ශ්‍රී ලංකා-ඉන්දියා එක්දින ක්‍රිකට් සටන ඇරැඹේ | දිනමිණ

ශ්‍රී ලංකා-ඉන්දියා එක්දින ක්‍රිකට් සටන ඇරැඹේ

වර්නන් ගුණසේකර

ක්‍රිකට් ලෝලීන්ගෙන් ඉවසීමත් සහයෝගයත් ඉල්ලමින් ශ්‍රී ලංකාව හෙට ඉන්දියාවට එරෙහිව දඹුලු තරග බිමට

ටෙස්ට් තරගමාලාවේදී අත්විඳින්නට සිදුවූ නීරස අන්ත පරාජය හමුවේ ඉවසීමෙන් සිටින ලෙසට ක්‍රිකට් ලෝලීන්ට ආයාචනය කරමින් උපුල් තරංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව තරග පහකින් සමන්විත ජාත්‍යන්තර එක්දින තරගමාලාවක ආරම්භක තරගය සඳහා හෙට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පිවිසෙයි.

තම කණ්ඩායමට සහාය ලබා දෙන ලෙස තරංග ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටින්නේ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ටෙස්ට් කණ්ඩායමට අත්වූ නින්දාසහගත ඉරණමෙන් පසුවය.

ඉන්දියාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 304ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකාව දෙවැනි තරගය ඉනිමක් හා ලකුණු 53කින්ද, තෙවැනි තරගය ඉනිමක් හා ලකුණු 171කින්ද පරාජය විය.

චන්දිමාල් මේ පරාජය හැඳින්වූයේ තමා ක්‍රීඩා කළ “නරක ම තරගමාලාව” ලෙසිනි. එහෙත් සීමිත ඕවර තරගමාලාවේදී ශ්‍රී ලංකාවට නැවත සටන්කාමී ක්‍රීඩාවකට අවතීර්ණ වීමට හැකි බවට විශ්වාස කරන තරංග, කණ්ඩායමේ සාර්ථකත්වයට අවශ්‍ය නියම පියවර ගෙන ඇතැයි අවධාරණය කරයි.

“සෑම කණ්ඩායමකටම නරක කාලයක් උදා වෙනවා. කොතරම් දක්ෂ කණ්ඩායමක් හෝ රටකට වුනත්, මෙවැනි නරක දසාවක් විටින් විට එනවා. ශ්‍රී ලංකාව අවුරුදු 18ක්ම තුන් ආකාරයේම ක්‍රිකට් ක්‍රීඩාවේ ඔවුන්ගේ ආධිපත්‍යය පතුරුවා ගෙන සිටියා. අපි දැන් නරක කාලයකට මුහුණ දී සිටින මේ අවස්ථාවේ ඒක අමතක කරන්න එපා” යැයි උපුල් තරංග පවසයි.

“පැහැදිලිවම, උපාය සම්බන්ධ හේතු නිසා අපට විවෘතව කතා කරන්න බැරි සමහර දේවල් තියෙනවා. ඒත් එකිනෙක ගැටගසා ගත යුතු දේවල් කිහිපයක් තිරය පිටුපස තියෙනවා. මේවා ගැන අපි කටයුතු කර තියෙනවා. ඒවායේ ප්‍රතිඵල තිරය පිටුපසින් අපට පෙනෙනවා. කෙසේ වෙතත් ඒවා පිටතින් පේන්න ටික කාලයක් ගත වේවි. ඒ නිසා කරුණාකර ඉවසීමෙන් ඉන්න. වඩාත් වැදගත් වන්නේ අප ගැන විශ්වාසය තබා ගැනීමයි.”

“සුදු පැහැති පන්දුවෙන් කෙරෙන ක්‍රිකට් ක්‍රීඩාවේදී ශ්‍රී ලංකාව සැමවිටම ශක්තිමත්. අපි ශක්තිමත්ව ඉදිරියට ඇවිත් ඉන්දියාව පරාජය කරාවි කියා මට විශ්වාසයි. අපට හැකියාවත් දක්ෂතාවත් තියෙනවා. අපි ඉතාමත් වෙහෙසකාරීව පුහුණු වී සිටිනවා. අපට දැන් අවශ්‍යව තිබෙන්නේ ජීවයයි. ඒකට ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ සහයෝගයත් ඕන.”

