රාජ්‍ය භාෂාව එක් භාෂාවක් නොවිය යුතුයි | දිනමිණ

රාජ්‍ය භාෂාව එක් භාෂාවක් නොවිය යුතුයි

ලයනල් පී. පෙරේරා කැලණිය විශේෂ
මෙහිදී ඇමැතිවරයා අතින් උසස් පොලිස් නිලධාරියෙකු සහතික පතක් ලබාගන්නා අයුරු

රටතුළ භාෂා ප්‍රතිපත්තියක් හරිහැටි නොමැති හේතුවෙන් පසුගිය කාලයේ දරුණුතම යුද්ධයක් පවා ඇතිවූ බවත්, රාජ්‍ය භාෂාව එක් භාෂාවක් නොවියයුතු බවත්, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා ඇමැති මනෝගනේෂන් මහතා පැවසීය.

හෙතෙම මේ අදහස් පළකර සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සඳහා වූ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් භාෂා සැලසුම් පහසුකරන වැඩසටහනක මුලසුන හොබවමින් පැවති උත්සව සභාවකදීය.

කැලණිය වෙදමුල්ල රාජ්‍ය සේවා විශ්‍රාමික නිවාඩු නිකේතන පරිශ්‍රයේදී පැවති මෙහිදී තවදුරටත් කතාකළ ඇමැතිවරයා මෙසේද කීය.

පාර්ලිමේන්තුවේ සිටිනා මන්ත්‍රීවරුන් 225 දෙනාටම භාෂාව පිළිබඳ ඉගැන්වීමේ වැඩසටහනක් මගේ අමාත්‍යාංශය හරහා සිදුකරනවා.

එහෙත් ප්‍රථම පියවරට ඒ සඳහා සහභාගිවූයේ මන්ත්‍රීන් 10 දෙනෙකු පමණයි. එහෙත් මගේ වෑයම මා අත්නොහරිමි. මේ රටතුළ භාෂා තුනම කතාකළ හැකි අය සිටිනුයේ සුළු පිරිසකි.

රටේ ජනතාව, රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන් භාෂා තුනම දැන ගැනීම වැදගත්ය. රටේ ප්‍රතිපත්ති හදනා මැති ඇමැතිවරුන් ද භාෂා තුනම දැන ගැනීම යෝග්‍යය. ඒ හැකියාව මා සතුව පවතී.

මේ හැකියාව ලබා ගැනීමට නායකත්වය හා කැපවීම මට දිය හැකිය. රජයක් වශයෙන් අප, ජනාධිපතිතුමා හා අගමැතිතුමා මෙම භාෂා ප්‍රතිපත්තිය කඩිනමින් රටතුළ ව්‍යාප්ත කරවීමට සූදානම්ව සිටිනවා.

මේවා ක්‍රියාත්මක විය යුත්තේ රාජ්‍ය නිලධාරීන් හරහාය. එහෙත් ඔවුහුද භාෂාවන් කීපයක් නොදැන සිටීම ද ගැටලුවකි. නිලධාරීන්ගේ කැපවීම, උනන්දුව විශේෂයෙන්ම තිබිය යුතුය.

භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම නීතිය හරහා විය යුතුය. මේ අපේ මව් රටය. භාෂා ප්‍රතිපත්තියක් හරිහැටි නොමැති වීම තුළ ජනවාර්ගික ප්‍රශ්නද ඇති විය.

යුද්ධය නිම වුවද, රටේ ප්‍රශ්න තවම එතැනය. බලය බෙදීම ආදිය පිළිබඳවද ව්‍යවස්ථාවක් දැන් නිමවෙමින් පවතී. එය ඒවිද, නොඒවිද යන්නද ගැටලුවකි.

භාෂා ප්‍රතිපත්තිය මගේ අතේ සිටිනා කුරුල්ලෙකු සේය. ඒ පිළිබඳව රටේ පක්ෂ හා විපක්ෂ සියල්ලද එකට සිටී. සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයම රාජ්‍ය භාෂා වියයුතුය.

ඇතැමුන් රටේ භාෂා ප්‍රතිපත්තිය නොදනී. භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කර කිසිවක් නොදනී යැයි කිව නොහැක. තමන් දන්න භාෂාවෙන් වැඩ කරගැනීමට රටේ ඕනෑම පුරවැසියෙකු හට අවස්ථාව තිබිය යුතුය.

එය පවතින ව්‍යවස්ථාව තුළ අන්තර්ගතය. එහෙත් ක්‍රියාවෙන් එසේ සිදු නොවේ. දැන් මෙය ක්‍රියාත්මක වියයුතුය. ඒ සඳහා මා කැපවෙනවා. භාෂා ප්‍රතිප්තිය නිම කර ගතහොත් රටේ ප්‍රශ්නද නිමවේ.

භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර ගැනීමට මට උදව් අවශ්‍යය. එය රටට කරනා සේවයකි. අනාගත පරපුරටද එය මහඟු සේවයකි. එකල අපේ දේශපාලන නායකයින් අනාගත පරපුර විනාශ කර ඇත.

ඒ වන්දිය අප තවමත් ගෙවමින් සිටී. අප තීරණ ගතයුත්තේ වර්තමානය සේම අනාගත පරපුර ගැන ද සිතාය.

අප සැවොම විශ්‍රාම ගියද, රට විශ්‍රාම නොගනී. රට පවතී. ශ්‍රී ලංකාව සදාකල්හිම පවතී. අප මිය ගියද රට මිය නොයයි. රටක් වශයෙන් තිබිය යුතු සෑම අංගයක්ම මේ රටේ ඇත.

පාලකයෝ, පුද්ගලයෝ වරින් වර මාරුවේ. කිසිවෙකු රටේ අයිතිකරුවෙකු නොවේ. ඉතිහාසයේ කළ වරද, නැවත නොකළ යුතුය. මේ පිළිබඳ මා නොසැලී කටයුතු කරමි.

මා කොළඹ කියනදේ යාපනයේ ද ගොස් කියන්නෙක්මි. කොළඹට එකක් යාපනයට තව එකක් මා ළඟ නැත. මා සත්‍යය කරන හෙයින්, කිසිවෙකුහට හිස නොනමමි. මේ රටේ සෑම නාම පුවරුවක් තුලම භාෂා තුනෙන්ම සඳහන් විය යුතුය.

ත්‍රෛභාෂා ප්‍රතිපත්තියක් ඇති රටක එසේ විය යුතුය. ඇතුළත, පිටත සෑම තැනම භාෂා තුනම සඳහන් විය යුතුය. සිංහලෙන් ලොකුවට ලියා දෙමළ භාෂාවෙන් කුඩාවට ලිවීම ද වරදකි.

අලුතෙන් නාම පුවරු ස්ථාපිත කළ යුතුය. ඒ සඳහා වන පිරිවැය මා දරමි. විශේෂයෙන් සේවය ලබාගැනීම සඳහා පොලිසියට එන පුරවැසියෙකු හට තම මව් භාෂාවෙන් ප්‍රතිචාර දැක්වීමට ඉඩ ලබාදිය යුතුය. එය ලිඛිත හෝ වාචිකව සිදු විය යුත්තකි. එය අමාරු වැඩකි.

රාජ්‍ය නිලධාරීන් හා පොලිස් නිලධාරීන් විශේෂයෙන්ම භාෂාවන් පිළිබඳව උනන්දු විය යුතුය. ලබන වසර වනවිට දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම භාෂා නිලධාරීන් යෙදවීමට අප කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා කැබිනට් අනුමැතිය ද ලැබේවි.

පොලිස් නිලධාරියාගේ ප්‍රධාන වගකීම නීතිය හා සාමය රැකදීමය. ඔහු භාෂා පරිවර්ථකයෙක් නොවේ. ඒ සඳහා සිවිල් නිලධාරියෙකුගේ සහාය ලබා දෙන්නේ ඒ නිසාය.

පොලීසියට එන පුද්ගලයාට හොඳින් කතා කිරීම උචිතය. ආයුබෝවන්, වනක්කම් කියා පිළිගැනීම සිතට සහනයකි. එදා තිබුණේ සිංහල පොලිසියය. එහෙත් එය මේ වනවිට ශ්‍රී ලංකා පොලිස් සේවය ලෙස වෙනස්ව ඇත.

අද උතුරු නැ‍ෙඟනහිර තරුණ ප්‍රජාව පොලිස් සේවයට නොබැ‍ඳේ. පොලිස් බලතල ඉල්ලන අයට මේවා නොපෙනේ.

පළාත් සභා තුළට පොලිස් බලතල ලබා ගන්නට යත්න දරන ද්‍රවිඩ නායකයින් ද්‍රවිඩ තරුණයින් පොලිස් සේවයට අනුයුක්ත කර නොගනී. උතුරු නැ‍ඟෙනහිර මහ ඇමැතිවරයා ද මේ වරද කර ඇත.

පොලීසියේ දොර සේවය කිරීම සඳහා සෑම ජාතියකටම විවරවිය යුතුය. මා දෙමළ තරුණයිනට ඇරයුම් කරනවා පොලිස් සේවයට අනුයුක්ත වන්න කියා. මේ රටේ සෑම ජාතියක්ම සෑම භාෂාවක් ම කතා කරනවා දැකීම මගේ සිහිනයකි. විෂය භාර ඇමැතිවරයා වශයෙන් මගේ අතින් මෙම භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම මට ආඩම්බරයකි.

අදහස් 2ක් ඇත

mehenam ,,bhasa godak thiyenawa,, namuth pransa bhasawa thamayi rajya bhasawa !

mehenam ,,bhasa godak thiyenawa,, namuth pransa bhasawa thamayi rajya bhasawa !

නව අදහස දක්වන්න