නාමල් අත්අඩංගුවට ගන්න පොලිසියට පුළුවන් | දිනමිණ

නාමල් අත්අඩංගුවට ගන්න පොලිසියට පුළුවන්

සිරන්ජනි කුමාරි

එම බලතල අනුව ක්‍රියා කරන්නැයි අතිරේක මහේස්ත්‍රාත් නියෝග කරයි

අර බඩා , එෆ්. සී. අයි .ඩී .ය කාලා. අපේ ආණ්ඩුවක් ආවාම බලා ගමු” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් මුල්‍ය අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක ශාන්ත ලලිත් මහතාට තර්ජනය කරමින් බැණ වැදීමේ සිද්ධිය සංඥමය වරදක් බැවින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලතල ඇති බව පෙන්වා දුන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා එකී බලතල අනුව ක්‍රියා කරන ලෙසට ඊයේ (18) මුල්‍ය අපරාධ කොට්ඨාසය වෙත නියෝග කළේය.

අදා‍ළ සිද්ධිය සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (18) අධිකරණයට කරුණු වාර්තා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වරද සම්බන්ධයෙන් අධිකරණයට කැඳවීම සඳහා නොතිසියක් නිකුත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කළ අවස්ථාවේ දී මහෙස්ත්‍රාත්වරයා මේ නියෝගය කළේය.

වර්ෂ 2015 අංක 4 දරන අපරාධයක වින්දිතයන් හා සාක්කිකරුවන් හට සහායදීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ (8) හා (9) වගන්ති ප්‍රකාරව මුල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

සූප්‍රිම් සැට් චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරිමේ විමර්ශන කටයුත්තක් සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු වන චන්දන රෝහිත රාජපක්ෂ මහතා ඉකුත් 15 වන දින මුල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබු අතර එම අවස්ථාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැමිණ සිටි බවත් එහිදි පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව මුල්‍ය අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරික්ෂකවරයා පිළිගැනිමේ කාමරය වෙත යන අවස්ථාවේදී පිළිගැනිමේ පර්යන්තයේදී මේ බැණ වැදිම සිදු වි ඇති බවට මුල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය වෙත කරුණු දැන්වීය.

“අර බඩා එෆ්.සී.අයි.ඩි.ය කාලා. අපේ ආණ්ඩුවක් ආවාම බලා ගමු” යැයි ද “යහපාලනයේ දඩබල්ලා” යනුවෙන් ‍උප පොලිස් පරීක්ෂකවරයාගේ ඡායා රූප සහිත ව සමාජ ජාල වෙබ්අඩවි හරහා ද විශාල ප්‍රචාරයක් ලබා දී ඇති බවට උප පොලිස් පරීක්ෂකවරයා විසින් පොලිස්පතිවරයා වෙත සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙහි විමර්ශන ආරම්භ කර තිබේ.

ක්‍රිෂ් නම් ඉන්දියානු සමාගමක් සමඟ රගර් ක්‍රීඩාවට අදාළව සිදු කර තිබෙන ව්‍යාපෘතියකට කෝටි 70ක් අවභාවිතය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව මුල්‍ය අපරාධ කොට්ඨාසයේ මේ උප පොලිස් පරීක්ෂකවරයා විසින් පරික්ෂණ කටයුතු මෙහෙයවන බවට ද කරුණු අනාවරණය වේ. 

අදහස් 2ක් ඇත

නව අදහස දක්වන්න