“කණ්ඩායමේ චිත්ත ධෛර්යයට ක්‍රීඩා ලෝලීන්ගේ සහාය ඉතාමත් වැදගත්. අපි ක්‍රීඩා කරන්නේ අපේ රට වෙනුවෙනුයි. අපේ ඉලක්කය මේ රටේ මිලියන විස්සක අපේ පවුලට ආඩම්බරය ගෙන ඒමයි. ඒ නිසා ක්‍රීඩා ලෝලීන්ගේ සහයෝගය අපට ඉතාමත් වටිනවා.”

මේ තරගමාලාව සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයන් වන තිසර පෙරේරා හා මිලින්ද සිරිවර්ධන කැඳවා තිබේ. ඊට අමතරව, වමතින් දඟ පන්දු යවන මලින්ද පුෂ්පකුමාර හා වමතින් වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දු ද සංචිතයට ඇතුළත් සිටිති.

පුෂ්පකුමාර හා ප්‍රනාන්දු ඉන්දියාවට එරෙහිව මෑතකදී අවසන් වූ ටෙස්ට් තරගමාලාවේ ශ්‍රී ලංකා ප්‍රහාරයේ කොටස්කරුවන් වූවද ඔවුන් තවමත් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කර නැත.

මේ අතර, ශ්‍රී ලංකාවට එරෙහි තරග පහකින් සමන්විත මේ එක්දින ක්‍රිකට් තරගමාලාව සඳහා වන ඉන්දියා සංචිතයට මැද පෙල පිතිකරු යුව්රාජ් සිං ඇතුළත් කර නැති අතර දඟ පන්දු යවන්නන් වන රවිචන්ද්‍රන් අශ්වින් හා රවින්ද්‍ර ජඩේජා විවේක ගන්වා තිබේ.

කඩුලු රකින්නන් වන දිනේෂ් කර්තික් හා රිෂාබ් පාන්ට් ද එක්දින සංචිතයෙන් ඉවත් කර ඇත. මීට අමතරව, ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගමාලාවේ ඉන්දියා කණ්ඩායමේ වේග පන්දු බළඇණියට මූලිකත්වය දුන් උමේෂ් යාදව් හා මොහමඩ් ෂාමි ද සංචිතයෙන් ඉවත් කර තිබේ.

වේග පන්දු යවන ෂර්දුල් තකූර් හා පා දඟ පන්දු යවන යුස්වෙන්ද්‍ර චහාල් 15 දෙනාගේ සංචිතයට ඇතුළත් කර තිබෙන අතර ආබාධවලින් මිදී සිටින කේ.එල්.රාහුල් හා ලකුණු අතරේ සිටින මනිෂ් පාන්ඩෙ සහ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි තරගමාලාවේ විවේක ගන්වා සිටි ජස්ප්‍රිට් බුම්රා ද සංචිතයට කැඳවා තිබේ. එම සංචාරය සඳහා විවේක ගන්වා සිටි රෝහිත් ෂර්මා ද උපනායකයා ලෙසින් ඉන්දියා සංචිතයට එක්වෙයි.

ශ්‍රී ලංකා සංචිතය: උපුල් තරංග (නායක), ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, දනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන, මලින්ද පුෂ්පකුමාර, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, තිසර පෙරේරා, වනිඳු හසරංග, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු.

ඉන්දියා සංචිතය: විරාට් කෝලි (නායක), ෂිකර් ධවාන්, රෝහිත් ෂර්මා (උපනායක), කේ.එල්.රාහුල්, මනිෂ් පාන්ඩෙ, අජින්කියා රහානි, කෙඩාර් ජාදව්, මහේන්ද්‍ර සිං දෝනි (කඩුලු රකින්නා), හර්ඩික් පාන්ඩියා, අක්සාර් පටෙල්, කුල්දීප් යාදව්, යුස්වෙන්ද්‍ර චහාල්, ජස්ප්‍රිට් බුම්රා, භුව්නෙෂ්වාර් කුමාර්, ෂර්දුර් තකූර්. 

නව අදහස දක්වන්න