත.

පළාත් ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න බණ්ඩාර මහතාගේ සංකල්පයක් අනුව මෙම දිය උල්පත් සුරැකීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි. මෙහි ආරම්භක පියවරක් වශයෙන් කැබිතිගොල්ලෑව ගෝනමැරියාව ජල උල්පත සංවර්ධනය කොට වැඩි පිරිසකට ක්‍රමානුකූලව පානීය ජල පහසුව සකසා ගැනීමට හැකි වන සේ ස්ථිර වැට ආවරණයක් හා සූර්ය බල විදුලි පහන් පද්ධතියක් ස්ථාපිත කිරීමේ වැඩසටහනක් පසුගියදා ප්‍රධාන ඇමැතිවරයාගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරිණි.

එහිදී ප්‍රධාන ඇමැතිවරයා මෙසේ පැවැසීය.

මේ දිය උල්පති පිහිටා තිබීම කැබිතිගොල්ලෑව ප්‍රදේශවාසීන්ගේ ඉමහත් භාග්‍යයක් සේ සැලකිය හැකියි. මේ ප්‍රදේශයේ ළං ජලයේ කිවුල අධිකයි. ජලය හිඟයි. ඒවාගේම තැබිතිගොල්ලෑව ප්‍රදේශයේ වකුගඩු රෝගීන් බහුලව සිටිනවා. එවැනි පසුබිමක් තුළ මෙම ස්වභාවික දිය උල්පත් විවිධ මිනිස් ක්‍රියාතාරතම් හා ස්වභාවික ආපදා නිසා විනාශ වී යෑමට ඉඩ නොතබා සුරැකීම අපේ වගකීමක්. කැබිතිගොල්ලෑවේ ස්වභාවික දිය උල්පත් පිළිබඳ සවිත්සර වාර්තාවක් සහ ඒවා සංවර්ධනය කිරීමට ගත යුතු පියවර ඇතුළු වැය ඇස්තමේන්තුවත් උතුරු මැද පළාත් සභාව වෙත ප්‍රාදේශීය ලේකම් චන්දන අනුරුද්ධ පියදාස මහතා විසින් ඉදිරිපත් කොට තිබේ. මෙම ජල උල්පත් වල ජලය 100%ක් පිරිසුදු පානය සඳහා සුදුසු ජලය බවට තත්ත්ව පරීක්ෂණ වලින් තහවුරු කරගෙන තිබේ.

ඡායාරූප - අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් සමූහ

නව අදහස දක්වන්න