ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ජනප්‍රිය කරවීමට සියලු ශක්තිය යොදවනවා | දිනමිණ

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ජනප්‍රිය කරවීමට සියලු ශක්තිය යොදවනවා

සන්ධ්‍යා කරුණාරත්න

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ලෝකයට කියාපාන ප්‍රධානම අමාත්‍යාංශය විදේශ කටයුතු අමාත්‍යාංශය බව නව විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතා පවසයි.

අමාත්‍යාංශයේ වැඩකටයුතු කොතරම් බැරෑරුම් වුව ද ශ්‍රී ලංකාවේ නාමය ලෝකයේ හොඳම ස්ථානයක තබන්නට තමා කටයුතු කරන බවත් චෝදනා පවතින තානාපති කාර්යාලවල නිලධාරින් සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා පැවැසුවේය.

විදේශ කටයුතු ඇමැති ධුරයේ අභිනවයෙන් වැඩ බාර ගැනීම ඇමැති තිලක් මාරපන මහතා විසින් ඊයේ (18) උදෑසන 10.05 ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරිණි. එම අවස්ථාවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මෙසේද පැවැසුවේය. වගකිව යුතු අමාත්‍යාංශයක් විදියට බලාපොරොත්තු නොවූ ආකාරයෙන් මට මේ අමාත්‍යාංශය බාර ගන්නට වුණා. කනගාටුදායක අවස්ථාවක මේ අමාත්‍යාංශය බාර ගැනීමට වුවද ඉතාම වගකීමකින් යුක්තව අමාත්‍යාංශයේ වැඩ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට මා කටයුතු කරනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය ඉතාම බැරෑරුම් අමාත්‍යාංශයක් බවට මට අවබෝධයක් තිබෙනවා. රටේ ප්‍රතිරූපය ලෝකයට කියාපාන්නේ මේ අමාත්‍යාංශය හරහා. විදේශ කටයුතු පිළිබඳව මේ අමාත්‍යාංශය මඟින් විදේශිකයන්ට අපේ රටේ නියම තත්ත්වය පහදා නොදුන්නොත් ඒ අය අපි ගැන අවිශ්වාස කරනවා. මානව හිමිකම් හිතවාදී රටක් විදියටත්, ආයෝජකයින්ට මෙරටට පැමිණ ආයෝජනය කළ හැකි සුදුසු වාතාවරණයක් තිබෙන රටක් බවත් ලෝකයට ඒත්තු ගැන්විය යුතුයි. මේ කාර්ය කිරීමට තමයි ලෝකය පුරා තානාපති කාර්යාල ස්ථාපිත කර තිබෙන්නේ. ලෝකයේ රටවල අපේ තානාපති කාර්යාලවලට දිරි ගැන්වීමක් හා මඟ පෙන්වීමක් කරන්නේ මේ අමාත්‍යාංශය මඟින්. විදේශාධාර, විදේශ ආයෝජකයින්, සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමට හැකි වන්නේ අපේ රටේ ප්‍රතිරූපය ලෝකයට යහපත් ලෙස යාමෙන් පමණි. අපේ අඩුපාඩු පරීක්ෂා කර බලා ඒවා නිවැරදි කර ගැනීමට පියවර ගත යුතුයි.

