ඊසාන දිග මෝසම් වැසිත් සමඟ ඩෙංගු වැඩි විය හැකියි | දිනමිණ

ඊසාන දිග මෝසම් වැසිත් සමඟ ඩෙංගු වැඩි විය හැකියි

සන්ධ්‍යා කරුණාරත්න

ඊසාන දිග මෝසම් වර්ෂාවත් සමඟ ඉදිරි කාලයේ දී උතුරු නැඟෙනහිර පළාත්වලින් ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් සිදු විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ පළමු දෙසතියේ දී ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 66කින් අඩු වී තිබුණ ද, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ඩෙංගු මදුරු මර්දන කටයුතු අඛණ්ඩව සිදු කිරීමට අමාත්‍යාංශයේ පියවර ගෙන තිබේ.

වසරේ ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 1,32,488 ක් වාර්තා වී ඇති අතර කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, පුත්තලම, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලින් රෝගීන් බහුල වශයෙන් වාර්තා වී තිබේ.

ඊසාන දිග මෝසම් වර්ෂාවත් සමඟ රෝගීන් වැඩි වීම වළක්වා ගැනීම සඳහා ක්‍රියාත්මක වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය, ජාතික ඩෙංගු මදුරු මර්දන සතියක් ලෙස සැප්තැම්බර් මස 20 වැනි දා සිට 26 වැනි දා දක්වා ක්‍රියාත්මක කිරීමට යෝජිතය.

උතුරු නැඟෙනහිර පළාතෙහි ඩෙංගු රෝගීන්ට සත්කාර කිරීමේ ක්‍රමවේදය හා රෝග වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීම හා සමාලෝචනයට දැනටමත් පියවර ගෙන ඇත.

ජාතික ඩෙංගු මර්දන ඒකකය ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීම සඳහා අවදානම් දිස්ත්‍රික්ක සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සමඟ සම්බන්ධීකරණ ක්‍රියාකාරකම් සිදු කරන අතර, 2014 වර්ෂයේ ජනවාරි මස සිට මේ දක්වා ජනාධිපති කාර්ය සාධක බළකාය සමඟ පරිශ්‍ර 19,25,542ක් පරීක්ෂා කර ඇත. ඉන් සියයට 20ක් මදුරුවන් බෝවිය හැකි සේ තබාගෙන ඇති අතර සියයට 2ක මදුරු කීටයන් හමු වී ඇත. ඊට අමතරව කීට විද්‍යා සමීක්ෂණ අනුව තවදුරටත් ආයතන, පාසල්, වැඩබිම්, කර්මාන්ත ශාලා සහ ආගමික ස්ථාන අවදානම් පරිශ්‍ර වන අතර මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා බලා ඉවත් කිරීම නොකඩවා සිදු කළ යුතු බව අවධාරණය කරයි.

තද උණ, හිසරදය, මස්පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය, වමනය, සමෙහි රතු ලප හට ගැනීම, රුධිර වහන තත්ත්වයක් ආදී රෝග ලක්ෂණ ඇත්නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමු වී වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දෙයි.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ඩෙංගු දැඩි නිරීක්ෂණ ඒකකය සෞඛ්‍ය ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම ද සිදු කෙරිණි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත තිසේරා, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ. 

නව අදහස දක්වන්න