අගමැති රනිල් අභියෝග හමුවේ නොසැලෙන නායකයෙක් | දිනමිණ

අගමැති රනිල් අභියෝග හමුවේ නොසැලෙන නායකයෙක්

ස්වර්ණා විජේකෝන්

* සිංහල, දෙමළ, මුස්ලිම් හැම දෙනාටම අයිති නායකයෙක්
- ඇමති මනෝ ගනේෂන්

* තරුණ පරපුර වෙනුවෙන් අතිවිශාල මෙහෙවරක් ඉටුකළා
- පා. මන්ත්‍රී නලින් බණ්ඩාර

දේශපාලකයින් තීන්දු තීරණ ගත යුත්තේ වර්තමානය ගැන සිතා නොව අනාගතය ගැන සිතමින් බවත් එවැනි ආකාරයට කටයුතු කරමින් තමන්ට එල්ලවන නින්දා අපහාස උපහාස කීර්තිය හමුවේ නොසෙල්වී සිය දේශපාලනයේ නිරතවීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකිවූ බවත් කතානායක කරූ ජයසූරිය මහතා පැවසීය.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ රැසක් ඇතිකිරීම වෙනුවෙන් සිය දායකත්වය ලබාදුන් වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට සමස්ථ තරුණ පරපුරට මෙන්ම පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන්ද ආදර්ශයට ගතයුතු දේශපාලන නායකයෙක් බවත් කකානායකවරයා සඳහන් කළේය.

කතානායක කරූ ජයසූරිය මහතා මේ බව සඳහන් කළේ “ හෙට දකින රනිල්“ මැයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ කරූ ජයසූරිය මහතා- අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ජීවිතය පිළිබඳ බොහෝ දේවල් ප්‍රකාශ කළ හැකියි. අවුරුදු 40ක දේශපාලන ජීවිතය කියන්නේ විශාල කාලයක්. එතුමාගේ දේශපාලන ජීවිතය කියන්නෙ මීටර් සියය වගේ කෙටි දුර එකක් නොව මැරතන් එකක් ලෙස සඳහන් කළොත් නිවැරදියි. ඒ වගේම එතුමාගේ දේශපාලන ජීවිතයෙන් වත්මන් තරුණ පරපුරට මෙන්ම වත්මන් නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද ඉගෙනගත හැකි දේ බොහෝමයි.

ඒ වාගේම ඕනෑම දේශපාලකයකු හට තම දේශපාලන ජීවිතයයේදී කීර්තිය, ප්‍රසංශාව, යස අයස හිමිවෙනවා. ඇතැමුන් තමන්ට ලැබෙන කීර්තිය, ප්‍රසංශාව යස හමුවේ අහංකාර වෙනවා. නමුත් තමන්ට ලැබෙන කීර්තිය නින්දාව ප්‍රසංසා කිසිවක් හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා නොසෙල්වී සිටීමේ හැකියාව තිබෙනවා. එතුමා තමන්ට එල්ලවන ඕනෑම අභියෝගයක් හමුවේ නොසෙල්වී කටයුතු කිරීමේ ශක්තිය අසීමිතව හිමි නායකයෙක්. එමෙන්ම ලාබාලම වයසේදී කැබිනට් ඇමතිවරයකු බවට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා තරුණ පරපුර වෙනුවෙන් ඉටුකළ සේවය අති විශාලයි. ගෙවුනු දශක හතරක කාලයක් පුරාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ තරුණ පරපුර, කර්මාන්ත අංශය ආදිය වෙනුවෙන් එතුමා ඉටකළ සේවය අති විශාලයි.