පූජ්‍ය තීනියාවල පාලිත හිමි

ඉතාම නිරහංකාර පුද්ගලයෙක් අද මේ අමාත්‍යාංශයේ ඇමැතිවරයා ලෙස පත්ව තිබෙනවා. අමාත්‍යාංශයට අලුත් ලේකම්වරයා ලෙස ප්‍රසාද් කාරියවසම් මහතාත් පත්ව තිබෙනවා. දෙන්නාම අලුත් වුණාට මෙය පරණ අමාත්‍යාංශයක්. ගරා වැටුණු පරණ වලව්වක් වගේ ගොඩනැඟිල්ලක අමාත්‍යාංශය පිහිටා තිබෙනවා. තානාපති කාර්යාලවල සේවකයින් 500 ක් 600 ක් වගේ සේවය කරනවා. ජාතික ධනයෙන් විශාල මුදලක් මේ සඳහා වැය කරනවා. තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් කොපමණ සිටියත් අප බලාපොරොත්තු වන සේවාව ඉටු වනවාද කියලා කල්පනා කර බැලිය යුතුයි. වියානා ප්‍රඥප්තියට අනුව ලංකාවේ කෙනෙක්ම තමයි ඒ ඒ රටවල තානාපතිවරුන් විය යුත්තේ. නමුත් තානාපති කාර්යාල 37 ක ද්විත්ව පුරවැසිභාවය තිබෙන නිලධාරින් සිටිනවා. ඒවා විමසා බැලිය යුතුයි. අපේ රටේ පුරවැසියකුට පිටරටකදී කිසියම් කරදරයක් වූ විටදි ඔහුට උදව් කිරීමට ප්‍රථමයෙන්ම ඉදිරිපත් වන්නේ ඒ රටේ තානාපති කාර්යාලයයි. නමුත් අපේ කෙනකුට විපත්තියක් වූ විටදි පැත්ත පළාතේ ලංකාවේ තානාපති කාර්යාලවල අය නොඑන බව අත්දැකීමෙන්ම කිව යුතුයි. කවුරු තරහා වුණත් කමක් නැහැ. සත්‍ය එයයි. බල්ලාට ගොඩක් යහළුවන් ඉන්නට හේතුව තමයි බල්ලා දිව වෙනුවට වලිගය වනනවා. අපට කාටවත් වලිගය වනන්න උවමනාවක් නැහැ. අපි වලිගය වෙනුවට දිව වනනවා. ඒ නිසා ඇමැතිතුමනි මේ අමාත්‍යාංශය සම්බන්ධයෙන් බොහෝ කරුණු කාරණා කියන්න තිබෙනවා. ඉතාම කල්පනාවෙන් කටයුතු කළ අමාත්‍යාංශයක් මෙය. සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස වෙන වෙනම කල්ලි තිබුණත් ලෝකයේ රටවලට ගියාම එහෙම බැහැ. ලාංකිකයන් ලෙස සලකාගෙන කටයුතු කළ යුතුයි. මෙරට මැති ඇමැතිවරුන් ඒ ඒ රටවලට යන විට ෂොපින් යන්නයි, එයාර් පෝර්ට් යන්නයි නෙවෙයි තානාපති කාර්යාලවල නිලධාරින් සිටින්නේ. රටම නියෝජනය වන පරිදි විශිෂ්ට සේවාවක් බවට තානාපති සේවාව පත් කළ යුතුයි. මාරපන මහත්මයා ඉතාම හොඳ අයෙක්. ලෝකයේ තිබෙන අපේ සෑම තානාපති කාර්යාලයක් සඳහාම හොඳ ආචාරධර්ම පද්ධතියක් හැදිය යුතුයි. අපේ කොඩි දමාගෙන වාහනේ අංකයත් එක්ක මත්පැන් අලෙවිහලක් හෝ ගණිකා නිවාසයක් අසල නවතා තැබුවොත් රටේ ගෞරවයට වන්නේ කුමක්ද? කවුරු මොනවා කිව්වත් ලෝකයේ තානාපති කාර්යාල හොඳටම පිරිහිලා. ලෝකයේ වෙනත් රටවලින් අපේ රටේ තානාපති සේවාවට පත් කර සිටින්නේ ඉතාම වැදගත් හොඳ අය. නමුත් අපේ රටින් පත් කර විදේශ රටවල තානාපතිවරුන් ලෙස යවනුයේ විශ්‍රාම ගිය පුද්ගලයන් එහෙම නැත්නම් වාහන සේල්කාරයන්, ක්‍රිකට්කාරයන් යනාදීන්. මේ සේවාව ඉතාම හොඳින් තිබිය යුතුයි.

නව අදහස දක්වන්න