ඒ වගේම තරුණ පරපුර වෙනුවෙන් බෙල්වුඩ් ගම්මානය ඇතිකිරීම, තරුණ පරපුරේ අධ්‍යාපනය වෙනුවෙන් විවිධ ක්‍රමවේද ඇති කිරීම ආදි බොහෝ සේවාවන් ඉටුකළා. ඒ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය විධිමත් කිරීම වෙනුවෙන් නිර්භිත තීන්දු තීරණ රැසක් ගත් රනිල් වික්‍රමසිංහ මහතා ගුරු විද්‍යාල ඇතිකිරීම රාජ්‍ය අංශයේ රැකියා වෙළෙඳපොළ කෙරෙහි පමණක් අවධානය යොමුකිරීම වෙනුවට පෞද්ගලික අංශයද සම්බන්ධ කරගනිමින් රැකියා වෙළෙද පොළ පුළුල් කිරීම ආදියත් සිහිපත් කළ යුතුයි.

එමෙන්ම දේශපාලකයින් තීන්දු තීරණ ගතයුත්තේ වර්තමානය ගැන පමණක් සිතා නොව අනාගතය ගැන සිතායි. එම ගුණය ශක්තිමත් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සතුව තිබෙනවා. එමෙන්ම එතුමා අපගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ රැසක් ඇතිකිරීම වෙනුවෙන් ඉටුකළ සේවාව අති විශාලයි.17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සිදුකර ස්වාධින කොමිෂන් සභා රටතුළ ඇතිකිරීමට ගත් උත්සාහයද සිහිපත් කළ යුතුයි.එමෙන්ම වත්මන් පාලනයේ අගමැතිවරයා ලෙසත් එතුමා ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ රැසක් ඇතිකිරීම වෙනුවෙන් දායකත්වය ලබාදී තිබෙනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් කෙරෙහි අවධානය යොමුකිරීම, පාර්ලිමේන්තුව තුළ ආංශික අධික්ෂණ කාරක සභා ඇතිකිරීම ආදිය ඉන් කිහිපයක්.ඒ වගේම තොරතුරු පනත ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අතීතියේ සිටම එතුමාට තිබුනේ අති විශාල උනන්දුවක්.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති මනෝ ගනේෂන් මහතා- ජාතික සහජීවන ඇමතිවරයා ලෙස මම මේ අවස්ථාවේදී සිංහලෙන් කතාකරන්නට කැමතියි.අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මම අඳුනන්නේ වසර 10ක 15 කාලයක සිටයි. ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ මේ රටේ ඉතිහාසයේ සලකුණක්. එතුමා තනතුරු වරප්‍රසාද වෙනුවෙන් කිසිම වෙලාවක ප්‍රතිපත්ති පාවා දුන්නෙ නැහැ. 1994දක්වා පැවැති එක්සත් ජාතික පක්ෂ පාලනයෙන් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අගමැති ධූරය සඳහා තරඟ කර බලයට පත්වූනා. ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයෙන් විවිධ යෝජනා ඉදිරිපත් උනා. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා තම වරප්‍රසාද වෙනුවෙන් තම ප්‍රතිපත්ති පාවා නොදී සිට සූට්කේසයද රැගෙන අරලියගහ මන්දිරයෙන් පිටව ගියා. එතුමා තම පෞද්ගලික වාසිය වෙනුවෙන් කිසිම අවස්ථාවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිපත්ති පාවා දුන්නේ නැහැ.

ඒ වගේම තවත් සිද්ධියක් සම්බන්ධයෙන්ද සිහිපත් කළයුතුයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එල්ටීටීඊ සංවිධානය සමඟ සාම සාකච්ඡා සඳහා වගේම සටන් විරාමය වෙනුවෙන් ගිවිසුම් අත්සන් කළා. ඒ වෙලාවේ කොටි සංවිධානයේ ප්‍රභාකරන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් ලිපියක් ඉල්ලා සිටියා. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා එවැනි ලිපියක් ලබාදුන්නේ නැහැ. එතුමා එම ලිපිය ලබාදුන්නා නම් 2005 වසරේදී ජනාධිපතිවරයා ලෙස තේරිපත් වන්නේ මහින්ද රාජපක්ෂ මහතා නොව රනිල් වික්‍රමසිංහ මහතායි. නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කිසිම වෙලාවක සිය වරප්‍රසාද වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා දුන්නේ නැහැ. එය එතුමාගේ දේශපාලන ජීවිතයේ දක්නට ලැබෙන සුවිශේෂි ලක්ෂණයක්.ඒ වගේම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් අගමැතිවරයා ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ රැසක් රටතුළ ඇතිකිරීම වෙනුවෙන් යත්න දරමින් සිටිනවා.

නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සැකසීමේදී බුද්ධාගමට හිමි තැන අන් ආගම් වලටත් සාධාරණය ලබාදිය යුතුය යන මතයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිටිනවා. එය ඉතා වැදගත්. තම ආගම, ජාතිය භාෂාව ගැන හැගීමක් තිබෙන මිනිසුන්ට පමණයි අන් ආගම් අන් ජාතීන් ගැන සිතන්නට පුළුවන් වන්නෙ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා යනු සුවිශේෂි චරිතයක්. එතුමා එක්සත් ජාතික පක්ෂයට පමණක් නොව එක්සත් ජාතික පෙරමුණේම නායකයා බව මම පවසන්නේ මහත් ආඩම්බරයෙන්. ඒ වාගේම රනිල් වික්‍රමසිංහ මහතා සිංහල දෙමළ මුස්ලිම් හැම දෙනාටම අයිති නායකයෙක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා- අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් සම්පූර්ණ වෙනවා. එතුමාගේ දේශපාලන දිවියේ විවිධ කඩඉම් අවස්ථා වලදී මාධ්‍යවේදීන්ගේ කැමරාවට හසූවු ඡායාරූප මෙම ප්‍රදර්ශනයට ඇතුළත් කර තිබෙනවා 40 වසරක දේශපාලන අත්දැකීම් සුළුපටු නැහැ. මම දන්නා අකාරයට රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ජීවිතය ආරම්භ වී තිබෙන්නේ 1975දීයි.ඒ අනුව එතුමාගේ දේශපාලන ජීවිතයට මේ වනවිට වසර 43ක් සපිරෙන අතර පාර්ලිමේන්තු ජීවිතයට වසර 40ක් සම්පූර්ණ වෙනවා.

එතුමාගේ හතලිස් තුන් වසරක් වන දේශපාලන ජීවිතයෙන් වැඩිම කාලයක් එතුමා සේවය කළේ මේ රටේ තරුණ පරපුර වෙනුවෙන් සේවය කිරීමටයි. එතුමා පාර්ලිමේන්තුවට තේරිපත්වන විට අවුරුදු 28යි. ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ කැබිනට් මණ්ඩලය යටතේ මේ රටේ තරුණ පරපුර වෙනුවෙන් අලුත් අමාත්‍යාංශයක් නිර්මාණය කළා. ඒ අමාත්‍යාංශය භාර දුන්නේ වසර 29ක් වු රනිල් වික්‍රමසිංහ මහතාටයි. එතුමාගේ ප්‍රථම කැබිනට් ඇමතිධූරය එයයි. ඒ ඔස්සේ මේ රටේ සමස්ථ තරුණ පරපුර වෙනුවෙන් අති විශාල සේවාවක් ඉටුකිරීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. තරුණ සේවා සභාව, බෙල්වුඩ් ගම්මානය ආදිය ඇති කරමින් මේ රටේ තරුණ පරපුර වෙනුවෙන් අති විශාල මෙහෙවරක් ඉටුකළ රනිල් වික්‍රමසිංහ මහතාගේ ‍දේශපාලන ජීවිතයෙන් වත්මන් තරුණ පරපුරට ඉගෙනගත හැකි දේ බොහෝමයි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අශු මාරසිංහ, දකුණු පළාත් සභා මන්ත්‍රී ජයසිරි නානායක්කාර, සමන් රත්නප්‍රිය මහතා ඇතුළු පිරිසක් එක්වූහ.

ඡායාරූප- සරත් පීරිස්


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...